iMage: Protest/ 730 Days – Dairy Farmers’in Mailattamadu
“The theme for International Day of Democracy 2025 is “Ensuring effective governance of AI at all levels.” This year’s focus highlights the growing importance of Artificial Intelligence in shaping democratic processes and governance worldwide.”
අද(සැප්තැම්බර් 15), ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයයි. ලෝකයේ බොහෝ රටවල් අද දවස කේන්ද්‍රකර ගනිමින් විවිද අන්දමට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සංවාද, සාකච්ඡා සිදුකලත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ අරගලය සෑම විටම සෑම තැනකම අඩු වැඩි වශයෙන් පවතින නොනවතින අරගලයකි. අද වන විට එය සමාජ මාධ්‍ය ඇතුලු ඩිජිටල් අවකාශය තුළත් විවිධ අන්දමින් සාකච්ඡාවට ගැනෙමින් තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස්, තර්ක, මතවාද, න්‍යායන්, සටන් ඇතුලු විවිද අන්දමේ ක්‍රියාත්මක වීම් සිදුවුවත්, ‘සියලු අයිතිවාසිකම් පදනම් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මත බව අප සිහි තබා ගත යුතු ප්‍රධාන කරුණකි. නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, නිදහස, යුක්තිය ඇතුලු සියලු මානව අයිතිවාසිකම් සුරැකෙන්නේ පුරවැසියන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි පරිසරයක් ගොඩනැගීම තුළින්ය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවහිරවන/ අවහිර කරන සමාජයක, අනිත් සියලු අයිතිවාසිකම් අර්ථ රහිත වේ. එවැනි තත්ත්වයක දේශපාලන සන්නිවේදනය අවම වන අතර සමාජය විවෘත-විනිවිදභාවයකින් යුත් සංවාදයකින් තොරව පාලක බලවේග අතට පත්වේ. එසේ නැත්නම් අරාජික මාවතකට(තාවකාලික හෝ) තල්ලුවෙයි. එබැවින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යනු සරල අයිතියක් හෝ ක්‍රියාකාරීත්වයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමටත් සමාජයේ ශිෂ්ඨසම්පන්න බව ගොඩනැගීමටත්, ගැඹුරු යහපත් දේශපාලන සෞඛ්‍යය රැක ගැනීමටත් අත්‍යවශ්‍යම මූලික සාධකයකි.
අද ශ්‍රී ලංකාව සහ දේශපාලනික වශයෙන් අභියෝගවලට මුහුණපාන අනෙකුත් රටවල් පිළිබඳව සලකා බලන විට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඩිජිටල් යුගයේ අලුත් අභියෝගාත්මක අරගලයකි. එම තත්ත්වය තුළ, සමාජ මාධ්‍ය, Generative AI ඇතුලු ඩිජිටල් අවකාශය විවෘතව සහ විනිවිදභායකින්, මෙන්ම එහි මිනිසුන්ගේ මූළික අයිතිවාසිකම් රැකෙන අයුරින් භාවිතා කිරීම පිළිබද පුරවැසියන් අභියෝග රැසකට මුහුණ දෙන අයුරු අපට දැක ගත දැකගත හැකි ය. මේ මොහොතේ, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ එය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩ කිරීම, විශේෂයෙන් ඩිටිටල් අවකාශය තුළ දැවැන්ත වගකීමක් බව අප පිළිගත යුතුය. එබැවින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු තවදුරටත්, සරලව නිදහසේ කතා කිරීමේ අයිතියක් පමණක් නොව, දේශපාලනික බලවේගවලට ගොදුර නොවී, බලය පරීක්ෂා කරන, ප්‍රශ්න කරන හා ජනයා දේශපාලනිකව සජීවී කරවන ගැඹුරු සමාජ-දේශපාලන භූමිකාවකි. එය ශිෂ්ටසම්පන්න සමාජයක් දෙසට ගමන් කරන පරීක්ෂාවෙන්ගෙන් ප්‍රමුඛ පරීක්ෂාවකි.
මේ කෙටි සටහන මා ලියන්නේ, අදට දින 730ක් උපාවාස කරන මඩකලපුවේ, මයිලත්තමඩු කිරී ගොවීන්ගේ උපාවස බිමේ සිටයි. ඔවුන් ඔවුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය ඉල්ලා මහ පාර අයිනේ දින 730ක් දිවි ගෙවති. ඔවුන්ගේ අරගලය ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරු තිදෙනෙක් පත් වී ඇත. තුන් වැන්නා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ඔහු ජනාධිපිතිධූරයට පත් වී මේ මස 22 වනදාට වසරකි. නමුත් මයිලත්තමඩු කිරි ගොවීන්ගේ ජීවිතය පිළිබද ප්‍රශ්ණයේදී මාළිමාණ්ඩුවත් නිහඩයි. නමුත් ඒ මයිලත්තමඩු කිරී ගොවීන් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් වූ අධිෂ්ඨානශීලී අරගලය හෙට(16) දිනට, දින 731 ට පා තබනු ඇත. සාධාරණ පිළිතුරක් හමුවන තුරු ඔවුන් ඔවුන්ගේ සටන අත්නොහරිනු ඇත.
අද(15) ප්‍රජාත්ත්‍රවාදය පිළිබද වූ ජාත්‍යන්තර දිනය ය යි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මයිලත්තමඩු වැනි කිරි ගොවීන්ගේ ගැටලුව, ඉතාමත් ලෙහෙසියෙන් විසදිය හැකි ප්‍රශ්ණයක් වුවත් තවමත් ඔවුන් මහ පාරේය. නමුත් හෙටත්, පාර්ලිමේන්තුවේ සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතා කරනු ඇත.
මිනිසුන් ලෙස අපි ලැජ්ජා විය යුතු නෙවේද?
ජීවිතය, සාධාරණත්වය, යුක්තිය පිළිබද ගැටලුවකදී ආණ්ඩුවේ නිහඩ බව යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන දැඩි තර්ජනයකි.