iMage:SLG

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

අපි අපව අපහසුවට පත් කරන සත්‍යයකින් පටන් ගනිමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එහි මූලික දූත මෙහෙවර ඉටු කිරීම අතින් අසමත් වී ඇත. එය හඳුන්වා දී දශක ගණනාවකට පසුවත්, මෙම නීති පද්ධතිය මගින් ත්‍රස්තවාදය වළක්වා නැත; එය, හුදෙක් දැඩි අන්දමින් බොහෝ විට ප්‍රතිචාර දක්වා තිබෙනවා පමණකි. මේ අතර, පනත වඩාත් කපටි සහගත යමක් බවට, විසම්මුතිය නිහඬ කරන සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වටා ඇති කතා වස්තුව පාලනය කරන මෙවලමක් බවට පත්ව ඇත.
පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා සකස් කර ඇති නීති පද්ධතිය ඔවුන්ට එරෙහි ආයුධයක් බවට පත් වන විට, අප අනතුරුදායක සීමාවක් පසු කර ගොස් තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)සහ දැන් එහි යෝජිත අනුප්‍රාප්තික කෙටුම්පත වන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ (Protection of the State from Terrorism Act – PSTA), අර්ථ දැක්වීම අනුව සහ භාවිතාව අතින් ගත් විට ක්‍රියාත්මක වන්නේ පක්ෂග්‍රාහී මෙවලම් ලෙසයි. ඒවා “ජනතාවට” සේවය නොකරන අතර, යම් නිශ්චිත මොහොතක බලය දරා සිටින අයට පමණක් නොකඩවා සේවය කරනු ඇත.

පළමුව, අපි සරල එහෙත් තීරණාත්මක ප්‍රශ්නයක් අසමු. ක්‍රියාත්මක නොවන, හැම කෙනෙක් ම එක හා සමානව ආරක්ෂා නොකරන, සහ එය ආරක්ෂා කරන බව කියන නීතියේ ආධිපත්‍යය සක්‍රිය ලෙස අඩපණ කරන නීතියක් පැවතිය යුත්තේ ඇයි? පිළිතුර ද ඒ හා සමානව සරල එකකි. එය පැවතිය යුතු නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අපයෝජන වාර්තාව

දශක ගණනාවක් තිස්සේ උත්සන්න වූ වාර්ගික ආතතීන් සහ ප්‍රචණ්ඩත්වය සිවිල් යුද්ධය දක්වා කූට ප්‍රාප්තියට පත් වෙමින් තිබෙන අතරතුර තාවකාලික නීති පද්ධතියක් ලෙස ආරම්භ වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1982 දී ස්ථිර බවට පත් කරන ලදි. ජාතික ආරක්ෂාව සුරැකීම සඳහා අවශ්‍ය බව පවසමින් සාධාරණීකරණය කරන ලද්දේ වුවද, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ විශේෂයෙන් සුළු ජාතීන් සහ විවේචකයින් ඉලක්ක කර ගෙන කරන විසම්මුතිය මර්දනය කිරීම සඳහා යොදා ගන්නා මෙවලමක් බවට පත් විය. එය යොදා ගෙන කරන දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිරන්තරයෙන් හෙළා දැක ඇති එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සහ මානව හිමිකම් කණ්ඩායම් එය අහෝසි කරන ලෙස හෝ සැබවින්ම ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එක් දිනක් තුළ විවාද කර සම්මත කර ගන්නා ලද්දේය යන කරුණ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පිළිබඳව සැලකිලිමත් වන ඕනෑම කෙනෙකු බියට පත් කල යුතුය. 1983 සිට 2009 දක්වා සිවිල් යුද්ධය අතරතුර, දෙමළ සුළුතරයට සහ සැක සහිත LTTE සටන්කාමීන්ට එරෙහිව එය බහුල ලෙස භාවිතා කරන ලදී. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව එය යොදා ගැනීම, මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගැනීම දක්වා පුළුල් විය. 2009 වසරේ දී යුද්ධය අවසන් වුවද, ත්‍රස්තවාදීන් යැයි සැක කරන අයට පමණක් නොව, දේශපාලන විරුද්ධවාදීන්ට, මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් රැකවළුන්ට සහ විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම යොදා ගනු ලැබේ.

ත්‍රස්තවාදය පිළිබඳ අපැහැදිලි අර්ථ දැක්වීම් සහිත පනත, දිගු කාලයක් රඳවා තබා ගැනීමට, වධහිංසා කිරීම මගින් පාපොච්චාරණ ලබා ගැනීමට සහ ත්‍රස්තවාදීන් ගැන වාර්තා කිරීමට අසමත් වීම සඳහා දඬුවම් කිරීමට අවසර ලබා දෙයි. 2022 සංශෝධන, උපරිම පෙර නඩු විභාග රැඳවුම් කාලය මාස 18 සිට 12 දක්වා අඩු කරන ලද නමුත් වධහිංසා පමුණුවා ලබාගත් පාපොච්චාරණ පිළිගැනීම වැනි මූලික ගැට‍ළු ආමන්ත්‍රණය කිරීමේ ලා එම සංශෝධන අසමත් විය. 2024 අග භාගයේ දී බලයට පැමිණි NPP ආණ්ඩුව ද ඇතුළුව, එම පනත අවලංගු කරන බවට යළි යළිත් දෙන ලද පොරොන්දු තිබියදීත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදටත් බලාත්මක ව පවතී.

අදිකාරීන් විසින් නීති පද්ධතිය අනිසි ලෙස යොදා ගැනීමට එරෙහිව පවතින සුරැකිතාවන් දුර්වල මට්ටමේ හෝ මුළුමණින්ම නොසලකා හැර හෝ තිබේ. ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් හා අපැහැදිලි අර්ථ දැක්වීම්, විසම්මුතිය ඉලක්ක කර ගැනීමට ඉඩ ලබා දෙයි. එය, චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව දිගු කාලයක් රඳවා තබා ගැනීම සඳහා බලතල සපයයි. යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාකාරීහු එය අවලංගු කරන ලෙස හෝ මූලික ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලෙස දිගටම ඉල්ලා සිටිති.

පළමු මූලධර්ම වලින් පටන් ගැනීම

ත්‍රස්ත විරෝධී නීති පද්ධතියේ වර්තමාන සංස්කරණය දෝෂ සහිත වුවද, ප්‍රතිපත්තිමය වශයෙන් එම නීති පද්ධතිය අවශ්‍ය බවට සමහරු තර්ක කරති. මෙම දෘෂ්ටි කෝණය තේරුම් ගන්නා නමුත් මම, අඩුම තරමින්, වත්මන් යෝජනා ආමන්ත්‍රණය නොකරන මූලික ප්‍රතිසංස්කරණ නොමැතිව, මට එහි කොටස්කරුවෙකු විය නොහැකිය.

ආණ්ඩුව, එවැනි නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බව සැබවින්ම විශ්වාස කරන්නේ නම්, කාර්යසාධකත්වය, වෙනස්කම් නොකිරීම සහ පැහැදිලි ජනතා හිතවාදී දිශානතියක් යන ගුණාංග තුන සහිතව, ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ මුල පටන් යළි සැලසුම් කල යුතුය. වත්මන් පනත් කෙටුම්පත ඒ කරුණු තුන අතින් ම අසමත් වේ.

ත්‍රස්තවාදය නිරවද්‍ය ව අර්ථ දැක්වීම

දේශපාලන කතිකාව තුළ “ත්‍රස්තවාදය” යන වචනය භයානක ලෙස ප්‍රත්‍යාස්ථ බවට (ඇදෙන සුළු බවට) පත් වී ඇත. එය සැබෑ තර්ජනවල සිට මහජන නිරාපදාව (public safety) දක්වා, බලයේ සිටින අය අපහසුතාවයට පත් කරන හුදු සාමකාමී විරෝධතා දක්වා සියල්ල ආවරණය කරන පරිදි දිග ඇදෙයි. මෙම අපැහැදිලිතාව අහම්බයක් නොවේ. එය නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උපරිම නම්‍යශීලී බවක් වුවමනා කරන ආණ්ඩුවලට ප්‍රයෝජනවත් වෙයි.

එහෙත්, නිවැරදිව ම ප්‍රජාතන්ත්‍රවාදය මිය යන්නේ මෙතැන දී යි; එනම්, නීති ක්‍රියාත්මක කරන අයට අවශ්‍ය ඕනෑම දෙයක් ඒ නීති මගින් අදහස් කළ හැකි නොපැහැදිලි අවකාශයන් තුළ දී යි. ඕනෑම ත්‍රස්ත විරෝධී නීති පද්ධතියක් ආරම්භ කල යුත්තේ පැහැදිලි, සංක්ෂිප්ත සහ විස්තීර්ණ අර්ථ දැක්වීමකිනි. වඩාත් වැදගත් ලෙස ගත් විට, බලධාරීහු දේශපාලන විරුද්ධවාදීන්ට හෝ ආන්තික ප්‍රජාවන්ට එරෙහිව එය තෝරා බේරා යෙදීම වළක්වමින්, එහි අර්ථ දැක්වීමේ විෂය පථය හිතාමතාම පටු බවට පත් කල යුතුය.

ඒ පටු අර්ථ දැක්වීම මෙවැන්නක් විය හැකියි. ත්‍රස්තවාදය යනු වචන නොව, අදහස් නොව, ප්‍රකාශනයක් නොව, සමාජයේ වරප්‍රසාද ලත් කිහිප දෙනෙකුගේ හෝ විශේෂිත කොටසක පමණක් නොව, රටේ සියළුම ජනයාගේ ඵල ප්‍රයෝජන ආරක්ෂා කිරීමට අදහස් කරන උත්සාහයන් බිය ගැන්වීමට, තර්ජනය කිරීමට, හෝ අනතුරේ හෙළීමට හිතාමතාම උත්සාහ කරන ක්‍රියාවකි.

මෙම නිර්වචනයෙන් බැහැර කරන දේ, එනම්, කථනය, ලිවීම, සාමකාමී විරෝධතා සහ දේශපාලන උපදේශනය, සැලකිල්ලට ගන්න. මෙම ක්‍රියා ත්‍රස්තවාදය නියෝජනය නොකරයි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව රුධිරය නියෝජනය කරයි.

වගවීම – දක්නට නොමැති කොටස

ඉතාම හොඳින් ලියන ලද නීතිය පවා අනිසි ලෙස භාවිතා කළ හැකිය. ඕනෑම ත්‍රස්ත විරෝධී නීති පද්ධතියක් තුල ශක්තිමත් වග වීමේ යාන්ත්‍රණ ඇතුළත් විය යුත්තේ එබැවිනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යන දෙකෙහි ම ඒවා ප්‍රකට ලෙසම දක්නට නොලැබේ.

නීතිය හිතාමතා හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් නුසුදුසු ලෙස ක්‍රියාත්මක කර ඇත්නම්, වින්දිතයින්ට ඔවුන්ගේ කීර්තියට සිදු කරන ලද හානිය සහ භෞතික වශයෙන් ඔවුන්ට අහිමි වූ දේ සඳහා වන්දි ලබා දිය යුතුය. මෙය කැමැත්ත පරිදි සිදු කරන දෙයක් නොවේ; එය මූලික වශයෙන් යුක්තිය ඉටු කිරීම පිළිබඳව වේ. එපමණක් නොව, නීතිය වැරදි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අය, ඔවුන් පොලිසිය, නඩු පවරන අය හෝ රජයේ නිලධාරීන් වේවා, සුදුසු දඬුවම්වලට මුහුණ පෑ යුතුය. පුද්ගලික වගවීමකින් තොරව, සංයමයෙන් යුතුව කටයුතු කිරීමට හෝ සිවිල් නිදහසට ගරු කිරීමට කිසිදු දිරිගැන්වීමක් නොමැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම: ප්‍රකාශනයේ නිදහස

මගේ විරෝධතාවේ මූලික පදනම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මූලධර්මය මතය යන්නයි. මෙය සුඛෝපභෝගී දෙයක් හෝ ලබා ගැනීමට හොඳ විකල්පයක් හෝ නොවේ; අනෙක් සියල්ල රඳා පවතින පදනම වන්නේ එයයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට පුරවැසියන්ට නොහැකි විට, අපහසු සත්‍යයන් වාර්තා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ඇතැයි මාධ්‍යවේදීන් බිය වන විට, ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසිය හැකි නිසා ක්‍රියාකාරීන් සංවිධානය වීමට පසුබට වන විට, ප්‍රජාතන්ත්‍රවාදය කලකට පෙර දීම අසමත් වී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ ප්‍රකාශනය පිළිබඳ මෙම මූලික අයිතිය කප්පාදු කරයි.

එසේ කිරීමෙන්, ඒවා අපගේ මනුෂ්‍යත්වය උදෙසා අත්‍යවශ්‍ය කරන ප්‍රකාශනයේ නිදහසට පහර දෙයි. ප්‍රකාශනයේ නිදහස යනු දේශපාලනය ගැන පමණක් නොවේ. එය පුද්ගලික වර්ධනය ගැන, ඇරිස්ටෝටල් “දේශපාලන සත්වයින්” ලෙස හැඳින් වූ, පූර්ණ මිනිස් ප්‍රාණීන් ලෙස අපගේ සංවර්ධනය පිළිබඳ ව වේ.

සැබෑ සමගිය ඇති වන්නේ විසම්මුතිය නිහඬ කිරීමෙන් නොවේ; එය මතු වන්නේ උපදේශනය, ඇතුළත් කර ගැනීම සහ සහභාගීත්වය මගිනි. එය හැඩ ගැන්වෙන්නේ විවිධ පර්යාලෝක සහිත පුද්ගලයින් එකට එකතු වී, නිදහසේ තම අදහස් ප්‍රකාශ කරන විට, සහ ඔවුන්ගේ වෙනස්කම් නොතකා පොදු ඉලක්ක කරා කටයුතු කරන විට යි.

අධිකාරවාදී හැරවුම් ලක්ෂ්‍ය

20 වන සියවසේ සමාජවාදී අත්හදා බැලීම් ජනතාවගේ සුබසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කර ගත් නමුත් බොහෝ විට ඒවා අවසන් වූයේ කෲර පාලන ක්‍රම පද්ධති බිහි කිරීමෙනි. බොහෝ සංවර්ධනය වන රටවල සමාජවාදය සමානාත්මතාවය අත් කර දීමට අසමත් විය; ඒ වෙනුවට, ශක්තිමත් ම දේශපාලන සම්බන්ධතා තිබුණු අය වඩාත් බල ගන්වන ලදි.

ආන්තීකරණයට ලක් කරන ලද ජනතාවට පක්ෂව සිටින බව කියන පාලන ක්‍රම විරුද්ධවාදීන් කුරිරු ලෙස මර්දනය කළ අතර ලොව පුරා අධිකාරවාදී රාජ්‍යයන් පිහිටුවා ගත්හ. සමාජවාදයේ ආයාචනය තවමත් ගෝලීය වශයෙන් පවතින නමුත්, ධනේශ්වර බලවේග ආර්ථික අවදානම් තත්වයන් ඇති කිරීමෙන්, ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලී ආණ්ඩු අධිකාරිවාදය දෙසට තල්ලු කර ඇත. මෑත කාලීන උදාහරණය වන්නේ බාහිර පීඩනයන් යටතේ මර්දනය මත විශ්වාසය තබා කටයුතු කල වෙනිසියුලාවයි.

ප්‍රගතිශීලී ආණ්ඩු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ස්වාධීන ප්‍රතිපත්ති සමතුලනය කිරීමට බොහෝ වෙහෙසෙයි; අසාර්ථක ප්‍රතිසංස්කරණ බොහෝ විට ප්‍රාග්ධනය ඉවතට ගලා යාම ද, ආණ්ඩුවේ මර්දනය ද ආරම්භ කරයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනප්‍රිය නොවන මූල්‍ය ප්‍රතිසංස්කරණවල යෙදෙන්නට ආණ්ඩුවලට බලපෑම් කරති. මෙය බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී විවාද අඩු කර ලීමට සහ පුරවැසි සහභාගීත්වය සීමා කිරීමට හේතු වේ.

ආර්ථික තත්ත්වයන් පිරිහී යන විට, සමාජවාදී සහ ධනවාදී ක්‍රම පද්ධති දෙකම, ස්ථාවරත්වය පවත්වා ගැනීමේ මුවාවෙන් සාමය පවත්වා ගැනීම සඳහා හමුදාකරණය කළ මුරකාවල් හා නිරීක්ෂණ භාවිතා කරමින් උත්සන්න වූ අධිකාරවාදයක් ඇති කරන්නට යොමු විය හැකිය. බලය තහවුරු කර ගනිමින් වෙළඳපොළ වෙත නැඹුරු වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අධිකාරිවාදී ධනවාදය යොදා ගන්නා පාලන තන්ත්‍ර ද ඇතුලත් ව, ලිබරල් ප්‍රාග්ධනය සහ හිතකර ආයෝජන වාතාවරණයන් උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ කැප කිරීම බොහෝ විට මෙම හුවමාරුවේ ඇතුළත් වෙයි.

ජනතා හිතවාදී දැක්මක්

මා මෙහි දී ආරක්ෂා කරන අදහස් ආණ්ඩු-විරෝධී නොවේ; ඒවා ජනතා හිතවාදී වෙයි. මෙහි තීරණාත්මක වෙනසක් තිබේ. ජනතා හිතවාදී වීම යන්නෙන් අදහස් වන්නේ බලයේ සිටින අයගේ පහසුව වෙනුවට පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට සහ සුබසාධනයට ප්‍රමුඛත්වය දීමයි. එයින් අදහස් වන්නේ බියෙන් තොරව තොරතුරු සෙවීමට, ලබා ගැනීමට සහ බෙදා හැරීමට හැම කෙනෙකුට ම ඇති හැකියාව ආරක්ෂා කරන ක්‍රම පද්ධති නිර්මාණය කිරීමයි.

දේශපාලන සම්බන්ධතාවය නොසලකා සිය ජනතාවට සැබවින්ම සේවය කරන ඕනෑම ආණ්ඩුවකට මෙය පිළිගත හැකි පොදු පදනමක් විය යුතුය. ජාතික ජන බලවේගය (NPP) බලයට පත් වූයේ වෙනසක් සහ ප්‍රතිසංස්කරණයක් පොරොන්දු වෙමිණි. ඒ පොරොන්දු හිස් ඒවා නොවන බව පෙන්වීමට අවස්ථාවක් මෙහි දී එළඹ ඇත.

ඉදිරි මාවත

මගේ ස්ථාවරය ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් මා වෙත සමීප වූ අය වෙත. මා ඔබේ උද්වේගය අගය කරන අතර, ජනතාවට සේවය කිරීම සඳහා ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව අත් කර ගත් වරම සාර්ථක කර ගැනීම මට ද අවශ්‍ය යි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය කරන නිදහස ම අඩපණ කරන නීති පද්ධතියක් පැණවීම මත එම සාර්ථකත්වය ගොඩනගා ගත නොහැකිය.

බලයට පත්වීමට පෙර NPP ආණ්ඩුව දූෂණය අවසන් කිරීම, ජාතික සමගිය සහතික කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ “ක්‍රම වෙනසක්” හරහා ශ්‍රී ලංකාව “සමෘද්ධිමත් ජාතියක්, සුන්දර ජීවිතයක්” බවට පත් කරන්නට ප්‍රතිඥා දුන්නේය. ආණ්ඩුවක් සාර්ථක වන්නේ ඒ ආණ්ඩුව ජනතාව තමන් සමඟ රැගෙන යන තාක් දුරට මිස, එය සතු සන්නද්ධ හමුදාවේ හෝ අවි ගබඩාවේ ශක්තිය නිසා නොවේ. බොහෝ ප්‍රගතිශීලී ආණ්ඩු අසාර්ථක වූයේ මෙම අවබෝධය නොමැතිව ගන්නා ලද ක්‍රියාමාර්ග නිසාවෙනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන්න. යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ ඉවත් කර ගන්න. ත්‍රස්ත විරෝධී නීති පද්ධතියක් සැබවින්ම අවශ්‍ය නම්, අව්‍යාජ උපදේශනය, පැහැදිලි අර්ථ දැක්වීම්, පටු විෂය පථය සහ ආවේණික වගවීම් සමඟ නැවත පටන් ගන්න. ජනතාව වෙතම තර්ජන එල්ල කිරීමෙන් තොරව, සැබෑ තර්ජන වලින් ජනතාව ආරක්ෂා කරන යමක් නිර්මාණය කරන්න.

මේ විරෝධය පෑමක් නොව, ඕනෑම ආණ්ඩුවක් වැළඳ ගත යුතු ආකාරයේ විචාරාත්මක මිත්‍රත්වයකි. මක්නිසාද යත්, අවසානයේ දී අප හැම දෙනාටම අවශ්‍ය වන්නේ එකම දෙයක්, එනම්, හැම පුරවැසියෙකුට ම ආරක්ෂිත බව, සවන් දෙන බව, සහ නිදහස් බව දැනෙන ශ්‍රී ලංකාවක්: “සමෘද්ධිමත් ජාතියක්, සුන්දර ජීවිතයක්” වන බැවිනි. ඒ දේශය, තර්ජනය කරනවා වෙනුවට ජනතාව ආරක්ෂා කරන, විවිධත්වය බෙදා වෙන් කරනවාට වඩා මිනිසුන් අතර සමගිය ශක්තිමත් කරන, සහ ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් හුදෙක් හැම වසර කිහිපයකට වරක් පවත්වන මැතිවරණවලට වඩා වැඩි යමක් අදහස් කරන දේශයක් වනු ඇත.

එවැනි සමාජයක අත්තිවාරම වන්නේ නිදහසයි: කතා කිරීමට, ප්‍රශ්න කිරීමට, විරුද්ධ වීමට, වඩා හොඳ හැකියාවන් සිතේ මවා ගැනීමට ඇති නිදහස යි. ඒ අත්තිවාරම මත ගොඩනැගුව හොත් අනෙක් සියල්ල ඒ අනුව සිදු වෙනවා ඇත. බිය සහ මර්දනය මත ගොඩ නැගුව හොත්, කොපමණ නීති සම්පාදන ක්‍රියාවලි යොදා ගත්තත්, කල් පවතින ආරක්ෂාවක් හෝ සැබෑ සාමයක් ඇති කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ නායකයින් ඉදිරියේ පවතින තෝරා ගැනීම පැහැදිලි ය. එකම ප්‍රශ්නය වන්නේ එසේ කිරීමට ඔවුන්ට ප්‍රඥාව සහ ධෛර්යය තිබෙන්නේ ද යන්නයි.

ලයනල් බෝපගේ | Lionel Bopage