iMage: Themorning

ශ්‍රී ලංකාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයව වී ඇති බවත්, විශේෂයෙන්ම සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට පත් නොවී සිටීමට ඇති අයිතිය උල්ලංළනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුව (SC/FRA/283/2022), මෙරට දේශපාලන බල අධිකාරියට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එල්ල කළ ප්‍රබල මතවාදී ප්‍රහාරයකි. රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ඇති වූ තත්ත්වයන් හමුවේ, පුද්ගල නිදහස සහ මූලික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් අධිකරණය දැරූ මෙම ස්ථාවරය, වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි මර්දනකාරී මෙවලම් අහෝසි කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කරයි.

මර්දනයේ මෙවලමක් වූ PTA සහ අධිකරණයේ විවරණය

2022 අගෝස්තු 18 වන දින වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබුවේ, එවකට පැවති පාලනයට එරෙහිව නැගුණු මහජන විරෝධය මැඩපැවැත්වීමේ දේශපාලන උපක්‍රමයක් ලෙස බව මෙම නඩු තීන්දුවෙන් වක්‍රව කියැවේ. ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ, සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ක්‍රියා කළ හැකිව තිබියදීත්, කිසිදු සාධාරණ සැකයකින් තොරව PTA වැනි “දරුණු සහ විශේෂ” නීතියක් භාවිත කිරීම යුක්තිසහගත නොවන බවයි.

විශේෂයෙන්ම, 2022 මැයි මස සිට සැකකරුට එරෙහිව වාරණ නියෝග සහ විමර්ශන පැවතියද, ඒවා ක්‍රියාත්මක නොකර හදිසියේම අගෝස්තු මාසයේදී PTA යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීම “පැහැදිලි කළ නොහැකි” ක්‍රියාවක් ලෙස අධිකරණය හැඳින්වීය.

මෙයින් තවදුරටත් සමාජයට ගම්‍ය වන්නේ, රජය විසින් සිය දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම් “මෘග නීතිය” අවභාවිත කර ඇති ආකාරයයි.

නීතියේ ආධිපත්‍යය සහ විධායකයේ අත්තනෝමතිකභාවය

නීතියේ ආධිපත්‍යය පවතින්නේ විධායකයේ ක්‍රියාමාර්ග නීතියේ අනුමැතියට යටත් වන තාක් පමණි. වසන්ත මුදලිගේ නඩුවේදී, පැය 72ක රඳවා තබා ගැනීමේ කාලය ඉක්මවා ගිය පසුත් වලංගු රැඳවුම් නියෝගයක් ඉදිරිපත් කිරීමට හෝ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය අපොහොසත් වීම, රාජ්‍ය යාන්ත්‍රණය නීතියට ඉහළින් සිටීමට ගත් උත්සාහයකි. අධිකරණයේ තීන්දුවට අනුව, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (සමානාත්මතාවය) සහ 13(1) (අත්තනෝමතික ලෙස අත්අඩංගුවට පත් නොවී සිටීඹට ඇති අයිතිය) යන වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමකි.

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය සහ “ත්‍රස්තවාදය” නම් ලේබලය

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව රුධිරයයි. විරෝධතා පැවැත්වීම සහ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම පුරවැසියාගේ අනුල්ලංඝනීය අයිතියක් බව අධිකරණය යළිත් තහවුරු කළේය. වසන්ත මුදලිගේ මහතාට එරෙහිව ඉදිරිපත් කළ ත්‍රස්තවාදී චෝදනා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීම හෝ රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ වැනි කරුණු “සාධාරණ සැකයකින්” තහවුරු කිරීමට පොලීසිය අපොහොසත් වීම මගින් පෙනී යන්නේ, පාලකයන් විසින් “ත්‍රස්තවාදය” යන ලේබලය තමන්ට අභියෝග කරන ඕනෑම අයෙකුට ඇලවීමට උත්සාහ කරන භයානක ප්‍රවණතාවයක් බව නොවේද?

දේශපාලන බලපෑම: PTA සහ නව ත්‍රස්ත පනත්

මෙම තත්ත්වය යටතේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සදහා යැයි කියමින්, නව පනත් කෙටුම්පත් (Anti-Terrorism Act) සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. වසන්ත මුදලිගේ නඩු තීන්දුව මෙම සාකච්ඡාවට නව නෛතික පණක් ලබා දෙයි. PTA වැනි නීති පවතින තාක් කල්, ඒවා දේශපාලන පළිගැනීම් සඳහා භාවිත කිරීමේ අවකාශය ඕනෑම පාලනයක් යටතේ විවෘතව පවතී. එබැවින්, මර්දනකාරී නීතිමය රාමු ඉවත් කර ගැනීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි. එබැවින් ‘පුනරුද’ ආණ්ඩුව විසින් යෝජනා කර ඇති, දැඩි මර්දනීය අන්තර්ගතයක් ඇති යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගැනීමේ අත්‍යවශ්‍යතාවය යළිත් තහවුරු වී තිබේ.

මෙම නඩු තීන්දුව වසන්ත මුදලිගේ නම් පුද්ගලයා ලැබූ ජයග්‍රහණයකට වඩා, මෙරට මර්දනයට එරෙහිව පෙළගැසෙන සියලු බලවේගයන්ගේ මතවාදී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. විධායකය සතු අසීමිත බලය හමුවේ පුරවැසියාගේ අවසන් රැකවරණය අධිකරණය බව මෙමගින් යළිත් පසක් විය. මින් ඉදිරියට හෝ රජයක් විසින් කිසිදු පුරවැසියෙකුගේ නිදහස අත්තනෝමතික ලෙස අහුරා තැබීමට පෙර, නීතියේ සාධාරණත්වය සහ නීත්‍යානුකූල පදනම ගැන දෙවරක් සිතිය යුතු බවට මෙම ඓතිහාසික තීන්දුව අනතුරු හඟවයි.

මර්දනීය අන්තර්ගතයන් අඩංගු නීති අහෝසි කිරීමටත්, එවැනි නව නීති ගෙන ඒමේන් වැළකී සිටීමට මෙම නඩු තීන්දුවෙන් ඉගෙන ගන්නේ නම් නව පුනරුද ආණ්ඩුවට තවත් හොදම පාඩමකි.

ඔවුන් ඉගෙන ගනීවිද?

සම්පත් සමරකෝන් | Sampath Samarakoon