iMage: Newswire
ලංකාවේ ඉතිහාසය පුරා විවිධ මට්ටමේ මූල්‍ය දූෂණ සහ වංචා පිළිබඳ ඕනෑතරම් අසන්නට ලැබී ඇත. නමුත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් සිදුවන දූෂණය යනු හුදෙක් මුදල් සොරකමක් පමණක් නොවේ; එය “ජීවත්වීමේ අයිතිය” සොරකම් කිරීමකි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ඇතුළු පාර්ශ්වයන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 2026 මාර්තු 27 වන දින ලබා දුන් ඓතිහාසික තීන්දුව, හුදෙක් නීතිමය ජයග්‍රහණයක් නොව මෙරට පීඩිත ජනතාවගේ හෘද සාක්ෂිය විවර කළ කැඩපතකි.
මරණයේ වෙළඳාම සහ නිලධාරීවාදී අනුග්‍රහය
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිලදී ගැනීම් ලෙස හඳුන්වමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීමට කටයුතු කිරීම පිටුපස තිබුණේ ම්ලේච්ඡ ව්‍යාපාරික වුවමනාවකි. මෙම මතභේදාත්මක ගනුදෙනුව හරහා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීන්දු කළේය. “එකල රජයේ නිලධාරීන් විසින් ලියාපදිංචි කිරීමෙන් නිදහස් කිරීමක් ලබා දීම වැරදි සහගත බවත්, අත්තනෝමතික සහ වගකීම් විරහිත බවත්, සෘජු කොන්ත්‍රාත්තුවක් හරහා සිදුකළ මෙම ප්‍රසම්පාදනය නීති විරෝධී සහ ශූන්‍ය වන බවත් අධිකරණය ප්‍රකාශ කළේය” යනුවෙන් TISL ආයතනය සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.
ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක වන්දියක් රජයට ගෙවිය යුතුය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන යන නිලධාරීන් ද රුපියල් මිලියන 50 බැගින් වන්දි ගෙවීමට නියම විය. මෙම තීන්දුවෙන් කියවෙන්නේ දේශපාලන බලය හෝ රාජ්‍ය නිලතල යනු අත්තනෝමතික ලෙස ජන ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ලැබුණු බලපත්‍රයක් නොවන බවයි.
ඖෂධය: රෝගියෙකුගේ අවසාන බලාපොරොත්තුව
රජයේ රෝහලක පෝලිමේ සිටින මවක් තමන්ගේ දරුවාට ලබා දෙන එන්නත පිළිබඳව තබන විශ්වාසය අතිමහත්ය. රෝහල් ඇඳක් මත මරණයත් සමඟ සටන් කරන මිනිසෙකුට ඖෂධයක් යනු දෙවියන් දුන් වරමක් බඳුය. බොහෝ විට මිනිසුන් බෙහෙත් ගන්නේ තමන්ගේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව ද එම බෙහෙත් මත තබමිනි. එවන් තත්ත්වයක් තුළ, ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඖෂධ බෙදාහැරීමට අනුග්‍රහය දැක්වීම හුදෙක් පටිපාටිමය වරදක් නොව, සැලසුම් සහගතව සිදුකළ අපරාධයකි. රෝගියෙකුගේ අවසාන හුස්ම මත “කොමිස්” ගැසීමට තරම් දේශපාලන සංස්කෘතියක් අධ්‍යාත්මිකව පිරිහී තිබීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට ලැජ්ජාවකි.
මොවුන් සැබවින්ම මිනිසුන්ද?
දේශපාලන බලයෙන් මත්වී, තමන් කරන ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස තවත් මනුෂ්‍යයෙකුගේ ඇසින් කඳුළු කඩා වැටෙන බව හෝ පණ ගැහෙන පපුවක් නිහඬ වන බව නොදැනෙන පිරිසක් මිනිසුන් ලෙස හැඳින්විය හැකිද? මිනිසෙකුට තවත් මිනිසෙකුගේ වේදනාව දැනිය යුතුය. නමුත් මෙම බලධාරීන්ට දැනී ඇත්තේ කොමිස් මුදලේ මිහිරියාව නොවේද? එබැවින් දේශපාලන බලය යොදා ගනිමින් මෙම බරපතල උල්ලංඝනයන් සිදුකළ නිලධාරීන් සහ අමාත්‍යවරයා නූතන සමාජයේ “සුදු කරපටි මිනීමරුවන්” ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
වන්දියෙන් ඔබ්බට ගිය යුක්තියක අවශ්‍යතාවය
නීතිමය වශයෙන් මෙය යෝධ පිම්මක් වන අතර අධිකරණයට අපි ආචාර කරමු. එහෙත්, මානුෂීය සහ සදාචාරාත්මක කෝණයෙන් බලන කල, මිලියන 275ක වන්දියකින් පමණක් අහිමි වූ ජීවිත හෝ විඳි වේදනා පියවිය නොහැක. “මිනීමැරුමකට වන්දි ගෙවා නිදහස් විය හැකිද?” යන ප්‍රශ්නය සමාජය හමුවේ අදටත් ඉතිරිව පවතී.
සැබෑ යුක්තිය ඉටු වීමට නම්, මූලික අයිතිවාසිකම් නඩුවකට අමතරව මෙම සාපරාධී වරදට සම්බන්ධ සැමට එරෙහිව අපරාධමය නඩු පවරා උපරිම දඬුවම් ලබා දිය යුතුය. එසේම ජනතාවගේ ජීවිත බිල්ලට දෙන මෙවැනි පුද්ගලයන්ට නැවත කිසිදිනෙක ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටීමට ඉඩ නොතැබිය යුතුය.
අනාගතය සඳහා පාඩමක්
බලය තාවකාලිකය, නමුත් මිනිසෙකු ලෙස තවත් මිනිසෙකුට කළ දේ පිළිබඳව ඉතිරි වන ඉතිහාසය සදාකාලිකය. මිනිස් ජීවිත මතින් මාලිගා තනන අයට මිලියන 275ක දඩයකින් ගැලවීමට ඉඩ දීම සමාජය කරන ලොකුම අසාධාරණයකි. ඔවුන් ගෙවිය යුත්තේ මුදල් පමණක් නොව, ඔවුන් අතින් වැනසුණු ජීවිතවලට සදාචාරාත්මකව සහ නීත්‍යානුකූලව වගවිය යුතුය.
අපරාධකරුවෙකු මරා දැමීමෙන් සමාජයකට අත්වන දීර්ඝකාලීන සහනයක් නැත. සැබෑ යුක්තිය යනු තවත් ජීවිතයක් උදුරා ගැනීම නොව, තමා කළ අපරාධයේ බරපතලකම තමාගේම ජීවිතය තුළදී විඳවමින් වටහා ගැනීමට සැලැස්වීමයි. පලිගැනීම ඉක්මවා යන එවැනි දැඩි නීතිමය දඬුවම් මගින් අපරාධකරු මානසිකව දමනය කරන අතරම, එමගින් අනාගත අපරාධ වැළැක්වීමේ ප්‍රබල පූර්වාදර්ශයක් ද සමාජය තුළ ස්ථාපිත කරනු ලබයි.
වසන්ත බණ්ඩාර