iMage: GenAI
වරළත් ගණකාධිකාරී, ඉංජිනේරු හෝ වෛද්‍ය වැනි ක්ෂේත්‍රවල පවතින වෘත්තීය නියාමනයන් සහ බලපත්‍ර ක්‍රමයන් මඟින් අදාළ වෘත්තීන්හි ප්‍රමිතිය සහ වගවීම සහතික කෙරෙන බව පැවසෙයි. මෙම ක්‍රමවේදය මාධ්‍ය ක්ෂේත්‍රයට ද ආදේශ කළ හැකිදැයි ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න කරයි. කෙසේ වෙතත්, “මාධ්‍යවේදියෙකු වීමට රජයේ බලපත්‍රයක් අවශ්‍යද?” යන ප්‍රශ්නය, මාධ්‍යවේදයේ ස්වභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමඟ ගැටෙන්නකි. ලංකාවේ මාධ්‍ය ප්‍රජාව ඇතුළු පුරවැසියන් ඒ සම්බන්ධයෙන් ගැඹුරු විමසීමක් සිදුකර ඇත්තේ ඉතා අල්ප වශයෙනි. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පිළිබඳ පනත් කෙටුම්පතෙහි අන්තර්ගත අවදානම් සහ එහි ඇති මර්දනීය ස්වභාවය පිළිබඳ මීට පෙර ලිපියකින් මා සාකච්ඡා කළෙමි. මෙම ලිපියෙන් මා උත්සාහ කරන්නේ එම කරුණ තවත් ආස්ථානයකින් විමසා බැලීමටයි.
වෘත්තීය ව්‍යුහය සහ මාධ්‍යවේදයේ ඇති වෙනස
වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තීන්හි නිරත වන්නන්ගේ තීරණ සෘජුවම ජීවිත හා භෞතික ආරක්ෂාව මත රඳා පවතින බැවින්, ඔවුන්ගේ සුදුසුකම් නියාමනය කිරීම සාධාරණීකරණය කළ හැකිය. උදාහරණයක් ලෙස, එක් වෛද්‍යවරයෙකු සිදුකරන හෘද සැත්කමක් සහ තවත් වෛද්‍යවරයෙකු සිදුකරන සැත්කමක් විද්‍යාත්මකව හා තාක්ෂණිකව සමාන වේ. මාධ්‍යවේදය එසේ නොවේ. එහි කලාත්මක භාවිතාවකුත්, පරිකල්පනීය මානයකුත් තිබේ. එබැවින් මාධ්‍යවේදය යනු හුදෙක් කාර්මික වෘත්තියක් නොව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු සෙවීමේ අයිතිය සහ මහජන අවශ්‍යතා වෙනුවෙන් බලය ප්‍රශ්න කිරීමේ අයිතිය සමඟ බද්ධ වූ ක්ෂේත්‍රයකි.
‘වරළත් මාධ්‍යවේදියා’ යන සංකල්පයේ වාසි සහ අවදානම්
මෙම යෝජනාවට පක්ෂපාතී පාර්ශ්ව අවධාරණය කරන්නේ:
🔴 වෘත්තීය ප්‍රමිතීන් ස්ථාපිත කිරීම.
🔴 ව්‍යාජ තොරතුරු සහ අසත්‍ය ප්‍රචාර පාලනය කිරීම.
🔴 වෘත්තීය ගෞරවය සහ පිළිගැනීම ඉහළ නැංවීම.
🔴 ආචාරධර්ම උල්ලංඝනය කරන්නන් වෙත වගවීමක් ඇති කිරීම, මාධයවේදීන් පුහුණු කිරීම වැනි කරුණුය.
මෙම අරමුණු න්‍යායාත්මකව වැදගත් වුවද, බලපත්‍ර ක්‍රමයක් හෝ ලේබල් කිරීම් හරහා ඒවා සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කිරීම මගින් අතිශය බරපතල අවදානමක් නිර්මාණය වේ. එය එසේ වන්නේ කෙසේද?
‘වරප්‍රසාදයක්’ බවට පත්වීම: බලපත්‍ර ක්‍රමයක් මගින් මාධ්‍යවේදය යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නොව, රජය විසින් ලබා දෙන ‘වරප්‍රසාදයක්’ බවට පත්වේ. එමගින් රාජ්‍යය විවේචනය කරන මාධ්‍යවේදීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමේ “නෛතික කඩතුරාවක්” බලධාරීන්ට ලැබේ.
ස්වයං-වාරණය (Self-Censorship): බලපත්‍රය අහිමි වේ යැයි ඇති වන බිය නිසා, මාධ්‍යවේදීන් සත්‍ය තොරතුරු වාර්තා කිරීමට පසුබට වේ. මෙය ප්‍රවෘත්ති කාමර තුළ නිහඬ වහල්භාවයකට සහ මහජනතාවට ලැබෙන තොරතුරු පෙරීමට (Filtering) ලක්වීමක් ඇති කරයි.
තොරතුරු ප්‍රවාහය සීමා කිරීම: “බලපත්‍රලාභී මාධ්‍යවේදීන්” පමණක් සැබෑ මාධ්‍යවේදීන් ලෙස ලේබල් කිරීම මගින්, වැදගත් සමාජ හෙළිදරව් කිරීම් සිදුකරන ස්වාධීන ලේඛකයන්, බ්ලොග්කරුවන් සහ පුරවැසි මාධ්‍යවේදීන්ගේ හඬ මුළුමනින්ම යටපත් කර දැමීමටත්, ඔවුන් දේශපාලනිකව හුදකලා කිරීමටත් හැකියාව ලැබේ.
පාලන ක්‍රමයක් නිර්මාණය වීම: ව්‍යාජ තොරතුරු පාලනය කිරීමේ මුවාවෙන්, රජයට අවාසිදායක ඕනෑම සත්‍ය තොරතුරක් ‘අසත්‍ය ප්‍රචාරයක්’ ලෙස නම් කර, බලපත්‍රය භාවිතයෙන් එය මර්දනය කිරීමට පාලකයන්ට දොර විවෘත වේ.
කෙටියෙන් කිවහොත්, මාධ්‍යවේදියාගේ අවිය වන ‘නිදහස් ප්‍රකාශනය’ උගසට තබා බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවීම, ප්‍රජාතන්ත්‍රවාදයේ මරණ සහතිකය අත්සන් කිරීමකි.
බලය කාගේ අතේද?
මෙම සංකල්පයේ ඇති ප්‍රධාන ගැටලුව බලපත්‍රය නිකුත් කරන අධිකාරියයි. එය රාජ්‍ය නියාමනයක් යටතේ පැවතියහොත් විවේචනාත්මක හඬවල් මර්දනය කිරීම පහසුය. ස්වාධීන මණ්ඩලයක් ලෙස පෙනී සිටිය ද, සාමාජිකයන් තෝරා ගැනීමේදී සිදුවන දේශපාලන බලපෑම් මත ඒවා ද පක්ෂග්‍රාහී විය හැක.
කෙසේ නමුත්, ඉතිහාසය අපට පසක් කරන්නේ බොහෝ හෙළිදරව් කිරීම් සිදු කර ඇත්තේ බොහෝ විට ‘අනුමත’ රාමුවලින් පිටත සිටින ස්වාධීන ලේඛකයන්, පුරවැසි මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් විසින් බවයි.
ඩිජිටල් යුගයේ අභියෝග
අද පවතින ඩිජිටල් තාක්ෂණය තුළ මාධ්‍යවේදයේ සීමාවන් පුළුල් වී ඇත. යුද්ධ, ආපදා සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ මුල්ම තොරතුරු ලැබෙන්නේ සාමාන්‍ය පුරවැසියන්ගෙනි. විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකා හරහාය. මෙවන් පරිසරයක “බලපත්‍රලාභීන් පමණක් මාධ්‍යවේදීන්” ලෙස සීමා කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීමකි.
යෝජිත විකල්ප
🟢 මානව හිමිකම් මත පදනම් වූ ආචාරධර්ම : සාම්ප්‍රදායකි මාධ්‍ය ඇතුලු ඩිජිටල් අවකාශය තුළ සිදුකරන මාධ්‍යකරනයන් මානව හිමිකම් මත පදනම් වූ ආචාරධර්ම ක්‍රියාවලියකට යොමු කිරීමත් ඒවා නිරීක්ෂණය කිරීමත්ය
🟢 වෘත්තීය සහතික කිරීම්: මාධ්‍ය සංවිධාන හරහා සිදුකරන සහතික කිරීම්.
🟢 ස්වාධීන පැමිණිලි මණ්ඩල: මහජනතාවට සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි රාජ්‍යයෙන් බැහර වූ ස්වාධීන යාන්ත්‍රණ.
🟢 මහජන සේවා මාධ්‍ය: රාජ්‍ය මාධ්‍ය ඉතාමත් කඩිනමින් මහජන සේවා මාධ්‍ය බවට පරිවර්තනය කිරීම
🟢අඛණ්ඩ පුහුණු වැඩසටහන්: මාධ්‍යවේදීන්ගේ කුසලතා නිරන්තරයෙන් දියුණු කිරීම.
අවසාන අදහස
“වරළත් මාධ්‍යවේදියා” යන සංකල්පය මතුපිටින් බලන කල වගවීම සහ ප්‍රමිතිය ඉහළ නංවන අදහසක් ලෙස පෙනුනද, එහි යෝජිත නියාමන ස්වභාවය මාධ්‍ය නිදහසට එල්ල වන සෘජු තර්ජනයකි. මාළිමා ආණ්ඩුව විසින් යෝජනා කර ඇති මෙම සංකල්පය සැබෑ වෘත්තීයභාවය උදෙසා කෙරෙන ගමනක් නොව, මාධ්‍ය ස්වාධීනත්වය දේශපාලනික පාලනයට යටත් කිරීමට දමන ලද ‘නෛතික උගුලකි’.
පසු සටහන
මෙම පනත් කෙටුම්පත මාළිමා ආණ්ඩුව යෝජනා කරන පසුබිම කියවා ගැනීම අතිශයින් වැදගත්ය. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය නිදහසට අතිශය බරපතල මර්දනීය බලපෑමක් ඇති ‘Online Safety Act (OSA)’ අහෝසි නොකර පවත්වා ගැනීමත්, එම ආණ්ඩුවම යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ’ (PSTA) නම් මර්දනීය පනත් කෙටුම්පතත් අමතක කොට මෙම පනත දෙස බැලිය නොහැකි බව අවධාරණය කරමි. එපමණක් ද නොවේ,පසුගිය කාලයේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල වූ අපරාධවලට වගවීමක් හෝ දණ්ඩමුක්තිය අවසන් කිරීමක් නොමැතිව, හුදෙක් වෘත්තීය ප්‍රමිතීන් නමින් ‘අයිසින්’ තැවරීමෙන් මාධ්‍ය දියුණු කළ හැකි යැයි සිතීම මිරිඟුවක් පසුපස හඹා යාමක් වැනිය.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon