මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය, අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාධීන ආයතනික ව්‍යුහයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපත් ප්‍රවණතාවකි. කෙසේ වෙතත්, 2026 ජූනි මස 05 වන දින(Gazette) රජය විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පිහිටුවීමේ පනත් කෙටුම්පත, මතුපිටින් පෙනෙන වෘත්තීය අරමුණු අභිබවා ගොස්, මාධ්‍ය සහ ප්‍රකාශනයේ නිදහස රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිර කිරීමේ අවදානමක් පවතින බව පෙනෙන්නට තිබේ.
මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත පහත කරුණු හරහා, මාධ්‍ය ක්ෂේත්‍රය රජයේ සෘජු නියාමනයට නතු වීමේ නෛතික අවකාශයක් නිර්මාණය වී ඇති බව තහවුරු වෙයි.
1. අතුරු සභාව හරහා ආයතනයේ පදනම දේශපාලනීකරණය වීම
පනතේ 5(4) වගන්තියට අනුව, පනත ක්‍රියාත්මක වී පළමු වසර සඳහා පත් කෙරෙන “අතුරු සභාව” සම්පූර්ණයෙන්ම විෂය භාර අමාත්‍යවරයාගේ බලපෑමට යටත් වේ. අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයාගේ එකඟතාවය මත නම් කෙරෙන සාමාජිකයන්ගෙන් සමන්විත මෙම සභාවට, ස්ථිර සභාවේ සාමාජිකයන් තෝරා ගන්නා නිර්ණායක තීරණය කිරීමේ බලය පැවරී ඇත. මෙය ආයතනයේ මුල්ම අඩිතාලම දේශපාලනික අභිමතය පරිදි සැකසීමට මඟ පාදයි.
2. “වෘත්තීය විෂමාචාරය” සහ වෘත්තීය මර්ධනය
පනතේ 23 සහ 24 වගන්ති මඟින් යම් මාධ්‍යවේදියෙකුගේ ලියාපදිංචිය අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට සභාවට බලය පැවරේ. මෙහි ඇති බරපතල තත්ත්වය වන්නේ, “වෘත්තීය විෂමාචාරය” යන්න අර්ථකථනය කිරීමේ බලය ද එම සභාව සතු වීමයි. ආණ්ඩුවේ බලපෑමට ලක් විය හැකි සභාවක් හරහා, ආණ්ඩුව, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපයන් “විෂමාචාර” ලෙස ලේබල් කර, ඔවුන් වෘත්තියෙන් ඉවත් කිරීමට නෛතික මඟක් මෙහි නිර්මාණය වීම ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි අවදානම් සහගතය.
3. පුළුල් අර්ථ දැක්වීම් හරහා ප්‍රකාශනයේ නිදහස පාලනය කිරීම
27 වන වගන්තිය යටතේ “මාධ්‍ය වෘත්තිකයා” යන්නට ලබා දී ඇති නිර්වචනය අතිශය පුළුල්ය. ලේඛකයන්, අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators), සංස්කාරකවරුන්, නිවේදකයන් සහ ඡායාරූප ශිල්පීන් පවා මෙයට ඇතුළත් කිරීම මඟින්, රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයක් හරහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ සහ සාමාන්‍ය පුරවැසියන්ගේ ප්‍රකාශනයේ නිදහස වක්‍රව පාලනය කිරීමට මෙයින් උත්සහා නොකරන්නේ යැයි සහතික කළ හැකිද?
4. මූල්‍යමය පාලනය හරහා ස්වාධීනත්වය අහිමි කිරීම
පනතේ 4(ග) වගන්තිය ප්‍රකාරව, විදේශීය ත්‍යාග හෝ ආධාර ලබා ගැනීමේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය අවශ්‍ය වේ. මෙය ආයතනයේ මූල්‍ය ස්වාධීනත්වය අවහිර කරන අතර, ආණ්ඩුවේ අකමැත්තට ලක්වන වැඩසටහන් වෙත ලැබෙන මූල්‍ය ප්‍රවාහයන් අවහිර කිරීමේ හැකියාව රජය සතු කරයි.
5. විධායකයට පවරා ඇති නියෝග පැනවීමේ බලය
25 වන වගන්තිය මඟින් පනත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රීති සහ නියෝග පැනවීමේ පුළුල් බලය අමාත්‍යවරයාට පවරා ඇත. දෛනික මාධ්‍ය භාවිතය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීමට විධායකයට ලැබෙන මෙම නෛතික මෙවලම, මාධ්‍ය නිදහසට එරෙහිව ඕනෑම අවස්ථාවක අවභාවිත කළ හැකි ප්‍රබල සාධකයකි.
මාධ්‍ය නිදහස පිළිබඳ ගැඹුරු සමාජ විමසුමක් අවශ්‍යයි
මෙම පනත් කෙටුම්පතෙහි සැඟවුණු අරමුණ වටහා ගැනීමට අතිශය සංකීර්ණ විග්‍රහයන් අවශ්‍ය නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත වැනි මර්දනීය නීති ක්‍රියාත්මක කරමින් මෙන්ම කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යැයි පවසමින් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ වැනි තවත් අතිශය මර්දනීය පනත් යෝජනා කරන පාලනයක්, මාධ්‍ය වෘත්තීය අයිතීන් සුරැකීමට යැයි පවසමින් මෙවැනි කෙටුම්පතක් ගෙන ඒම සැකයට බඳුන් විය යුත්තක් නොවේද?
එපමණක් නොව, පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරන තොරතුරු කොමිෂන් සභාව අකර්මන්‍ය කිරීම සඳහා සම්පත් සහ සහය ලබා දීම සදහා වත්මන් ආණ්ඩුව අනුගමනය කරන උදාසීන, ලැජ්ජා සහගත පිළිවෙත, මෙම ‘වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ හි නියම අරමුණ පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී මෙවලම් පද්ධතිමය ලෙස දුර්වල කරන අතරතුර, මාධ්‍යවේදීන් සදහා මෙවැනි පනතක් ගෙන ඒම යනු, මාධ්‍ය නිදහස දේශපාලන අධිකාරියේ ‘විලංගුවක්’ බවට පත් කිරීමේ පැහැදිලි උත්සාහයකි.
එබැවින්, මෙම පනත් කෙටුම්පත හුදෙක් මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ක්ෂේත්‍රවල පුළුල් හා ගැඹුරු සංවාදයකට ලක් කිරීම අනිවාර්ය වේ. මතුපිටින් යෝජනා කෙරෙන වෘත්තීයභාවයට මුවා වී, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මාධ්‍ය නිදහස සීමා කිරීමට දරන ඕනෑම නෛතික උත්සාහයකට එරෙහිව සිවිල් සමාජයේ දැඩි අවධානය යොමුවිය යුතුය.
(වරලත් මාධ්‍යවේදීන් සහ නූතන මාධ්‍ය, සමාජ මාධ්‍ය ලෝකය ගැන මීලග කොටසින් සාකච්ඡා කරමු.) | Image: TDS
සම්පත් සමරකෝන් | Sampath Samarakoon