Main Image:දකුණු පස ඡායාරූපය/ චෙම්මනි සමූහ මිනී වළ/ 2026 June/ Kumanan Kanna
ශ්‍රී ලංකා ජනරජයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදට (ජූනි 29) යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් විශේෂ නිල පණිවිඩයක් නිකුත් කර තිබුණි. එහි මෙසේ සඳහන් වේ:
“ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.
ථෙරවාද බෞද්ධ දර්ශනයේ සහ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භයද අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ සනිටුහන් කෙරුණු අතර, සමාජ පරිවර්තනයක් සමග අධ්‍යාත්මික ප්‍රබෝධක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් අප රටෙහි සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කළේය.
එමෙන්ම, ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් සමඟ අධ්‍යාපනයේ පරිවර්තනයක්ද ඇති කළ බුදු දහම, පන්සල පිරිවෙන බවට පත් කරමින් රටේ ජනතාව තුළ අධ්‍යාත්මික පෙරළියක් ඇති කිරීම උදෙසා දැනුමේ කේන්ද්‍රස්ථානයක සමාජ මෙහෙවරද ඉටු කළේය. එපමණක් නොව වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව ආදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක් ඇති කරමින් අප ජාතිය ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීය.
එවන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සියලු දෙනාහට අද දවසේ පැවරී ඇති අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන එමින්, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීමයි. එහිදී පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි මේ වන විටත් නිරතව සිටින්නෙමු.
ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකිය. මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අවධාරණය කෙරෙන්නේ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කමයි. බුදු දහමත් සමග මෙරටට ලැබුණු එම අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික නව ආකල්ප සහිත නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු’යි මම සියලු දෙනාට ආරාධනා කරමි.
සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජූනි මස 29 දින”
(Anura Kumara Dissanayake නිල ෆේස්බුක් පිටුවෙන්)
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තුළ ගැබ්ව ඇති ඓතිහාසික කරුණු පිළිබඳ බොහෝ බෞද්ධයන්ට කිසිදු ප්‍රශ්නයක් නැතිවා සේම, බුදු දහම මඟින් මෙරට සමාජ-සංස්කෘතික දේහය තුළ ඇති කළා යැයි පැවසෙන ගුණාත්මක පරිවර්තනය ද ජනාධිපතිවරයා විසින් අගය කර තිබේ. “ශිෂ්ට සම්පන්න රාජ්‍යයක්”, “ආචාරධාර්මික පැවැත්මක්” පිළිබඳ ඔහුගේ දේශපාලන ප්‍රාර්ථනාවන් හා කැපවීම් බැලූ බැල්මට යහපත් මෙන්ම කාලෝචිතය.
නමුත්, රාජ්‍ය නායකයා මෙලෙස බුදු දහමෙන් ලැබුණු “අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයක උරුමය” ගැන උත්කර්ෂයෙන් කතා කරන මෙම පොසොන් මාසයේදීම, උතුරේ ‘චෙම්මනී’ පස් තට්ටු අතරින් ලංකා ඉතිහාසයේ විශාලතම “අශිෂ්ටත්වයේ නිහඬ” සාක්ෂි මතු වෙමින් පවතී. චෙම්මනී සමූහ මිනී වළෙන් මේ වන විට සොයාගෙන ඇති, බිළිඳුන් සහ කුඩා දරුවන් ද ඇතුළත් 412ක් වූ මිනිස් අස්ථි කොටස්, ජනාධිපතිවරයා පවසන “ශිෂ්ටත්වයේ අලංකාර වාචික ප්‍රකාශන” දරුණු ලෙස ප්‍රශ්න කර සිටියි.
මෙතැනදී අප හමුවේ මතු වන මූලික දේශපාලන ගැටලුව වන්නේ, ව්‍යුහාත්මක රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ සැබෑ ස්වයං විවේචනයකින් තොරව, හුදු ආගමික ප්‍රාර්ථනාවලින් පමණක් එවැනි ශිෂ්ට සමාජයක් නිර්මාණය කළ හැකිද යන්නයි.
උත්කර්ෂයට නැංවෙන උරුමය සහ වළලා දැමූ අතීතය
මිහිඳු හිමියන් ‘ශ්‍රී ලංකා පොළොවට’ දායාද කළ දර්ශනයේ හරය වූ අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි දක්වන සහකම්පනය බව බෞද්ධ ජනයාගේ පිළිගැනීමයි. එහෙත් දශක ගණනාවක ලාංකීය දේශපාලන ගමන්මඟ දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, පාලකයන් විසින් බුදු දහම දේශපාලන බලය ලබාගැනීමේ සහ පවතින දේශපාලන බලය රැකගැනීමේ මෙවලමක් කර ගත්ත ද, එහි පැවසෙන ප්‍රායෝගික හර පද්ධතීන් පාලන ව්‍යුහය තුළට කාන්දු කර ගැනීමට අසමත් වී ඇති බවයි.
එබැවින් චෙම්මනී වෙතින් මතු වන්නේ හුදෙකලා අපරාධයක නිහඩ සාක්ෂි නොවේ. එය ආරක්ෂක අංශ සහ ආගමික අධිකාරීත්වයන් (නිල ඇඳුම සහ සිවුර) ඉදිරියට දමමින්, රාජ්‍යය විසින්ම ක්‍රමවත්ව පවත්වාගෙන ගිය ව්‍යුහාත්මක අපරාධ රාජ්‍ය සංස්කෘතියක දෘශ්‍යමාන බියකරු ප්‍රතිඵලයයි. ජනාධිපතිවරයා පවසන පරිදි “පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලය” සැබෑවක් වීමට නම්, මුලින්ම එම ආයතන ඇතුළු රාජ්‍ය ව්‍යුහයන් අතින් අතීතයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ඇතුළු අපරාධ පිළිබඳව විවෘතව පිළිගත යුතුය. ඒ සඳහා පැහැදිලි ස්වයං විවේචනයක් තිබිය යුතුය.
ස්වයං විවේචනයක් නොමැති ‘ශිෂ්ටත්වයේ’ සීමාව
මාළිමාව, පොහොට්ටුව, අලියා හෝ ටෙලිපෝනය ඇතුළු දකුණේ කිසිදු ප්‍රධාන පෙළේ දේශපාලන බලවේගයකට, ලාංකීය රාජ්‍ය ව්‍යුහයේ පවතින මෙම සහජ අපරාධකාරී ස්වභාවය පිළිබඳව ගැඹුරු හෝ අවංක ස්වයං විවේචනයක් නොමැති බව චෙම්මනී කැණීම් සමඟ යළි යළිත් සනාථ වෙමින් තිබේ. බලයේ සිටින විට හෝ බලය ලබා ගැනීමට අපේක්ෂා කරන විට, මෙම සියලු පාර්ශවයන් සිදු කරන්නේ සංඛ්‍යාත්මක බහුතරයේ(සිංහල බෞද්ධ) ඡන්ද පදනම රැකගනු වස්, අතීතයේ සිදු වූ දරුණු අපරාධයන් සහ වගවීම් සවිඥානිකව මඟහැරීමයි.
ගෝඨාබය රාජපක්ෂ පාලන සමයේදී කොළඹ පිහිටි ‘අහිංසකයින්ගේ ආරාමය’ වැනි දකුණේ වින්දිතයන් සිහිපත් කිරීමට තිබූ එකම ස්මාරකය පවා ඩෝසර් කර විනාශ කර දැමුවේ, මේ රටේ සාමූහික මතකය මකා දැමීමේ නරුම දේශපාලන වුවමනාව මතය. එදා එවැනි මර්දනකාරී වටපිටාවන්හි දරුණුතම වින්දිතයන් බවට පත් වූ, අතීතයේ දකුණේ අතුරුදහන්වීම්වලට එරෙහිව සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අද රටේ ආණ්ඩුකරණය මෙහෙයවයි. එහෙත්, ඔවුන්ද අද උතුරේ මිනී වළවල්වලින් මතු වන බිළිඳුන්ගේ අස්ථි කොටස් හමුවේ දක්වන ඇල්මැරුණු තත්ත්වයෙන් පෙනී යන්නේ, පරණ වේදිකාවේ රඟදැක්වුණු “වගවීම් පැහැර හැරීමේ” නාටකයම නව පාලන ව්‍යුහයන් තුළ ද වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වන බවක් යැයි පැවසුවහොත්, ඊට ඔවුන් සතු ප්‍රතිචාරය කුමක්ද?
සැබෑ ආචාරධාර්මික රාජ්‍යයක් කරා
කෙසේ නමුත්, ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කරන පරිදි, “ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකිය.” එය ආගමික අර්ථයෙන් කෙසේ වෙතත් ‘දේශපාලන අර්ථයෙන්’ නිවැරදිය. එහෙත් රාජ්‍යයක ආචාරධාර්මික පැවැත්ම තීරණය වන්නේ, පාලකයන් විසින් නිකුත් කරනු ලබන අලංකාර සුබපැතුම් පණිවිඩවල වචන මඟින් නොව, වින්දිතයන්ට “යුක්තිය” ඉටු කිරීම සඳහා දක්වන සැබෑ දේශපාලන සූදානම සහ වුවමනාව මතය. එය ප්‍රායෝගිකව සිදුවන බවක් පෙනෙන්නට තිබීම මතය.
එපමණක් ද නොවේ. චෙම්මනී, සූරියකන්ද, මන්නාරම හෝ මාතලේ මේ කුමන භූමියකින් මිනිස් අස්ථි මතු වුවද, ඒ හැම තැනකදීම රාජ්‍යය ක්‍රියා කර ඇත්තේ සත්‍යය වසන් කිරීමේ සහ අපරාධකරුවන් රැකගැනීමේ එකම ශෛලියකිනි. මෙම තත්ත්වය වෙනස් නොකර, අතීත වැරදි (මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු අපරාධ) පිළිබඳ ස්වයං විවේචනයක් නොකර,ඒවාට යුක්තිය ඉටු නොකර දකුණේ නිහඬතාවය හෝ උදාසීනත්වය මත පදනම්ව ගොඩනැගීමට උත්සාහ කරන කිසිදු සමාජයක් සැබෑ “ශිෂ්ට සමාජයක්” වන්නේ නැත.
එබැවින් නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් සඳහා වන ආරාධනය අර්ථවත් වීමට නම්, පස් යටින් මතු වන ඒ 412ක් වූ අස්ථි කොටස්වලට සහ ඔවුන් වෙනුවෙන් තවමත් හඬා වැටෙන මිනිසුන්ගේ වේදනාවට රාජ්‍යය විසින් යුක්තිය පදනම් කරගනිමින් පිළිතුරු දිය යුතුය. මක්නිසාද යත්, සත්‍ය-යුක්තිය, සාධාරණත්වය සහ වගවීම මඟහරින සමාජයක, ආගමික උත්සව කොතරම් උත්කර්ෂයෙන් සැමරුව ද, එහි මනුෂ්‍යත්වය සැමදා පවතිනුයේ වැළලී ගිය තත්ත්වයක බැවිනි.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon