iMage: The Island/ Edited

1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුදැනුම මත දියත් වූ දෙමළ විරෝධී සංහාරය හෙවත් ‘කළු ජූලිය’ සිදුවී වසර 43ක් සපිරේ. දින හතක් පුරා පැවති එම ම්ලේච්ඡ ක්‍රියාවලියෙන් දශක හතරකට වැඩි කාලයක් ගත වී තිබුණ ද, දැන් රටේ දේශපාලන නායකත්වයේ වෙනසක් සිදු වී ඇති පසුබිමක පවා, 1983 ජූලියේ වින්දිතයන්ට යුක්තිය ඉටු වී තිබේද?

වත්මන් දේශපාලන පසුබිම සහ ව්‍යුහාත්මක අසාධාරණය

2025-2026 වකවානුව තුළ වත්මන් ජාතික ජන බලවේග පාලනය යටතේ ද විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කිරීම අඛණ්ඩව සිදු වේ. මෙම පනත විශේෂයෙන්ම භාවිතා වන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් වගවීම ඉල්ලා සිටින ක්‍රියාකාරීන් මර්දනය කිරීමට මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගෙන ය.

එමෙන්ම දෙමළ සංස්කෘතික හා කලා ප්‍රකාශනයන් අපරාධ ලෙස හංවඩු ගැසීම පිළිබඳව 2026 එනම් – 1983 කළු ජූලියෙන් වසර 43කට පසුත් ලියන්නට වීම රාජ්‍යය තුළ තවමත් පවතින ව්‍යුහාත්මක වෙනස්කොට සැලකීම පිළිබඳ තත්ත්වය හොඳින්ම තහවුරු කරන්නකි.

දෙමළ රැප් ගායක සංගීතන් ගනේෂ්කුමාර් අත්අඩංගුවට ගැනීම, ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ පොත් රේගුවෙන් නිදහස් නොකර රඳවා තබා ගැනීම, සහ එම පොත් පිළිබඳව ශ්‍රී ලංකා කලා මණ්ඩලය වැනි ආයතන විසින් දක්වන ලද අතිශය නරුම අදහස්, මේ සඳහා ආසන්නතම උදාහරණ කිහිපයක් පමණි.

වසර 43ක වගවීම?

1983 සිට ගත වූ වසර 43 පුරාම කළු ජූලි සංහාරයේ කිසිදු අපරාධකරුවෙකු වගවීමට ලක් නොකිරීම ශ්‍රී ලංකාවේ පවතින යුක්තිය පිළිබඳ අර්බුදය මනාව කියාපායි. කෙසේ නමුත් වත්මන් පාලනයත් ‘යුක්තිය’ වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යැයි පවසමින් එයටත් වඩා බියකරු අණපනත් යෝජනා කරමින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ පැරණි පාලකයන් විසින් අනුගමනය කළ කෲර ප්‍රතිපත්තිය මිස වෙනකක් නොවේ.

2024 දී සිදුවූ දේශපාලන පෙරළියෙන් පසුව ද වගවීම සහ යුක්තිය පිළිබඳ කතිකාව සහ ක්‍රියාකාරීත්වය පවතින්නේ දැඩි අන්ධකාරයකය. කළු ජූලිය යනු හුදු අතීත මතකයක් නොව, ශ්‍රී ලංකා රාජ්‍යය තුළ තවමත් මුල් බැස ඇති මර්දනකාරීත්වයේ සහ වගවීම පැහැර හැරීමේ ජීවමාන සාක්ෂියකි. තමන්ගේ අතීතයේ අඳුරු පැති නිල වශයෙන් පිළිගැනීමට සහ ඉන් පාඩම් ඉගෙන ගැනීමට මැලිවන ජාතියකට, සැබෑ සංහිඳියාවක් කරා යන ගමන කිසිදා සාර්ථක කර ගත හැකිද? ඒ සඳහා පවතින වගවීම පිළිබඳ රික්තය වචනයෙන් නොව ක්‍රියාවෙන් පියවිය යුතුව ඇත. එහෙත් ඒ සඳහා වත්මන් පාලනය ද කිසිදු සූදානමක් නැති බව පෙනෙන්නට තිබේ.

පසු සටහන: “ගොඩක් දෙමළ අය බේරගත්තේ අපේ සිංහල අය” – ආඛ්‍යානය පිළිබඳ විවේචනයක්

කළු ජූලිය පිළිබඳ ඊයේ (ජූලි 23) පැවති වැඩසටහනකදී කළු ජූලිය පිළිබඳ සිංහල සමාජය විසින් ගොඩනගනු ලබන එක් ආඛ්‍යානයක් නැවත අසන්නට ලැබිණි. එය නම් “ගොඩක් දෙමළ අය බේරගත්තේ අපේ සිංහල අය” වැනි කතාන්දරය.

යම් මොහොතක සිදුවූ පුද්ගලික මානුෂීය ක්‍රියා ප්‍රතික්ෂේප කිරීම මෙයින් අපේක්ෂා නොකරන නමුත්, රාජ්‍ය අනුග්‍රහය ලත් සංහාරයක් වැනි අපරාධයකදී, පුද්ගලික යහපත ඉස්මතු කරමින් සමස්ත නපුර වැසීමට උත්සාහ කිරීම යනු අපරාධකාරී හෘදයසාක්ෂියෙන් බේරීමට ගන්නා උත්සාහයකි.

ජර්මානු දාර්ශනික වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) පෙන්වා දුන්නේ දේශපාලනික හා ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය සෞන්දර්යාත්මක ආවරණයකින් වසා දැමීම අනතුරුදායක බවය.

සැබෑ සංහිඳියාවක් උදෙසා අප කළ යුත්තේ අපරාධය “සෞන්දර්යාත්මක” ලෙස අලංකාර කිරීම නොව, රාජ්‍යය සහ බහුතර සමාජය විසින් සිදුකළ එම ව්‍යුහාත්මක රාජ්‍ය අපරාධකාරීත්වය පිළිගනිමින් කළු ජූලියට යුක්තිය ඉටු කිරීමයි. යුක්තිය ඉටු කිරීමකින් තොරව සංහිඳියාවක් ගොඩනැගිය නොහැක.

වසන්ත බණ්ඩාර