iMage: K. Kumanan

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.

ඒ 2006 අගෝස්තු 14 වනදා ය.

එවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.

මෙවැනි ප්‍රහාරයන් සිදු කිරීමෙන් පසු ජාත්‍යන්තරයේ ඇති වූ තත්ත්වයන්ගෙන් පසු එවකට රාජපක්ෂ ආණ්ඩුව සුපුරුදු පරිදි ප්‍රකාශ කළේ, ‘ශ්‍රී ලංකා රජය විසින් විමුක්ති කොටි සංවිධානයට(එල්ටීටීඊ) යේ පුහුණු කඳවුරකට බෝම්බ හෙලා ත්‍රස්තවාදීන් 50-60 මරා’ ඇති බවයි.

නමුත්, ලංකා ආණ්ඩුවේ එම ප්‍රකාශය, එවකට සිටි සටන් විරාම නීරීක්ෂණ කමිටුවත්, UNICEF ආයතනයත් විසින් ප්‍රතික්ෂේප කරමින්, UNICEF ආයතනයේ විධායක අධ්‍යක්ෂක M. Veneman ප්‍රකාශ කර සිටියේ ‘මේ අහිංසක දරුවන් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වී ඇති‘ බවයි. ‘‘ඔවුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට කිසිදු සාක්ෂියක් නැහැ‘‘ යනුවෙන් එවකට UNICEF හී කොළඹ ප්‍රධානී JoAnna VanGerpen ප්‍රකාශ කර තිබිණි. එසේම එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ද, විදේශ රටවල නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් සිය අවදානය යොමු කර ඇති බවට එවකට ප්‍රකාශ විය.(වැඩිදුර කියවන්න)

නමුත් තත්ත්වයේ වෙනසක් සිදු නොවෙමින් කෆිර් යානා පමණක් නොව වෙනත් බර අවිද වන්නි අහසේ මෙන් පොළවේ ද ගොදුරු සොයා ගියේ මාණුෂික මෙහෙයුම නමින් අලවා ගත් ඊනියා බෝඩ් ලෑල්ලට මුවා වෙමිනි.

[එම ඊනියා මානුෂික මෙහෙයුම සාධාරණත්වයට පත් කරමින් උතුර සමතලා කිරීමට මහින්ද රාජපක්ෂ සමග කරට අද දමා ගත් ජනතා විමුක්ති පෙරමුණ හි වත්මන් නායකයා දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිව පත්වී සිටි. දැන් ඔවුන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැයි අප අසන්නේ නැත. එහෙත් එම සාහසික අපරාධවලට යුක්තිය ඉටු කරන්නේ නැතිව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැගීමට නොහැකි බව අප අදද ලියා තබමු.]

කෙසේ නමුත්, එම සංහාරය අවසන් වී වසර 20ක් ගත වුවත්,

ගුවනේ සිට කෆිර් යානාවලින් සිතාමතා ම ඒල්ල කරන ලද මේ බෝම්බ ප්‍රහාරයෙන් වසර 20කට පසුව ද ඝාතනයට ලක්වූවන්ගේ සමීපතමයින් ඉල්ලා සිටින්නේ එම සමූල ඝාතනයට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉෂ්ඨ කරන ලෙසය.

[RP]

2022-08-14 මුලතිව් හී පැවති මරා දැමූ සිය සමීපතමයින් සිහි කිරීමේ අවස්ථාවක් (iMage K. Kumanan)