iMage:reuters.com/ Dinuka Liyanawatte
ප්රජාතන්ත්රවාදී රටක නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමානය. ඒ වගේම නීතිය ඉදිරියේ සෑම සිරකරුවෙකුම සමානය. ප්රජාතන්ත්රවාදී සමාජයක විශේෂිත පුද්ගලයන් සිටිය නොහැක.
මේ වන විට ලංකා සමාජය වසා පැතිර ඇති ඥානසාර කතිකාව ගැන යමක් පැවසීම ප්රයෝජනවත් නැතැයි මම මුලින් සිතා සිටියෙමි. ඒ, එම ප්රශ්නය ප්රජාතන්ත්රවාදී රටක කතා කිරීමට තරම් හේතුවක් නැති හෙයිනි. ප්රජාතන්ත්රවාදී රටක නීතිය ඉදිරියේ සෑම වැසියෙකුම සමානව සැළකිය යුතු අතර නීතියෙන් දඬුවම් ලබන සෑම සිරකරුවෙකුම ද සමානයන් විය යුතු ය. ඒ වගේම දඬුවම් ලැබූ අයෙකු ඇඳිය යුත්තේ කුමන ඇඳුමක් ද යන්න රටේ නීති වගන්ති ප්රකාරව තීරණය කර ඇත. එසේ නම් අපට තවත් ඒ ගැන කතා කිරීමට හෝ තර්ක කිරීමට යමක් ඉතිරිව නැත.
යමෙකු ඒ ගැන ප්රශ්න කරයි නම් ඔහු හෝ ඇය රටේ පවතින ප්රජාතන්ත්රවාදයට එකඟ නැත. ඒ වගේම යමෙකුට හෝ යම් කණ්ඩායමකට විශේෂත්වයක් කළ යුතු යැයි යමෙකු පවසයි නම්, ඒ තැනැත්තා එක්කෝ වැඩවසම් රාජ්යයක් පතයි; එසේ නැතහොත් අර්ධ වශයෙන් හෝ ෆැසිස්ට්වාදී ක්රියාදාමයකට අත වනයි. මොනයම් මතයක් ඒ තැනැත්තා දැරුවත් ඔහු පෙන්නුම් කරන්නේ තමන් ප්රජාතන්ත්රවාදයට එරෙහි බවයි.
කවර දුර්වලතා මැද වුවද ලංකා රාජ්යය ව්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුනෙන් සමන්විත වනවා වගේම, ඒවා එකිනෙක තුළ යම් ස්වාධීනත්වයක් පවත්වා ගනු ලබයි. පුරවැසියන් වන අප සහාය දිය යුත්තේ මෙම ස්වාධීනත්වය ශක්තිමත් කර තහවුරු කිරීමටයි. නීතිය සැමදෙනාටම සම වන්නේ මෙම ආයතන ස්වාධීනව ක්රියාත්මක වන්නේ නම් පමණි. ඒ වගේම එවිට නීතියට ඉහළින් කිසිවෙකු පවතින්නේ නැත. ප්රජාතන්ත්රවාදී රටක පුරවැසියාගේ පැතුම එයයි.
පසුගිය වකවානුවේ ලංකාවේ දේශපාලන බලය හිමිව තිබූ අය මේ ආයතන තුනම ඔවුන් සතු කරගෙන, ඔවුන්ගේ සිතැඟි අනුව රට තමන්ගේ පෞද්ගලික දේපළක් බවට පත් කරගෙන තිබුණි. නීතිය හැසිරුණේද ඔවුන්ගේ උවමනාවන් දෙස බලාගෙන ය. අද වන විට පවතින ආණ්ඩුව එක්තරා ප්රමාණයකට රට එයින් මුදවා, ප්රජාතන්ත්රවාදී රාජ්යයක් දෙසට හැරවීමට උත්සාහ දරමින් සිටියි. මට වැටහෙන අයුරින් මේ ඥානසාර කතිකාව මතුව ඇත්තේ එම ප්රජාතන්ත්රවාදී ක්රියාදාමයට එරෙහිවයි.
සියලුම වර්ගවාදී කණ්ඩායම්, ආගම්වාදී කණ්ඩායම් සමග එක්ව ඇති පසුගාමී ප්රජාතන්ත්ර විරෝධී කණ්ඩායම් මේ ඥානසාර කතිකාවට මුවාවී ජනතා පරමාධිපත්යය කුඩුපට්ටම් කිරීමේ අරමුණින් එක පෙළට සිට ගෙන ඇත. ආණ්ඩුව සමහර අවස්ථාවල කෙළින් පිළිතුරු දෙනවා වුවත්, ඔවුන් සමහර තැනක කල් මරමින් සිටිනු පෙනේ. පුරවැසියන් ආණ්ඩුවට කියා සිටිය යුත්තේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නොපැකිළ රටේ පවතින නීතිය හරියාකාරව ක්රියාත්මක කරන ලෙසයි.
ෆැසිස්ට් බලවේග පැරදවීම ආණ්ඩුවේ පමණක් වගකීමක් නොවේ දැන් මතුවන ප්රශ්නය වන්නේ සියලුම ප්රජාතන්ත්ර විරෝධී බලවේගයන් එක්ව ප්රජාතන්ත්රවාදය වළපල්ලට යැවීමේ අරමුණින් රඟන මේ මොහොතේ ප්රජාතන්ත්රවාදී වැසියන් කුමක් කරයිද යන්නයි. මට වැටහෙන අයුරින් ප්රජාතන්ත්රවාදය සේවය කරන්නේ රටක ස්වාධීන පුරවැසියාටයි. එය අහිමි වනවා යනු පුරවැසියා යටත්වැසි ගැත්තෙකු හෝ චූදිතයෙකු/බලපෑමට ලක් වූවෙකු බවට ඇද දැමීමයි. එසේ නම් මේ මොහොතේ සිවිල් සමාජය මේ ප්රතිගාමී බලවේගයන්ට එරෙහිව මහපාරට ආ යුතුය. ඔවුන් සියලුම ප්රජාතන්ත්රවාදී බලවේගයන් ඒකරාශී කරගෙන මේ ප්රජාතන්ත්ර විරෝධී බලවේගයන් පලවා හැරිය යුතුය; පැරදවිය යුතුය.
යම් අයුරකින් පුරවැසියා මේ අවස්ථාවේ මෙම ප්රජාතන්ත්ර විරෝධී බලවේගයන්ට මුහුණ දීම රාජ්යයේ සහ ආණ්ඩුවේ වැඩක් පමණක් යැයි සිතයි නම් එය විශාල වැරැද්දකි. ආණ්ඩුව මේ ප්රශ්න වලදී ඒවාට පිළිතුරු දිය යුතු බව ඇත්තකි. නමුත් ෆැසිස්ට් බලවේගයන් පැරදවීම ආණ්ඩුවේ පමණක් වගකීමක් නොවේ. සිවිල් සමාජය දැන් අවදි විය යුතුය. සිවිල් සමාජ කණ්ඩායම්වල එකතුවකින් වහාම සිවිල් ක්රියාදාමයක් සඳහා ජනතාව එක් කළ යුතු ය. එවැනි සිවිල් සමාජ එකතුවකට, ජාතික ජන බලවේගය ආණ්ඩුවට තම ඡන්දය දුන් අය සහාය වීම ද මෙහිදී වැදගත්ය.
ප්රජාතන්ත්රවාදී රටක්, කතිරය ගසා නිහඬ වීමෙන් පමණක් ලබා ගත නොහැකි බව තේරුම් ගත යුතු ය. යම් දේශපාලන බලවේගයක් බලයට ගෙන ඒම පමණක් ප්රජාතන්ත්රවාදී රටක් ඇති කර ගැනීමට ප්රමාණවත් නොවන බව දැන් මේ ඡන්දදායකයා ද වටහා ගත යුතුය.
ලොව කිසිම තැනක වැඩවසම් බලවේග හෝ ප්රතිගාමී ෆැසිස්ට් බලවේග ප්රජාවට බලය ලබා ගැනීමට ඉඩ දී බල වේදිකාවෙන් ඉවත්ව නොගියහ. ඔවුහු තමන්ගේ බලය රැක ගැනීමට මෙන්ම ගිලිහුණු බලය නැවත ලබා ගැනීමටද විශාල වෑයමක් දරති. එසේ නම් දැන් ලංකාවේද මේ මොහොතේ මේ ප්රතිගාමී බලවේගයන් හිස ඔසවා තිබෙන්නේ ඔවුන් අතින් ගිලිහී යාමට නියමිත බලය වෙනුවෙනි. ලොව කොතැන සිදු වුවද ප්රජාතන්ත්රවාදී පුරවැසියාගේ යුතුකම වන්නේ ප්රතිගාමී බලවේගයන් පරාජය කිරීම සඳහා එක් වීමයි.
මගේ වැටහීම අනුව අද අප කළ යුතු දේ පසුවට කල් තැබුවහොත් අපට විශාල පසුතැවීමකට මුහුණ දීමට සිදු වෙයි. මම ජීවත් වන ජර්මනිය, ප්රගතිශීලී බලවේග 1933 දී කළ වැරැද්ද නිසා මිනිස් ජීවිත මිලියන 60ක් බිලිගත් රටකි. අප රට තුළ පසුගිය වසර 40 ක පමණ කාලයක් මිනිස් ජීවිත දස දහස් ගණනින් බිලිගත් බව අපි දනිමු. තවදුරටත් කල් මරමින් නොසිට වහාම සිවිල් සමාජය පාරට කැඳවීම මේ මොහොතේ දියුණු පුරවැසියාගේ යුතුකමයි. ඒ සඳහා සිවිල් සමාජ කණ්ඩායම් එක්වීම වෙන කවදාටත් වඩා ප්රතිගාමීත්වය හිස ඔසවා ඇති මේ මොහොතේ වැදගත්ය.
රංජිත් හේනායක ආරච්චි | Ranjith Henayaka Arachchi