සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Life quips, Media, Peace and reconciliation

කෝප්පායි මහවිරු සුසාන භූමිය මත 51වන සේනාංකයේ මූලාස්ථානයක්


ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වන සේනාංකයේ හමුදා මූලස්ථනය කෝප්පායි මහවිරු සුසාන භූමියේ දී මාර්තු 4 වන දා විවෘත කරනු ලැබී ය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදාපති ජගත් ජයසූරිය මහතා සහභාගී වූ අතර නව හමුදා මූලස්ථානය විවෘත කරනු ලැබුවේ ද ඔහු විසිනි.

මෙම උත්සවය පවත්වනු ලැබුවේ යාපනය දිස්ත්‍රික්කය භාර මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ නිසා එම ප්‍රදේශය අලංකාර ලෙස සරසා තිබිණි. මෙපමණ කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වන හමුදා මූලස්ථානය යාපනය නගරයේ පිහිටා ඇති සුභාෂ් හෝටලයේ සිට ක්‍රියාත්මක විය. 1995 දී එල්. ටී. ටී. ඊ. බලයෙන් යාපනය මුදවාගත් ආරක්‍ෂක හමුදා එතැන් සිට මේ දක්වා අවුරුදු 16ක්, 51 වැනි සේනාංකයේ මූලස්ථානය ලෙස යොදා ගනු ලැබුවේ මෙම හෝටලයයි.

පසුගිය වසරේ සිට 51 වැනි සේනාංක මූලස්ථානය යාපනය නගරයෙන් පිටතට ගෙන යෑමට අවශ්‍ය පියවර ගෙන තිබිණි. එම නිසා මෙය කෝප්පායිහි තිබූ විමුක්ති කොටින්ගේ මහවිරු සුසාන භූමියේ ස්ථාපනය කිරීමට තීරණය විය. මෙහි ඉදිකිරීම වෙනුවෙන් කෝප්පායි සුසාන භූමියේ තිබූ සියලු සොහොන් කොත් හමුදාව විසින් විනාශ කරනු ලැබ ඇත. පසුව චීන රජයේ ආධාර මත හමුදා මූලස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පසුගිය වසරේදී කටයුතු සම්පාදනය කෙරිනි. මෙම ඉදිකිරීම් සියල්ල නිමවා ඊයේ දිනයේ දී හමුදාපති ජගත් ජයසූරිය මහතා අතින් නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කරනු ලැබිණි. මෙම උත්සවයට ශ්‍රී ලංකා යුධ හමුදා, නාවික හමුදා සහ පොලිසිය නියෝජනය කරමින් නිලධාරීහූ රාශියක් සහභාගී වූහ.

සියලු පහසුකම්වලින් යුත් නවීන ක්‍රමවේදයන්ට අනුව මෙම හමුදා මූලස්ථානය නිම කර ඇති බව වාර්තා වේ. 51 වන හමුදා මූලස්ථානය කෝප්පායිහී දී විවෘත කිරීමෙන් පසු මෙහි සියලු පරිපාලන කටයුතු 4 වනදා සිට නව ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක වන බව උසස් හමුදා නිලධාරියෙක් උදයන් පුවත්පතට ප්‍රකාශකර ඇත. සුභාෂ් හෝටලයේ ක්‍රියාත්මකව තිබු මුලස්ථාන පරිපාලන කටයුතු නව ගොඩනැගිල්ල තුළ ආරම්භ කර ඇති මුත් තාක්‍ෂණික ඒකක ඇතුලු තවත් ඒකක කිහිපයක් තවමත් මෙම හෝටලයේ සිට ක්‍රියාත්මක වන බවත් ඉදිරි සතිය තුළ එම ඒකකත් නව මූලස්ථාන ගොඩනැගිල්ල වෙත ගෙන යන බවත් පසුව මෙම හෝටලය මුලුමනින්ම හිමිකරුවන්ට ලබාදෙන බවත් ඉහත හමුදා නිලධාරියා උදයන් පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

(2011 මාර්තු 05 වැනි දින උදයන් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ සිංහල පරිවර්ථනය යි)

පසු සටහන

මෙම එල්ටීටීඊ සාමාජිකයන්ගේ සොහොන්කොත් මත හමුදා සංකීර්ණය ඉදිකිරීම පිළිබදව ඊයේ[7] බීබීසීය සමග අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කර සටියේ ‛‛2000ට අධික එල්ටීටීඊ සාමාජිකයන්ගේ සිරුරු මිහිදන් කර ඇති මෙම සොහොන් භූමිය ඔවුන්ගේ සමීපතමයන්ගේ එකම මතකය බවත්, ඒ මත මෙම හමුදා සංකීර්ණය ඉදිකිරීම ඉතා කණගාටු තත්ත්වයක් බවත්, ප්‍රකාශ කරන සිවාජිලිංගම් මහතා, ආණ්ඩුව ගොඩනගනවා යැයි කියන සහජිවනය මෙය දැයි ප්‍රශ්ණ කරයි.