සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

කොළඹ ආරක්ෂක සමුලුව -”මෙවැනි සමුලුවක් පැවැත්වීම මඟින් දෙමළ ජනතාවට ලබා දෙන පණිවිඩය බයංකර එකක්’’ – හියුමන් රයිට්ස් වොච්

ශ්‍රී ලංකාවේ රජයේ හමුදා විසින් කොළඹ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යුද අත්දැකීම් සමුඑවකට සහභාගී නොවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විදේශීය හමුදාවන්ගෙන් ඉල්ලා ඇති බව බිබීසී සංදේශය අද(14) වාර්තා කළේය.

මෙම ප්‍රකාශය කරන හියුමන් රයිට් වොච්, මානව හිමිකම් සංවිධානය පවසන්නේ සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත් කළ යුද ප්‍රතිපත්තියක් සැමරීමට රට රටවල හමුදා කොළඹට එක්වීම සිදු නොකල යුතු බව ය. හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කලාප භාර විධායක අධ්‍යක්ෂක බ්රූඩ් ඇඩම්ස් වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසී ය සමඟ පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජයේ යුද හමුදාව එල්ටීටීඊ යට එරෙහිව යුද්ධයේ දී අනුගමනය කළ පිළිවෙතට ජාත්‍යන්තර අනුමැතියක් ලබා දීම යෝජිත සමුඑවට සහභාගීවීම මගින් සිදුවන බවය. ‛‛ශ්‍රී ලංකා රජයේ හමුදා යුද්ධයේ අවසාන අදියරේදී අනුගමනය කළේ මහපොළොව දවා හඑ කරලීමේ ප්‍රතිපත්තියක්. තමන්ගේ මාර්ගයේ හරහට හිටි හැමදෙනාම මරා දමනු ලැබුවා. ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමන කලේ නෑ. මේක සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්.’’

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කොට ඇති පරිදි ත්‍රස්තවාදය පැරදවීමේ ශ්‍රී ලාංකික අත්දැකීම නම් මෙම සමුලුව කොළඹදී පවත්වනු ලබන්නේ ලබන මැයි මස 31දා සිට ජූනි 02 දක්වා කොළඹ ගලදාරි හෝටලයේ දී ය.

‛‛එල්ටීටීඊ ය යුද්ධයෙන් පරාජය කර දෙවසරක් ගතවීම සනිටුවහන්වන මාසයේම මෙවැනි සමුලුවක් පැවැත්වීම මඟින් දෙමළ ජනතාවට ලබා දෙන පණිවිඩය බයංකර එකක්’’ බව හියුමන් රයිට්ස් වොච් විධායක අධ්‍යක්ෂකවරයා පවස යි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ‛‛ශ්‍රී ලංකාවේ රජය තාමත් පිළිගන්නේ නෑ එකම මානව හිමිකම් උල්ලංඝනයක්වත් සිදු වූ බව. ඒ වගේම තවමත් රජයේ නිළධාරීන් කියන්නේ එකම සාමාන්‍ය වැසියෙක්වත් මිය ගියේ නැහැ කියලයි.’’

එසේම පැවැත්වීමට නියමිත කොළඹ යුද අත්දැකීම් සමුඑවේදී සාකච්චඡාවට ගැනෙන කරුණු ගණනාවක් රජයේ හමුදාව විසින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

– ත්‍රස්තවාදයට එරෙහිව ඵලදායී ලෙසින් උපක්‍රම යොදා ගැනීම,
– ක්‍රියාන්විත හා උපායමාර්ග පාඩම්,
– උපායමාර්ග පුහුණුව පිළිබද ඇගයීම,
– මානව අයිතිවාසිකම් පිළිබදව වූ භූමිකාව
– හිටපු ත්‍රස්තවාදී සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම,
– නීතිරීති උල්ලංඝණය කිරීම් වැලැක්වීම පිළිබඳ මිනුම් දඬු,
– දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම හා සම්ප්‍රදායික ආකෘති පිළිබද නැවත ඇගයීම යන කරුණු ප්‍රධාන ලෙසම සාකච්ඡාවට ලක් කිරීමට නියමිත අතර මෙම සමුලුව ඇමතීම සඳහා යුධ විශාරදයින් ඇතුලු විද්වතුන් විශාල ප්‍රමාණයක් සහභාගී වීමටත්, රටවල් 54ක නියෝජිතයන් මෙම සමුඑවට සහභාගීවීමට නියමිත බව ත්, http://www.defence.lk වෙබ් අඩවිය සඳහන් කරයි. මෙම වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට මෙම සමුලුව නම් කර ඇත්තේ ‘ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමේදී ලද අත්දැකීම් ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කර ගැනීමේ සමුළුවක්ය” යනුවෙනි.

එහෙත් හියුමන් රයිට් වොච් සංවිධානය කියා සිටින්නේ දැනටමත් රටවල් කිහිපයක්ම ඊට සහභාගී නොවන බව තමන්ට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම බීබීසීය සමඟ තවදුරටත් අදහස් දක්වන හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානයේ, විධායක අධ්‍යක්ෂකවරයා ‛‛මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන බව මෙම සමුලුවේදී පැවසීම හාස්‍යට කරුණක්. මේ සමුලුවේ අරමුණ යුද්ධයේදී සිදුවූ හොඳ, නරක සහ කැත දේ සොයා බැලීම නම් අපි ඒකට ප්‍රශංසා කරනවා. ඒත් මේ සිද්ධවෙන්නේ ශ්‍රී ලංකාවේ රජය තමන් කළ දේට ලොකයේ අනිත් රටවල අනුමැතිය ලබා ගැනීමට උත්සහ කිරීමක්. දෙමළ ජනතාවට මේක සිහිපත් කර දෙන්නේ එල්ටීටීඊ යේ පරාජය පමණක් නෙමෙයි. ඒ පරාජයෙන් සතුටු වන දෙමළ ජනතාවක් ඉන්න බව ඇත්තක්. ඒත් මේ වගේ මහා මනුෂ්‍ය ඝාතනයක් යළිත් සිහිපත් කරනවා. අනවශ්‍ය හා නීති විරෝධී මිනිස් ඝාතනයන් දස දහස් ගණනක් සිහිපත් කරනවා. අවුරුදු දෙකකට ඉස්සර දෙමළ ජනතාවට කියනු ලැබූවේ ආරක්ෂාව සදහා යුද මුක්ත කලාපයට යන්නයි කියලා. ඊට පස්සේ ඔවුන්ට උදේ හවා සිද්ධ උනේ ෂෙල් ප්‍රහාරවලට මුහුණ දෙන්න. ඒක බිය ජනක අත්දැකීමක් උනේ එතන හිටිය අයට විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ඥාති මිත්‍රාදීන්ටත්. ඒ නිසා මැයි මාසයේ මේ සමුලුවට සහභාගීවෙන්න බලාපොරොත්තු වන අය බරපතල විදිහට කල්පනා කළ යුතුයි ඒ මඟින් දෙමළ ජනතාවට දැනෙන පණිවිඩය ගැන.’’