සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව :”ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ශිෂ්‍යාවන් 300 කට වැසිකිලි තියෙන්නෙ 02 යි. සමහර හමුදා කඳවුරු ඇතුළෙ තර්ජනය, බලහත්කාරය තියෙනවා.” – අන්තරය

පසුගිය 25වනදා නවක විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ වනවිට හමුදා කඳවුරු තුළ ලබා දෙමින් සිටින හමුදා පුහුණුව පිළිබදව කරුණු දැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. එහිදී එම හමුදා පුහුණුව සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මෙසේ අදහස් දැක්වීය.

”අද මේ රටේ විශ්ව විද්‍යාල සිසුන් හමුදා කඳවුරු ඇතුළෙ අනේකවිධ දුක් විඳිනවා. ඒවා බලා ඉන්න බැරි දෙමව්පියො අද නොකා නොබී ගෙවල් වලට වෙලා ඉන්නවා. ආණ්ඩුව විශ්ව විද්‍යාල සිසුන් සඳහා වද දීමට හඳුන්වා දුන් පුහුණුවක් මේක. දෙමව්පියෝ කියන විදිහට ආරම්භයේ ඉඳලම සිසුන්ට ඉතාමත් පීඩාකාරී විදිහට තමයි සලකලා තියෙන්නෙ. ”

” සිසුන් කඳවුරු ඇතුළෙ විඳින වේදනා දෙමව්පියන් දැනගන්නා නිසා සිසුන්ට දුරකථන භාවිතා කරන්න තියෙන ඉඩකඩ සීමා කරලා තියෙනවා. කඳවුර තුළට ගිය දවසෙ ඉඳලා තවමත් ගෙදරට කතා කරපු නැති සිසුන් ඉන්නවා. පළමු දවසෙදිම මින්නේරිය හමුදා කඳවුරේ සිසුවියන්ට ලැබුණෙ පිළුණු වෙච්ච ආහාර. ඊට පස්සෙ දෙමව්පියන් බලා ඉඳිද්දිම සිසුන්ව බලහත්කාරයෙන් පෝලිම් ගස්සලා පිඟානකුයි, කෝප්පයකුයි අතට දීලා තියෙනවා. දෙමව්පියන් වේඳනාවෙන් ඇඬුවා. ඒ වගේම බූස්ස හමුදා කඳවුරේ ශිෂ්‍යාවන්ගේ වැසිකිලි සඳහා ජලය තිබුණෙ නැහැ. බොන්න තිබුණ ජලය කිසිසේත්ම පානය සඳහා සුදුසු නැහැ. සමහර කඳවුරු වල ශිෂ්‍යාවන්ට රාත්‍රී 8 විතර වෙනකම් නිදියගන්න තැනක් තිබුණෙ නැහැ. මේ සිසුවියො කඳවුරේ ගස් යටට වෙලා බයෙන් බිරාන්තව බලා ඉඳලා තියෙනවා. ”

මේ රටේ දරුවො ආණ්ඩුව හිතා ඉන්නෙ ඔවුන්ගෙ සෙල්ලම් බඩු කියලා. මේ රටේ දෙමව්පියො තමන්ගෙ දරුවො උසස් පෙළ සමත් කරලා විශ්ව විද්‍යාල දක්වා යවන්න නොවිඳිනා දුක් විඳිනවා. එහෙම විශ්ව විද්‍යාලයට යවන දරුවාට හමුදා කඳවුරු වල දාලා වද දෙන්න ආණ්ඩුවට තියෙන අයිතිය මොකක්ද?

පසුගිය 22 වෙනිදා සිසු සිසුවියන්ට නොවිඳිනා දුක් හමුදා කඳවුරු ඇතුළෙදි විඳින්න උනා. ඊට පස්සෙ රාජ්‍ය වන්දනාව සඳහා අරලියගහ මන්දිරයට සිසුන්ව ගෙනියන්න 23 වෙනිදා පාන්දර 1 ට ඇහැරෙව්වා. මෙහිදි බූස්ස කඳවුරේ සිසුන් පාන්දර 4 ට කොළඹ බලා පිටත් වුණා. උදේට කන්න හම්බ වුණෙ නැහැ. කඩල ටිකක් හම්බ වුණා කන්න. හැබැයි වතුර පොදක් හම්බ වුණෙ නැහැ බොන්න. ජනාධිපතිවරයා දේශනයක් තිබ්බා. ඒ දේශනයෙන් පස්සෙ සිසුන්ට අරලියගහ මන්දිරයෙන් කෑම පාර්සලයක් ලැබුණා. නමුත් මේ කෑම පාර්සලේ සිසුන් කන්න හදන කොට හමුදා නිළධාරීන් නියෝග කළා දැන් ප්‍රමාද වෙලා තියෙනවා ඒ නිසා කෑම කන්න වෙලාවක් නැහැ බස් එකේ යන අතර කන්න කියලා. බස් එකේ යන ගමන් කන්න බැරි නිසා සිසුන් කෑවේ නැහැ. ඒ නිසා කළුතර නතර කරන්න සිද්ද වුණා කෑම කන්න. කළුතර නතර කරද්දි අරලිය ගහ මන්දිරයෙන් ලැබිලා තිබුණ අර ප්‍රණීත භෝජනය පිළුණු වෙලා තිබුණා. මේ විදිහට දුක් විඳින්න ඒ සිසුන් කරපු වරද මොකක්ද?

සමහර හමුදා කඳවුරු ඇතුළෙ තර්ජනය තියෙනවා, බලහත්කාරය තියෙනවා. හමුදා කඳවුරු වල තියෙන මේ සුන්දර පුහුණුව කොයිතරම් හොඳද කියනවා නම් සිසුන්ට කන්න නැහැ, බොන්න වතුර පොදක් නැහැ, නාන්න වතුර පොදක් නැහැ, නිදා ගන්න වෙලාවක් නැහැ, නිදාගන්න තැනක් නැහැ, මේක මේ ලෝකෙ අපායක්. මේ ලෝකෙ අපායකට සිසුන්ව දාලා පළිගන්න මේ රටේ ආණ්ඩුව කටයුතු කරනවා.

ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ශිෂ්‍යාවන් 300 කට වැසිකිලි තියෙන්නෙ 02 යි. උදේ 5 ට කලින් මේ ශිෂ්‍යාවෝ සූදානම් වෙලා ඉන්න ඕනෙ. එක් අයෙක් විනාඩි දෙකක් වැසිකිලිය පාවිච්චි කළත් මොවුන් සියළු දෙනාට වැසිකිලි යන්න විනාඩි 300 ක් ගත වෙනවා. ඒ කියන්නෙ පැය 5 ක්. මෙවැනි තත්වයක් තුළ සිසුන් පත්වෙන අපහසුතාවය තේරුම් ගන්න මේ රටේ පාලකයෝ සමත් වෙලා නැහැ.

මේ සිදුවීම් එක්ක දෙමව්පියො හමුදා කඳවුරු වලට ගිහින් දරුවන්ව අරන් යන්න ඉල්ලපුවාම ඔවුන්ට ඒ පිළිබඳව තීරණ ගත නොහැකි බවත් ආරක්ෂක අමාත්‍යාංශයට යන ලෙසත් කඳවුරු වලින් දෙමව්පියන්ට කියලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයට ගියාම ඒ අය කියනවා අරගත්තට පස්සෙ යවන්න බැහැ. දවසක් දෙකක් යනකොට හරියයි කියලා.

විශ්ව විද්‍යාල සිසුන්ව බලෙන් කඳවුරු ඇතුළට දාලා වද දෙන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. මේ ක්‍රියාත්මක වෙන්නෙ රාජ්‍ය ත්‍රස්තවාදය. අද දෙමව්පියන්ට තමන්ගෙ දරුවො ගැන අයිතියක් නැහැ . එතකොට මේ දරුවන්ට ඉගැන්නුවේ ආරක්ෂක අමාත්‍යාංශයද? එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්තුමාද? ජනාධිපතිවරයාද? මේක ඛේදවාචකයක්.

මේ පුහුණුව ආරම්භ කරද්දි සිසුන්ගේ, දෙමව්පියන්ගෙ කැමැත්ත අකමැත්ත හොයලා බැලුවෙ නැහැ. මීට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. සිසුන්, ගුරු සංගම් මේ සඳහා සහය පල කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අප විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බලපු ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති වරයාට නියෝග කළා මේ පෙත්සම සලකා බලන කාලය තුළ හමුදා පුහුණුව අත්හිටවීම සඳහා සලකා බලන්න කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීම නොසලකා හරිමින් ආණ්ඩුව මේ බලහත්කාරී හමුදා පුහුණුව ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පෙත්සම් ලබන 30 වෙනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරිපිට සලකා බලන්න තීරණය කරලා තියෙනවා.

මේ රටේ සිවිල් ජනයා විසින් කරන ලද සියළු ප්‍රතිවිරෝධතා නොසලකා හරිමින් ආණ්ඩුව මේ බලහත්කාරී හමුදා පුහුණුව ආරම්භ කරලා තියෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා ඒකාධිපති පාලනයක් ගෙනියන්න. ඒ සඳහා අවශ්‍ය බුද්ධිමය සම්පත් මොට කිරීමට සහ විශ්ව විද්‍යාලය තුළ ඔවුන්ට ගැති කොටසක් නිර්මාණය කිරීමට තමයි මේ කියන හමුදා පුහුණුව ගෙනල්ලා තියෙන්නෙ.