Colombo, end of the War, Featured Articles, Features, Jaffna

Sri Lanka Killing Fields :ශ්‍රී ලංකා ඝාතන භූමිය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

කළකට පෙර ප්‍රදර්ශණය වූ කාම්බෝජයේ අති බිහිසුණු ජනඝාතනය දැක්වෙන ණසකකසබට ත්‍සැකාි විත්‍රපටය විසින් නගන ලද මානුෂිය ප්‍රශ්ණය එනම් මිනිසා මිනිසා කෙරෙහි මෙතරම් කුරුරු විය හැක්කේ කෙසේ ද යන්න දැන් යළිත් වරක් ශ්‍රී ලංකා ඝාතන භූමිය නම් වාර්තා සිනමා පටය විසින් යළි දෝංකාර නංවනු ලබන්නට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි වූ මිනිස් ඝාතන අළලා බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 විසින් නිශ්පාදනය කරන ලද ‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ සිනමා පටය දැන් ලොව පුරා දේශපාලන වා රුළි නංවයි. සාමන්‍ය ජනයා මත පතිත වූ යුද්ධයේ ඇදහිය නොහැකි විපාක සහ අත් අඩංගුවට පත් සැකකාර තරුණ පිරිස් ඝාතනය කිරීම් දැක්වෙන එහි රූප රාමු විසින් සසළ නොකරවන මිනිස් සංතානයක් තිබිය නොහැකි තරම් ය. මෙම සිනමා පටය ජීනීවා මානව හිමිකම් කොමිසමෙහි ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව පැවති සාමීචියේ දී එහි අධ්‍යක්ෂ කැලෙම් මැක්රේ “මොකද හිතුනේ?” කියා මගෙන් අසුවේ ය. “මට 1971 සහ 1988 -89 මතක් වුණා’‛ කියා මම කීවෙමි.

මේ වනාහී ශ්‍රී ලාංකික අප විසින් නැරඹිය යුතුම සහ කතා බහකළ යුතුම චිත්‍රපටයකි. මන්දයත් මේ වනාහී හුදෙක් එල්ටීටීඊ ය සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර පැවති යුද්ධයේ කතාන්තරය පමණක් නොව 1971 කැරැල්ලේ සිට අප අත් දැක ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය පිළිබඳ කතාන්තරයේ තවත් බියජනක පරිච්ජේදයක වාර්තාකරණයක් වන නිසා ය.

සිනමා පටයේ අධ්‍යක්ෂ කැලෙම් මැක්රේට අනුව ඔහුගේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර එහි පාර්ශවකරුවන් වූ ශ්‍රී ලංකා ආරක්ෂ හමුදා සහ එල්ටීටීඊ ය විසින් කරන ලද යුද්ධ අපරාධ සම්බන්ධයෙන් අවබෝධයක් සහ විවාදයක් ඇති කිරීමත් එහි ගොදුරු බවට පත් වූවන්ට යුක්තිය ලබා ගැනීමට මඟ සැළසීමටත් ය. කැලෙම් මැක්රේ සම්මානලාභී උද්ඝෝෂණික ජනමාධ්‍ය :ජ්පච්සටබ වදමරබ්කසිප* වෘත්තිකයෙකි. මෙම වාර්තා සිනමා පටය එල්ටීටීඊ මුදලට වහල් වී කරන ලදැයි ශ්‍රී ලංකා ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් පත්කරන ලද ශ්‍රී ලංකා විද්වත් කමිටුව සිය වාර්තාව සකස් කරන ලද්දේ එල්ටීටීඊයෙන් අල්ලස් ගැනීමෙන් පසුව යැයි කරන ලද අවලාදයම කණගාටුදායක ලෙස පුනරුච්චාරනය කිරීමකි.

දුර්විපාක නොලැබීමේ සංස්කෘතියේ අනෙක් පැත්ත වගවීම ප්‍රතික්ෂේප කිරීම යි. මේ දෙපිළිවෙත එකට වෙළී ගමන් කරන්නේ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටු වීමට ඉඩක් නොතබමිනි. දැන් වත්මන් ශ්‍රී ලංකාණ්ඩුවේ ඒකායන පිළිවෙත බවට පත්ව ඇති මෙම පිළිවෙත උතුරට හෝ දෙමළ ජනයාට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන හෙණයක් බවට පත්ව තිබේ. මෙම ද්විත්ව දුෂ්වරිතයෙන් ශ්‍රී ලංකාණ්ඩුව මිදෙන තුරු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය, ජනවාර්ගික ප්‍රති සංධානය හෝ මානව හිමිකම් තහවුරු කිරීමකට ඉඩක් නැත. මෙම සිනමා පටයේ තවත් වැදගත් කමක් වන්නේ එකී දුර්ලක්ෂණයන් යළිත් ඉස්මතුකර පෙන්වීම යි.

මෙම වාර්තා චිත්‍රපටයෙහි එන රූප රාමු තමිල් නාඩුවේ දී රූ ගතකරන ලද ඒවා යැයි ද එසේ නොවේ නම් විවිධ සංස්කරණයන් මගින් හැඩ ගස්වා ඇතැයි ද ප්‍රකාශ කරන ශ්‍රී ලංකාණ්ඩුව ‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ නම් සිනමා වාර්තාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. ඒ අතරම එහි දැක්වෙන යම් යම් ඝාතනයන් සාධාරණය කිරීමට කරුනු ද ඉදිරිපත් කරයි. ඉන් එක් උදාහරණයක් වන රමේශ් නම් එල්ටීටීඊ නායකයා හමුදා අත්අඩංගුවේදී ප්‍රශ්ණ කරනු ලැබීමත් ඉන් පසුව ඔහු ඝාතනය කර තිබීමත් දැක්වෙන් රූප රාමු ය. ආරක්ෂ ලේකම්වරයා ප්‍රසිද්ධ රැස්වීමක දී ප්‍රකාශ කර තිබුණේ මේ මරා දමා ඇති පුද්ගලයා ජනඝාතක එල්ටීටීඊ නායකයකු බව සිනමා පටය සඳහන් නොකරන බව යි. මේ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාණ්ඩුව පිළිගන්නේ අත් අඩංගුවට ගත් එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමේ වරදක් නැති බව යි. අධ්‍යක්ෂ කැලෙම් මැක්රේ අත් අඩංගුවට ගත් පිරිස් ඝාතනය කිරීම අන්තර් ජාතික නීතිය අනුව වරදක් බව පෙන්වා දෙන අතර ආරක්ෂ ලේකම් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ එසේ ඝාතනය කර ඇති පුද්ගලයා ජන ඝාතකයෙක් බව යි.

එවැනි තවත් සිදුවීමක් නම් කොටි හඬ රෑපවාහිනී සේවාවේ නිවේදිකාවක් වූ ඉසුප්‍රියා ඝාතනය කිරීම යි. ‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ වාර්තා සිනමා පටයෙහි එක් රූප රාමුවකින් පිටුපසට දෑත් බැඳ මරා දමා සිටින ඉසුප්‍රියාගේ නිරුවත් සිරුර දක්නට ලැබේ. ශ්‍රී ලංකාණ්ඩුව ඊට ප්‍රතිචාරයක් වශයෙන් දක්වා ඇත්තේ ඇය ජනමාධ්‍යවේදිනියක් නොව එල්ටීටීඊ නායිකාවක් බව ය. ඇය අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරන ලද්දේය යන චෝදනාව ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප නොකරයි.

මෙම තර්ක මගින් ශ්‍රී ලංකාණ්ඩුව ‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ මගින් එයට එරෙහිව එල්ල කරන යුද අපරාධ වෝදනා වක්‍රව පිළි නොගන්නේද?

එල්ටීටීඊ නායකයින් වූ සිය සැමියන් ලංකාණ්ඩුවේ ඉල්ලීම අනුව යුද හමුදාවට බාරවනු තමන් සියසින් දුටු බවත් ඉන් පසු ඔුවන් ගැන කිසිදු තොරතුරක් නැති බවත් අඩුම වශයෙන් වැන්දඹු බිරින්දන් තිදෙනෙකු උගත් පාඩම් කොමිසම හමූයේ ප්‍රසිද්ධියේ සාක්ෂි දුන්හ. දැන් රමේශ් ඝාතනය සාධාරණීයකරණ තර්කය අනුව එළෙස අත් අඩංගුවට පත් අනෙක් එල්ටීටීඊ නායකයින් ද ඝාතනය කරන්නට ඇතැයි උපකල්පනය නොකළ යුතු ද?

අත්අඩංඟුවට ගැනෙන කරුලිකාර සැකකරුවන් ඝාතනය කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ පිළිවෙත බවට පත් වූයේ රාජපක්ෂ ආණ්ඩු සමයේ දී නොවේ. එය නිදහස් ලංකාවේ හතලිස් වසරක ඉතිහාසයකට උරුම කියයි.

1971 අප්‍රෙල් 22 දින මා සමඟ අම්බලන්ගොඩ පොලිස් අත් අඩංගුවේ සිටි සහෝදර කැරලිකරුවන් තිදෙනෙකුම පහර දී මරා දමනු ලැබූයේ මගේ ඇස් ඉදිරිපිට දී ය. මද සිහිය තිබූ එම සිරුරු අම්බලන්ගොඩ පොලීසිය ඉදිරිපිට වෙරළේ වළ දම්මවන ලද්දේ තවත් සහෝදර කැරලිකරුවන් දෙදෙනෙකු ලවා ය. අප්‍රේල් 05 දින රැයෙහි පොළාන්නරුව පොලීසියට පහර දීමට ගිය බසයේ සිටි සියළු දෙනාම ඝාතනය කරන ලද්දේ කිසිදු තුවාලරුවකුවත් ඉතිරි නොවන පරිදිය. කැරුල්ල දියත් වූ අප්‍රේල් 05දා සිට අප්‍රේල් 22 දක්වා අත් අඩංඟුවට පත් සියළු දෙනාම වාගේ ඝාතනය කරන ලද්දේ ප්‍රසිද්ධියේ ය. අමානුෂික වධහිංසා පැමිණවීම ආරක්ෂ අංශයන්හි වෘත්තීමය කුසළතාවයක් බවට වර්ධනය වූයේ ද අත් අඩංඟුවට පත් 71 කැරලිකරුවන් වෙත මුදාහළ ප්‍රචණ්ඩත්වය හරහා ය.

ඉන් අනතුරුව ආරක්ෂ අංශ තුළ අභ්‍යන්තර ගත වූ ඝාතනයේ සහ වධහිංසා පැමිණවිමේ දුෂ්ඨත්වය 1988 – 1990 සමයේ දී මළ සිරුරු ප්‍රසිද්ධියේ පුළුස්සමින් බලු කපුටන්ට දානය කිරීම දක්වා ගොජ දැමුවේ ය. ඊටම සරිලන අමිනිස් පිළිවෙතක් උතුරේ දෙමළ කැරලිකරුවන් මෙන්ම දකුණේ සිංහල කැරලිකරුවන් විසින් ද ලේ පොවා ඇති දැඩි කර ගන්නා ලදී. දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරය විරුද්ධවාදී සිවිල් පිරිස් අමු අමුවේ ඝාතනය කිරීම දේශප්‍රේමීත්වයැයි උදම් ඇනූ නැංවූ අතර තමන් විසින් අහිංසක සිංහලයින් සමූළ ඝාතනය කිරීම යුද ජයග්‍රහණයන් යැයි උදම් ඇනීම දක්වා එල්ටීටීඊ ය ගමන් කලේ ය.

එමෙන්ම එල්ටීටීඊ නායකයින් පමණක් නොව විජේවීර ඇතුළු ජවිපෙ නායක මංඩලයම ඝාතනය කරන ලද්දේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව බව රහසක් නොවේ.

අප මෙම වාර්තා සිනමා පටය සළකා බැලිය යුතු එක් ප්‍රධාන දෘෂ්ඨි කෝණයක් මෙය යි. එනම් ශ්‍රී ලංකාවෙහි පවත්නා ඝාතන දේශපාලන සංස්කෘතිය සහ දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසානයක් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්ණය යි. ‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ තවමත් අවසන් නැත. කටුනායකදීත් යාපනයේදීත් කොළඹ දීත් එය විවිධ මුහුනුවරින් හිස ඔසවයි. මේ ඝාතන සංස්කෘතියේ උරුමකරුවන් තමන් බව පෙන්වන රාජ්‍ය ඒ මගින් පුරවැසියන් බියගන්වා නියාළුවන් බවට පත් කරයි. අප මේ සංස්කෘතිය සාකච්ජාවට ගෙන පැරදිවිය යුත්තේ ඒ නිසා ය.

‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ සාකච්ජා කරන ප්‍රධාන ප්‍රශ්ණය අත්අඩංගුවට පත් සැකකරු ඝාතනය ම නොවේ. යුද්ධය විසින් වන්නියේ දෙමළ සිවිල් ජනයා මත පතිත කරවන ලද ඝාතන සංස්කෘතිය මෙම සිනමා පටය විසින් අතිශෝක්තියට නැගිය නොහැකි තරමේ ප්‍රබලත්වයකින් යුතුව පෙන්නුම් කරයි. අපේ සහෝදර ජනයා මත යුද්ධයේ දෙපාර්ශවයම විසින් පතිත කරවන ලද ඒ සා බිහිසුණු වූ ව්‍යසනය අපේ දෑස් ඉදිරිපටට ගෙන ඒම සම්බන්ධයෙන් අප කැලෙම් මැක්රේට ස්තුතිවන්ත විය යුතු ය.

අනෙක් අතට ‛ශ්‍රී ලංකා ඝාතන භුමිය’ විසින් පෙන්වන්නේ මිනිසා විසින් මිනිසා මත ඇති කරන ම්ලේච්චත්වය පමණක් නොවේ. භයංකාර වූ දුක්වේදනා සහ දසත ලේ හලන මරණය මැද මැද ජීවත්වීමට මිනිසා සතු අප්‍රමාණ ධෛර්‍ය ද එකිනෙකා කෙරෙහි දක්වන ආදරය සහ අනුකම්පාව ද මෙම රූප රාමු විසින් සංනිවේදනය කරයි. නොකඩවා ඇඳ හැලෙන බෝම්බ වරුසා විසින් තමා හෝ තම දරුවන් හෝ අසල් වැසියන් හෝ ඊලඟ මොහොතේ දී අත්පා අහිමිව යාමට හෝ මිය යාමට නියමිතව තිබිය දී තුවාලකරුවන් රැකබලා ගනිමින් දරුවන් ඇකයේ හොවා ගනිමින් වන්නියේ ජනයා දක්වා ඇති මානුෂීය දිරිය කළුවළාවක් මැද ඇති මනුෂ්‍යත්වයේ රිදී රේඛාවයි. මෙවැනි රූප රාමු යොදා ගනිමින් ‛මනුෂත්වයේ ධෛර්‍යය’ පෙන්වාලන සිනමා පටයක් කවර දිනෙක හෝ අපේ සිනමාකරුවකු විසින් තැනිය යුතුය. එවැනි නිර්මාණකාරියක් යුද බිම මැද සිය ජීවිත බේරා ගැනීමටත් වෙර දරා ඉන්පසුව අද දක්වාම දහසකුත් එකක් බාධා මැද ජීවන සටන ජය ගැනීමටත් වෙර දරන වන්නියේ අපේ ඥාතීන්හට පමණක් නොව තෘප්ත කළ නොහැකි ලේ පිපාසවකින් පෙළෙන යුද්ධ යක්ෂයාගේ මුව තුළ සිටිමින් මිනිස් ජීවිතයේ අයිතිය වෙනුවෙන් ජීවත්වන සියළු ජනයාට කැරෙන උපහාරයක් වනු නිසැක ය.

‛ශ්‍රී ලංකා ඝාතන භූමිය’ නරඹන්න. නරඹා ඔබේම තීරණයන්ට එළබෙන්න.

සුනන්ද දේශප්‍රිය