Colombo, end of the War, Featured Articles, Features, Jaffna

චිත්‍රපටයකින් සිංහල බෞද්ධයාගේ හෘද සාක්‍ෂිය නිරුවත් කිරීම


පසුගිය අඟහරුවාදා නැතිනම් පොසොන් පොහොය ලබන්නට ඔන්න මෙන්න තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මඟන් ශ්‍රී ලංකාවේ දී සිදුවී ඇති යුධ අපරාධ සම්බන්ධව වාර්ථාමය චිත්‍රපටිය ලෝක ජනතාවට ප්‍රදර්ශණන කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව එංගලන්ත වේලාවෙන් රාත්‍රී 11.05 ට චිත්‍රපටය විකාශය කරන ලදී. ඇත්තෙන්ම මෙම චිත්‍රපට හා සම්බන්ධ පසුබිම ඉතාම සීරුවට විග්‍රහකර ගැනීම ඉතාම උවමනා කාරණයකි. දැනටමත් ලංකා රජය මෙම චිත්‍රපට හා එයට අදාළ යුධ අපරාධ සියල්ල ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ අතරම අනෙක් පසින් ජාත්‍යන්තරය විසින් දිගින් දිගටම මේ සම්බන්ධව ඉතා සුපැහැදිලි පරීක්‍ෂණයක් වෙත යායුතු බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනික බල ව්‍යාපෘතියේ ඇත්තන් මේ සම්බන්ධව කුමක් ප්‍රකාශ කර සිටියද, ඇත්තෙක්ම කිලිං ෆීල්ඩ් හරහා ප්‍රශ්ණ කර සිටින්නේ මෙරට පාලන තන්ත්‍රයේ ගාමක බලවේගය වන සිංහල බෞද්ධ ජනයාගේ හෘද සාක්‍ෂියයි. සමහර විට මේ මොහොත වන විට සිංහල බෞද්ධයාගේ හෘද සාක්‍ෂියක් තිබේද කියා ප්‍රශ්ණයක් ද ඒ සමඟම ගොඩ නැගෙයි. විශේෂයෙන්ම මේ හරහා නිරුවත් වන්නේ කාලයක් තිස්සේ තළු මරනා සිංහල බෞද්ධ අධිකාරියේ සදාචාරයයි. මහින්ද වැනි ජාතිවාදී නායකයන් බිහිවන්නේම සිංහල බෞද්ධ අධිපතිත්වයේ වගකීම ඉටුකිරීම වෙනුවෙනි. යුධ අපරාධ චෝදනා හරහා නිරාවරණය වන්නේ මහින්ද එම වගකීම ඉටුකොට ඇති ආකාරයයි. ඒ නිසාම මෙහි වගකීමෙන් සිංහල බෞද්ධ සමාජයට කිසිදා මහින්දට වරද දමා අතපිදා ගත නොහැකිය.

මේ වීඩියෝ අරන් මොනවද කරන්නේ

චිත්‍රපටියේ එක් දර්ශණයක මරබියෙන් තම දරුපැටවුන් තුරුළු කරගෙන විශාල කාණුවක ගුලිවී සිටිනා එක කාන්තාවක් ප්‍රශ්ණ කරන්නේ ඊළඟ මොහොත් තමන් මිය යන බවත්, මේ වීඩියෝ වලින් කුමක් කරන්නේ ද යන්නයි. ඇත්තෙන්ම ඇය මරණ මොහොත ඉදිරියේ දකුණේ හෘද සාක්ෂිය නිරුවත් කරවයි. නමුත් දිගින් දිගටම සිංහල කොටස් විසින් එම වීඩියෝ දර්ශණ ඔවුන්ගේ රණවිරු දේවතාවන් අපහසුතාවට පත් කරලන්නට මෙම වීඩියෝ දර්ශණ නිර්මාණය කර ඇතැයි කියන ජාතිවාදී මානසික තෘප්තියෙන් සැනසෙනවා හැර ඒ වෙනුවෙන් වූ කිසිදු මැදිහත් වීමක්වත් නොමැත. උතුරු භූමිය පුරා පිළිම පැටව් ගසමින් බෝ ගස් තවාන් දමමින් සිටිනවා හැර ඒ ජනතාව වෙනුවෙන් වූ අවම මානව කැපකිරීමවත් සිංහල ජනසමාජය විසින් සිදුකලේ නැත. එය උතුරේ ජනතාව දන්නේම අද ඊයක සිට නොවේ. ඔවුන්ට ආයුධ අතට ගෙන තමන්ගේ අයිතීන් ලබාගැනීම වෙනුවෙන් සටන් වදින්නට සිදුවන්නේම මේ නිසාවෙනි. මේ නිසාම එම කාන්තාවගේ එම ප්‍රශ්ණය තාර්කිකය. තවද වඩාත් පුළුල් අර්ථයෙන් ගත කළ ඒ මොහොතේ තමන්ගේ මේ මිනිසුන් වෙනුවෙන් තම මැදිහත් වීමේ වගකීම නොකල ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තරයෙන්ය.

මරා දැමූ පසුත් රමණයේ යෙදීම

“ඒ කඳ තමා හොද කඳ” මෙසේ කියන්නේ මානව හිමිකම් ලේඛණය එක් අතක දරා අනෙක් අතින් යුද අවිය දරා මානුෂීය මෙහෙයුමේ? නියුතු සිංහල සොල්දාදුවකු විසින් දුෂණය කර මරාදැමූ ද්‍රවිඩ විප්ලවයේ තරුණියක්ගේ සිරුර ට්‍රුක්ටරයකට විසි කරමිනි. අතිශය කුරුරු මේ ප්‍රකාශය හරහාද විග්‍රවන්නේ මානුෂීය මෙහෙයුමයැයි කියාගන්නා මෙහෙයුමේ සිටිය වුන්ගේ මනේභාවනයන්ය. අඩුම ගණනේ ලිංගික අතවර කර මරාදමා ඇති කාන්තාවකටවත් අවම ගරුකිරීමේ විනය මොවුන්ට නැත. මේ විකෘති මනෝ තත්ත්වයේ සිටිනා පිරිස් කෙසේ හෝ ජීවිතය බේරාගත් අයවලුන් හටද සලකන අයුරු සිතාගැනීමට අවශ්‍ය නොවේ. දකුණේ සමාජය මෙහි යථාර්ථය හමුවන්නේ එදා දමිළ තරුණියන් දුෂණය කර මරාදමමින් විකෘතිව මනෝ රෝගීව ගම් රට එන ඔවුන්ගේ මුර දේවතාවන් තමන්ගේ දියණිය දුෂණය කළ විටකදීය. සියල්ලන් මේ අපගේ විරෝධාර රණවිරුවන්ට අපහාස කිරීමට නිර්මාණ කළ ව්‍යාපෘති ලෙස නම්කරමින් සිදුවන්නේ දෑස් හමුවේ පෙනෙන යථාර්තයට පයින් ගැසීමකි.

සිංහල බෞද්ධ රාජ්‍යයේ නිරුවත් භාවය.

වගකිව යුතු, විනයක් සහිත ජනසාමාජය නම් කළ යුතුව තිබුණේ අති අමානුෂික මේ සිද්ධි දාමය පිළිබඳ වඩාත් විනිවිඳභාවයකින් කටයුතු කරන ලෙස තම පාලකයන් වෙත බලපෑම් කිරීමයි. නමුත් සිදුවුයේ එහි අනෙක් පැත්තය. පාලකයන්ගේ විකෘති විනෝදය ඔස්සේ යමින්ම ජනතාවද තම විනෝදය බවට එය පෙරලා ගැනීමයි. අනෙක් අරුතින් මෙය විග්‍රහ කිරීමෙදී හමුවන් යථාර්ථයනම්, පාලකයන් එතැනට තල්ලුකරන්නේ නොහොත් දමිළ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීමට පාලකයන් පත්කරමින්, ඔවුන්ගේ දෑත් ශක්තිමත් කරන්නේ දකුණේ බහුතරයම බවයි.

දමිළ ව්‍යාපාරය සමූළ ඝාතනය කළ යුතුයි කියා අනෙක් පැත්තෙන් හිස මුඩුකර දසසිල් ගන්නා උපාසකයින්, චීවරය දරමින් දමිළ ව්‍යාපාරය විනාශ කලයුතු යැයි කියනා ස්වාමීන් වහන්සේලාගේ නිරුවත වඩාත් පැහැදිලිව පෙනෙන කාලසමයකි මේ. (ඇත්තම කාරණය මොවුන් නිරුවත් වී බොහෝ කල්ය). සර්ව බලධාරී ආරක්‍ෂක නිලධාරියාගේ ඈති විකෘති මානසික තත්ත්වයයි.

අවසන් වශයෙන් කිලිං ෆීල්ඩ් හරහා මතුවුයේ සිංහල බෞද්ධ රාජ්‍යයේ නිරුවත් භාවයයි. එහි පාලකයන්ගේ නිරුවතයි. විශේෂයෙන්ම එහි වෙසෙනා ජනතාවගේ නිරුවතයි. ඒ වාගේම චැනල් ෆෝ පිළිතුරු දී තිබෙන්නේ ඉහත කාන්තාව ඇසූ ප්‍රශ්ණයට ය. දැන් අවශ්‍ය ඇත්තේ ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමයි. ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත්තවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බල කිරීමයි. ජාත්‍යන්තරයටද මෙම බරපතළ වගකීමෙන් කිසිදු විටෙක අතපිසඳා ගත නොහැකිය.

ක්‍රිශාන් රාජපක්‍ෂ