end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

හමුදාව, හමුදාව, හමුදාව…’ජීවිතය අන් තැනක’

Photos by – Eelanatham’s photostream

ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති බව තුවක්කු, බංකර්, හමුද කඳවුරු ඉඟිකරයි. කටුලැහැබවල් අස්සේ සැඟව ඇති බිම් බෝම්බ අඩුම තරමේ තල් ගෙඩියක්වත් සිය ඇඟට වැටෙන තෙක් බලා සිටියි. සතර දිගින් ඇහෙන සිංහල හඬවල් කෑගසා කියන්නේ මෙවර නම් පැමිණියේ නෑගම් නොව නවතින්නට බවයි. ‛මානුෂීය මෙහෙයුම’ පිටුපසින් පැමිණි වෙළඳ සමාගම් අතේ තිබෙන සන්තකයටම ඉව අල්ලන්නේ ජීවන යුද්ධය තවමත් අවසන් වී නොමැති බව පවසමිනි. මේ පශ්චාත් යුධ සමය තුළ වවුනියාවෙන් එහා ලෝකයේ නාඩි වැටෙන රටාවයි.

ජීවිතය අන් තැනක

රැකියාවක් කිරීම, ආහාර පාන සකසා ගැනීම, නිවාස ඉදිකිරීම, විනෝද වීම, ආගම ඇදහීම ආදී මෙකි නොකී සියළු දේ සාමාන්‍ය සිවිල් සමාජයක් තුළ මිනිසුන්ගේ ජීවිතය හා බැඳුන ක්‍රියාකාරකම්ය. යුද්ධයක පැවැත්ම සිවිල් සමාජයකට හිසරදයක් වන්නේ මේ ඉහත කී ක්‍රියාකාරකම් වලට නිරන්තරයෙන් බාධා වන නිසාය. අනෙක් අතට යුද්ධයක් හට ගන්නේද යම් පිරිසකගේ ජීවන ක්‍රියාකාරකම් වලට පැවති දේශපාලන තත්වයක් බාධාකාරී වීමට එරෙහිවය. වවුනියාවෙන් එහා ලෝකයට යුද්ධය ආරම්භ වීමට පෙර මෙන්ම යුද්ධ කාලය තුළදී ද එල්ල වූ බාධා නිසා මෙම සිවිල් ජීවිතය කැප කරන්නට සිදුවිය. අද යුද්ධය අවසන් වී ඇත. නමුත් ගැටළුව වන්නේ යුද්ධය අවසන් වූ පසු නැවත උරුම වනවා යැයි පාරම් බෑ සිවිල් ජීවිතය වවුනියාවෙන් එහා ලෝකයට හිමි වී ඇත්ද යන්නයි. ප්‍රදර්ශනකාමී සංවර්ධනය ඈත් මෑත් කොට බැලූ කල එවන් සාමකාමී සිවිල් ජීවිතයක් නම් පෙනෙන්නට නැත. වවුනියාවෙන් එහා ජනයාගේ ජීවිතය තවමත් පවතින්නෙ බලාපොරොත්තු වූ තැනට බොහෝ එහා බව ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් දකින්නන්ට මතක් කරන්නට කැමැත්තෙමු.

හමුදාව එළවළු රොටි පුච්චන කොට….

ඒ 9 පාරේ පිහිටා ඇති බොහෝ ආපනශලාවල එළවළු රොටි පුච්චන්නේ, ප්ලේන්ටි හදන්නේ හමුදා භටයන් විසිනි. ඉතා පිළිවෙළට, පිරිසිදුව (හමුදා විනයට අනුව) පවත්වාගෙන යන මෙම ආපනශාලා වල හිමියන් අන් කවුරුත් නොව ආරක්ෂක අමාත්‍යාංශයයි. මෙලෙස හමුදාව විසින් සොරාගෙන ඇත්තේ යුද්ධයෙන් පසු ජනයාට දෙනවා යැයි කියූ සිවිල් ජීවිතයයි. ඔවුන්ගේ ආදායම් මාර්ගයයි. අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය වඳින්නට යන ගමන් ප්‍රභාකරන් මරපු තැනත් බලාගෙන එන්නට තවමත් පෝලිමේ යන දකුණේ ජනයා නිසා මෙම ආපනශාලා වලට හොඳ ආදායමක් ලැබෙයි. ආරක්ෂක අමාත්‍යාංශය මේ ආදායමෙන් මෙම ජනයාව බය කරන්නටම තව තවත් ආයුධ ගෙන්වයි. නැතිනම් පෞද්ගලික බැංකු ගිණුමක පොදි බඳියි. යුද්ධයෙන් පස්සෙ ඒ 9 පාරේ කඩයක් දා ගැනීමට සිහින දැකපු මිනිසා හමුදා අපානශාලවකින් සිංහල ප්ලේන්ටියක රස බලා ගෙදර යයි.

හමුදාව බෝල් ගහන කොට….

හවස 4 පැන්නාට පසු හමුදාව සෙල්ලම් කරන්නට පටන් ගනියි. පිට්ටනි වල බෝල් ගහන්නට ගනියි. ඒ 9 එකේ බයිසිකල් පදියි. නමුත් සෙල්ලම් කරන සාමන්‍ය තරුණ තරුණියෝ නම් පෙනෙන්ට නැත. එක්කෝ සෙල්ලම් කරපු අය තවමත් කඳවුරු වල වෙන්නට ඇත. නැතිනම් ගෙදරින් එලියට බහින්නේ නැතුව ඇත. අනුරාධපුරයේ, මාතර, අවිස්සාවේල්ලේ තරුණ තරුණියෝ (හමුදා භටයින්) ඕමන්තේ පිට්ටනි වල බෝල් ගහන කොට ඕමන්තේ තරුණ තරුණියෝ කඳවුරු වලට හෝ ගෙදරට වී සිටිනවා ඇත. ඕමන්තේ විනෝදය හමුදාව විසින් සොරාගෙන ඇත.

හමුදාව බුදුන් වඳින කොට…..

හන්දියක් හන්දියක් ගානේ ඇති බුදු පිළිම, බෞද්ධ පන්සල්; අප මාන්කුලම් සිටියද මහරගම ඉන්නවා වැනි හැඟීමක් ගෙනෙයි. හමුදාව ආගම අදහන්නට පටන් ගෙන ඇත. මෙසේ අඩියක් අඩියක් පාසා ඇති බෞද්ධ සංකේත වලින් තමන් පිටස්තරයෙක් බැව් ජනයාට හඟවයි. මෙම බුදු පිළිම අසලම ‛එක ජාතියක්,එක රටක්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් විශාල දැන්වීම් පුවරු අටවා ඇත. සමහර විට හමුදාව එක ජතියක්, එක රටක් යන්න තුළ දකින්නේ සිංහල බෞද්ධයන් පමණක් විය හැකිය. ඉතින් මෙලෙස දකුණෙන් ගිය හමුදාව වවුනියාවෙන් එහා තවත් දකුණක් නිර්මාණය කරන විට එම ප්‍රදේශවල ජනයාගේ සිවිල් ජීවිතයට බුදු සරණය.
අද වන විට වවුනියාවෙන් එහා ජනයාගේ සිවිල් ජීවිතය කෙසේ වෙතත් එම ප්‍රදේශවල තවත් දකුණක් නිර්මාණය වෙමින් පවතින බව නම් පැහැදිලිය. හමුදා වෙසින් දකුණේ පිරිස උතුරේ එළවළු රොටි පුච්චන කොට, බෝල් ගහන කොට, බුදුන් වඳින කොට එම ප්‍රදේශවල මිනිසුන් නිහඬව බලා සිටින්නේ කටවල් හෙල්ලුවොත් වැඩ වරදින බව දන්නා නිසාවෙනි. දකුණේ සංස්කෘතිය කොයිතරම් උතුරේ ස්ථානගත කරනවාද යත් අද වන විට දකුණේ නාන තොටුපළවල, වහළ උඩ සිටි ‛ග්‍රීස් යකාද’ උතුරට අපනයනය කර ඇත.

සිවිල් ජීවිතයක් ගතකිරීම සඳහා පඩි ගෙවීම

වවුනියාවෙන් එහා ජනයාගේ රැකියාව, විනෝදය, ආගම ආදී සියළු ක්‍රියාකාරකම් අද වන විට හමුදාව විසින් සොරකම් කර ඇති අතර අද ඇත්තටම උතුරේ සිවිල් ජීවිතයක් ගත කරන්නේ හමුදාව පමණි. සිවිල් ජීවිතයක් වෙනුවෙන් සිහින දුටු ජනයා තවමත් යුධ සමයේ ආකාරයටම තම ජීවිතය කැප කරමින් සිටියි. මෙහිදී දැකිය හැකි සුවිශේෂී තත්ත්වය වනුයේ දකුණේ සිවිල් ජීවිතය උතුරේ ගත කිරීම වෙනුවෙන් ආණ්ඩුවෙන් හමුදාවට වැටුපක් ගෙවීමයි. ඉතින් හමුදාව එම වැටුප ලැබීමට නම් තව තවත් බිස්නස් කළ යුතුය, බෝල් ගැසිය යුතුය, බුදු පිළිම ස්ථානගත කළ යුතුය. ග්‍රීස් තවරා ගත යුතුය.