සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ආසියාවේ ආශ්චර්ය’ – මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම නැවතත් අරඹයි

රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ මෙසේය.

මාධ්‍ය නිදහස හා මානව හිමිකම් උදෙසා පෙනී සිටින ක්‍රියාකාරිකයන්ට එරෙහිව පළ කරන අසත්‍ය වාර්තා හෙළා දැකීම

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියෙකු හා වත්මන් ක්‍රියාකාරී සාමාජිකයෙකු රටට අපකීර්තියක් ගෙන දුන් පුද්ගලයන් වශයෙන් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා විසින් හඳුන්වා දී ඇතැයි රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටීම පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය යොමු වී තිබේ.

අදාළ මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගියදා ජිනිවාහි මේ දිනවල පවත්නා එක්සත් ජාතීන්ගේ කවුන්සිල සැසිවාරය අතර තුර ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් පවත්වන ලද සමාන්තර රැස්වීමකදී ය. එහෙත්, අදාළ මාධ්‍ය වාර්තාවන්හි ඉලක්කය බවට පත්ව සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනන්ද දේශප‍්‍රිය මහතා සහ වත්මන් විධායක සභික උදය කඵපතිරණ මහතා අප වෙත වාර්තා කර ඇත්තේ එවැනි කිසිඳු සිදුවීමක් සිදු නොවූ බවත් මෙය සම්පූරණයෙන් ගොතා පල කරන ලද් අසත්‍යක් බවත් ය.

මෙම රැස්වීමෙහි සම්පූරණ හඬ පටියක් තමන් සතුව ඇති බවත් ඒ මගින් මෙම චෝදනාවෙහි අසත්‍ය බව තහවුරු වන බවත් දේශප‍්‍රිය සහ කලූපතිරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දන්වා තිබේ. අදාළ සැසිවාරයෙන් පසු මාලදිවයින් ජනාධිපතිවරයා සහ ඔවුන් දෙදෙනා සමඟ සුහද සාකච්ඡාවක නියැලී තිබේ.

මෙම සිදුවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයන්ට එරෙහිව රජය විසින් එල්ල කරන විවිධාකාර ප්‍රහාරයන්හි දිගුවක් බවත් මෙහි ඇති විශේෂය නම් මෙම නවතම ප්‍රහාරය සඳහා විදේශීය රටක රාජ්‍ය නායකයෙකු ද සම්බන්ධ කරගෙන තිබීමත් ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා කරන්නේ මෙය නොසළකා හැරිය හැකි කරුණක් නොවන බවයි.

මෙම තත්ත්වය යටතේ අප සංවිධානය ඉලක්ක කරගනිමින් දිගින් දිගටම සිදු කරමින් පවතින අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කරන අතරම සිය ජනාධිපතිවරයාගේ නාමය ඈදාගෙන කෙරීගෙන යන මෙම අසත්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් මාලදිවයින් ජනරජයේ නිල ස්ථාවරය කුමක්දැයි දැන ගැනීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මහත් උනන්දුක් දක්වයි.

සුනිල් ජයසේකර
කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2011. 09. 22

සංස්කාරක සටහන – පසුගිය සැප්තැම්බර් 22 දා ‛විකල්ප’ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලය අමතා මේ පිළිබදව විමසීමේදී එහි නිළධාරියෙකු ප්‍රකාශ කර සිටියේ මාලදිවයින ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් මිතුරු ප්‍රතිපත්තියකින් ක්‍රියාකරන බවත්, එහි වැඩිදුර විස්තර සඳහා ලිපියකින් අමතන ලෙසත්ය. කෙසේ නමුත් අප විසින් ඉතාමත් ඉක්මනින් මහකොමසාරිස් කාර්යාලයේ පිළිතුරු ‛විකල්ප’ තුළ පළකරමු.