end of the War, Featured Articles, Features, Jaffna

පිටුවහල අවසන් කර යළි ගම්බිම් බලා පැමිණීම: බියසැක, අභියෝග සහ බලාපොරොත්තු

[සංස්කාරක සටහන – ලිපියේ කතුවරයා විවාහ වී සිටියේ, එවකට 35වන වියෙහි පසු වූ දෙමළ මානව අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකව සිට 1989 සැප්තැම්බර් 21 දා ඝාතනයට ලක් වුණු ආචාර්ය රාජිනී තිරාණගම(විවාහයට කලින් රාජසිංහම්) සමග ය. ඈ මානව අයිතිවාසිකම් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු(යාපනය) (University Teachers for Human Rights, Jaffna) සංවිධානයේ සමාරම්භක සාමාජිකාවක් වූවා ය.]

“ඉතිහාසයේ විරාමයන්හි දී දේශපාලනය සාපේක්ෂ වශයෙන් සාධාරණ විය හැකි ය. ඒත් එහි තීරණාත්මක සන්ධිස්ථානවල දී, ප්‍රතිඵලයෙන් උපායන් යුක්ති සහගත කෙරෙන ඉපැරණි පාලන ක්‍රමයට වැඩිමනත් දෙයක් පැවතිය නොහැකි ය” (Arthur Koestler, Darkness at Noon, London, 1940, Page 81).

1989 දෙසැම්බර් 27 වන දා මා හීත්‍රෝ ගුවන් තොටුපළට ළඟා වූයේ, නව වන සහ එකොළොස් වන වියෙහි පසු වුණු මගේ දියණියන් දෙදෙනා ද කැටුව ය. අප කොතරම් කලක් නතර වී සිටින්නට අදහස් කරන්නේ දැයි ආගමන කවුන්ටරයෙහි සිටි නිලධාරියා මගෙන් ඇසී ය. ‛සති කිහිපයක් ’ යැයි මම පිළිතුරු දුන්නෙමි. ‛තාත්තා, බොරු කියන්න එපා අපි ආයෙ ම ශ්‍රී ලංකාවට යන්නෙ නැහැ නේ ’, ඒ වන විටත් මා අතේ එල්ලී ගෙන සිටි මගේ බාල දියණිය මට කොඳුළා ය. ඇය කීවේ ඇත්ත ය. දැන් දශක දෙකකටත් වැඩි කලක් ගෙවුණු පසුවත්, ඔවුන් එහි තබා තනිව ශ්‍රී ලංකාවට එන්නට මට සිදු විය.

මගේ පිටුවාහල නිම කරන්නට සමත් වුණු හේතු දෙකක් තිබිණ: එකක් නම්, මගේ දරුවන් ස්වාධීන බව සහතික කිරීමට මට තිබුණු පෞද්ගලික කැප වීම සපුරා ගැනීම යි. අනෙක නම්, ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණයෙහි සිදුව තිබෙන වෙනස යි. මේ ලිපියෙහි ලා අවධානය යොමු කෙරෙන්නේ මෙකී දෙවැන්න ගැන යි.

අප ශ්‍රී ලංකාවෙන් පලා ගිය 1989 වසර අවසානයේ දී අප අතැර ගියේ විසඳිය නොහැකි සේ පෙනී ගිය දේශපාලනික ප්‍රතිවිරෝධතාවන්ගේ ග්‍රහණයට ලක් වුණු රටකි. අර්බුදය විසඳීමට නම් එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය පූර්ණ මිලිටරි පරාජයකට ලක් කළ යුතු බවක් පෙනෙන්නට තිබිණ. ඉන්දියාවේ උදව් ලබා ගැනීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍යයට එරෙහිව ජවිපෙ සටන් වදිමින් සිටි අතර, එල්ටීටීඊය ප්‍රබල ඉන්දියානු සාමසාධක හමුදාවට (අයිපීකේඑෆ්) මුහුණ දීමට සූදානමින් සිටියේ ය. ශ්‍රී ලාංකික රාජ්‍යය ඉන්දියානු අධිරාජ්‍යවාදයට යටත් වී ඇතැයි චෝදනා කරමින් ජවිපෙ ‛දේශප්‍රේමී යුද්ධයක් ’ අරඹා තිබිණ. වත්මන් එජනිස ය දෙමළ කතා කරන ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රදානය කිරීමේ හැකියාවක් නැතැයි ප්‍රතික්ෂේප කරනු පිණිස තම දේශප්‍රේමිත්වය කියා පාන්නාක් මෙන් ම ඔවුහු ද මහජනයා දේශප්‍රේමීව ක්‍රියා කරමින් දෙමළ ජනයාට කිසිදු බලය බෙදා හැරීමකට විරුද්ධ විය යුතු යැයි ඉල්ලා සිටියහ. එවකට ජවිපෙ දෙමළ ජනයා වෙත බලය බෙදා හැරීමට සහාය දෙන සියල්ලන් ඝාතනය කිරීමට පටන් ගෙන තිබිණ. බලය බෙදා හැරීමට ඉඩ දෙන 13වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමින් කෙරුණු උද්ඝෝෂණයේ පෙරමුණෙහි සිටි වාම පක්ෂවල සහ කණ්ඩායම්වල ක්‍රියාකාරීන් සහ නායකයෝ ද ඔවුන්ගේ ඉලක්ක අතර වූහ. ‛දේශප්‍රේමිත්වයේ ’ නාමයෙන් අනෙක් දේශපාලන ක්‍රියාකාරීන් කුරිරු ලෙස සහ නිර්දය ලෙස ඝාතනය කරන ඝාතකයන් බවට ජවිපෙ පත්වෙමින් තිබිණ. ජවිපෙ රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කරන බවක් පෙනී ගියේ ය.

විකල්ප කණ්ඩායමට බැඳුණු මම, පසුව සියලු වාම කණ්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදීන් සහ වෘත්තීය සමිති තුළ සිටි සමහර කැපී පෙනෙන පුද්ගලයන් එකමුතු කරමින් සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරය සංවිධානය කළෙමි. රාජ්‍යය ද සමාන ක්‍රූරත්වයකින් සහ නිර්දය භාවයකින් යුතුව ජවිපෙ කැරැල්ලට ප්‍රතිචාර දැක්වී ය. දඬුවම් නොලැබ ක්‍රියා කළ ඝාතක කල්ලි පැවතුණු අතර, ඇතැම් ප්‍රදේශවල මග දෙපස විවෘත සොහොන් බිම් බවට පත්ව තිබිණ. එල්ටීටීඊය ද ජවිපෙන් වෙනස් නො වී ය. ඔවුහු ද තමන් විවේචනය කළ සියල්ලන් ඝාතනය කළහ. මෙම ඝාතන නිසා පිරවිය නොහැකි අහිමි වීම් අත්දුටු පවුල් පෞද්ගලික දුක් වේදනාවන්නේ ඇළලී ගියේ ය.

දෙමළ කොටින් මා බිරිඳ රාජිනී තිරාණගම ම්ලේච්ඡ ලෙස වෙඩි තබා මරා දැමුවේ ඇය මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳව විවේචනාත්මකව කතා කළ නිසා ම පමණකි. මෙය සිදු වුණේ, සංවිධානය ඇරඹුණු කාලයේ දී ඇය ප්‍රමුඛ පෙළේ එල්ටීටීඊ සටන්කරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා දී තිබිය දී ය. ඇය ඝාතනය කිරීම, දෙමළ කොටින්ගේ ෆැසිස්ට් ස්වභාවය ද පුළුල් පරාජයක් අත්නොදුටුව හොත් ‛දෙමළ විමුක්තිය’ උතුරෙහි සහ නැගෙනහිරෙහි ඇති කරන්නට යන බියකරු අනාගතය ද සංකේතවත් කරන්නක් විය.

1989 සැප්තැම්බර් 21 වන දා රාජිනී ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබිණ. ආදරයේ, ස්ථාවරත්වයේ සහ බලාපොරොත්තුවේ උදාර මූලාශ්‍රයව සිටි සිය වඩාත් ම ස්ථාවර මුල් රැකවරණ සපයන්නිය මගේ දරුවන්ට අහිමි විය. ඇයගේ මරණයෙන් පසුව ඔවුන් හදාවඩා ගැනීමේ පූර්ණ වගකීම මා භාර ගත්ත ද ඔවුන් සිය මවගෙන් ලැබිය යුතුව තිබුණු ආදරය සහ සහාය මුළුමනින් ම හිලව් කළ නොහැකි වුණු බවක් මට දැනේ. ඔවුන් මෙන් ම ශ්‍රී ලංකාවේ දහස් ගණන් දරුවන් තම දෙමාපියන් අහිමි වීමෙන් පීඩා විඳ ඇත. යුද්ධය අවසන් වීමෙන් පසුවත් අඛණ්ඩව පැවතී ගෙන යන වේදනාවේ සහ අන්තරායේ උරුමය භුක්ති විඳීමට ඔවුහු ඉතිරි වූහ.

රාජිනී ඝාතනය කෙරුණු විට මට මගේ දරුවන් රැක බලා ගැනීමට සිදු විය. ඔවුන් වෙනුවෙන් සිටින්නට මට සිදු විය. ඒත් අවාසනාවට, රහසිගත හෝ අර්ධරහසිගත ජීවිතයට වැටී ශ්‍රී ලංකාවේ ජීවත් වන තුරු මට මෙම වගකීම ඉටු කරන්නට බැරි විය. ශ්‍රී ලංකාව අතිශය අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබිණ. මිනිස් ජීවිතය ගැන සුලු හෝ තැකීමක් නොපැවතිණ. සන්නද්ධ විරුද්ධවාදීන්ට එරෙහිව සටන් වැදි සියලු පාර්ශ්ව යුද්ධය පිළිබඳව ජාත්‍යන්තරව පිළිගෙන තිබුණු නියමයන් සියල්ල ම පාහේ ඉවත දැමී ය. ඔවුන්ට තම නිරායුධ විරුද්ධවාදීන් නොහොත් සිවිල් වැසියන් ඝාතනය කිරීමට නිර්භීතකම පහළ වුණු විට ඔවුහු මානව සහ දේශපාලනික ගැටලු විසඳීමේ සියලු ශිෂ්ට සම්පන්න නියමයන් ද දෙගිඩියාවකින් තොරව ඉවත ලූහ. තුවක්කුකරුවෙකු හෝ මරා ගෙන මැරෙන බෝම්බකරුවෙකු තමන් ඉදිරියේ පෙනී සිටි මොහොතෙහි, තමන්ට එරෙහිව තිබෙන නිශ්චිත චෝදනා කවරේ දැයි වටහා ගැනීමට හෝ දැන ගැනීමට සන්නද්ධ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවෝ කිසි විටෙක අවස්ථාව නො ලදහ. අනෙක් බොහෝ දෙනෙකු මෙන් ම රාජිනී ද තමන්ට එරෙහිව තිබෙන චෝදනා කවරේ දැයි කිසි විටක දැන නොසිටියා ය. ඇය දැන සිටියේ කොටින් විරුද්ධවාදී අදහස් නොඉවසන බව සහ ඒවාට මරණයෙන් දඬුවම් පැමිණවෙන බව පමණකි.

1989 වන විට ශ්‍රී ලාංකික රාජ්‍යය පැවතියේ සිංහල අන්තවාදී ජවිපෙ සන්නද්ධ කණ්ඩායම් අතින් පරාජය වීමේ මාරක අනතුරට මුහුණ දී ගෙන ය. එය බේරී ගත්තේ ය. සන්නද්ධ අරගල තුනේ දී ම, 1971 දී සහ 1987-89 දී ඉන් දෙකකට නායකත්වය දුන්නේ ජවිපෙ ය, ඊළාම් යුද්ධයට නායකත්වය දුන්නේ එල්ටීටීඊය ය, රාජ්‍යය රාජ්‍යයට සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කළවුන් පුලුල් පරාජයකට ලක් කළේ ය. ජවිපෙහි සහ එල්ටීටීඊයේ ප්‍රතිගාමී, ප්‍රචණ්ඩ සහ ෆැසිස්ට් බලවේග පරාජය කිරීම ජය ගැනුණේ ශ්‍රී ලාංකික සමාජයට සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට නොඉවසිය හැකි පිරිවැයකින් වීම උත්ප්‍රාසයට කරුණකි. රාජ්‍යය මේ ආකාරයෙන් දිවි රැක ගැනීම නිසා අසීරු ප්‍රශ්න මතුව තිබෙන අතර, ශ්‍රී ලාංකික රාජ්‍ය දේශපාලනික ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවස්ථාවක් පිරිනැමෙමින් පවතියි.

සියලු ප්‍රජාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රාර්ථනාවන් සපුරා ලීමට වත්මන් ආණ්ඩුවෙන් කැප වීමක් නොමැතිකම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලනික අභිප්‍රායක් නොමැතිකම වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ප්‍රධාන අභියෝගය බව පෙනී යයි. මිනිස් ජීවිත අතිවිශාල සංඛ්‍යාවක් අහිමි වීම, යුද්ධයේ උරුමය, සාමාන්‍ය සිවිල් වැසියන් කෙරෙහි ඉන් ඇති වුණු බලපෑම සහ දේශපාලනික ක්‍රියාකාරකම් මත එය ඉතිරි කර ගොස් තිබෙන සලකුණ අපගේ අනාගතයෙහි හැඩය යළි වෙනස් කර ඇත. බරපතළ පෞද්ගලික අහිමි වීමක් ලෙස පෞද්ගලික මට්ටමේ දී හැඟෙන දෙයත් ඛේදවාචකයක් ලෙස අපට සාමූහිකව හැඟෙන දෙයත් අවබෝධ කර ගැනීම සහ ඒ කෙරෙහි අවධානය යොමු කිරීම, එවන් සිදුවීම් යළි සිදු වන්නට ඉඩක් නැති වෙනස් රටක් සහ වෙනස් දේශපාලනයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ජනාධිපති රාජපක්ෂ සිංහල ග්‍රාමීය මහජනතාව අතරින් ලැබෙන ස්ථාවර දේශපාලන සහායක් විහරණය කරයි. මේ දක්වා කිසි ම දේශපාලන නායකයෙකු එවන් සහායක් දිනා ගැනීමට සමත් වී නැත. ඔහුගේ ජනකාන්ත භාවය බිඳ හෙළිය නොහැකි ය. මෑත ප්‍රාදේශීය සභා මැතිවරණ පෙන්නුම් කරන්නේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට දැන් උදා වෙමින් තිබෙන්නේ ලේසිපාසු කාලයක් නොවන බව යි. මෙම ජනකාන්ත භාවය ලැබුණේ එල්ටීටීඊ පරාජය කිරීමේ දී ඔහු සම්පාදනය කිරීමට සමත් වුණු දේශපාලන නායකත්වය නිසා බව නිසැක ය. මෙම කැමැත්ත එළඹෙන පරම්පරා ගණනාවක් තිස්සේ රට තුළ දැවැන්ත දේශපාලන වැදගත්කමක් දරනු ඇත. රාජපක්ෂ සොහොයුරන් අත රාජ්‍ය බල සුක්කානම නොතිබෙන්නට දෙමළ කොටින් පරාජය කළ නොහැකි වනු ඇත. අප කැමති වුණත් නැතත්, බටහිර රටවල් රාජ්‍යයට එරෙහි යුද අපරාධ චෝදනා හඹා යන තාක් දුරට, රාජපක්ෂගේ ජනකාන්ත භාවය ඒකාන්ත ලෙස ම වර්ධනය වී, ජනාධිපති රාජපක්ෂ දැනටමත් භුක්ති විඳිමින් සිටින සහාය ස්ථාවර වනු නිසැක ය. සියලු ජනවර්ග කොටස්කරුවන් බවට පත් කර ගැනීම සඳහා තිබෙන අවස්ථාවට ප්‍රධාන බාධාව වන්නේ ද මෙම ජනකාන්ත භාවය යි. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවට දේශපාලන විසඳුමක් අත් කර ගැනීම සඳහා ටීඑන්ඒ ය, ඉන්දියාව සහ බටහිර රටවල් හරහා පීඩනය යොදන තාක් දුරට, එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කරන දේශපාලනික මැදිහත් වීමක් ලෙස දකිනු ඇත. එලෙස, එය බෙහෙවින් අවැඩදායී පරිශ්‍රමයක් බවට පත් වනු ඇත.

විදේශීය අරමුදල්වලින් පැවතෙන රාජ්‍ය නොවන සංවිධාන දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම ද මෙහි පැතිකඩකි. කෙසේ වුව ද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහි ලා රාජ්‍ය නොවන සංවිධාන වටිනා දායකත්වයක් ලබා දෙමින් සිටියි. එය විරුද්ධ පක්ෂය තුළ සිටින දේශපාලන පක්ෂ විශ්වසනීයව ඉටු කිරීමට අපොහොසත් කාර්ය භාරයකි. ඒවායේ දේශපාලනික වැඩ පිළිවෙළත් එජනිස ය තුළ සිටින පක්ෂවල දේශපාලනික වැඩ පිළිවෙළත් සමානව ඇත. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ජවිපෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩ දේශපාලන ඉතිහාසය මනා උදාහරණයකි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට ආණ්ඩුව සමත් වනු ඇතැයි ඇඟවීමට ඇතැම් විවේචකයන් කැමැත්තෙන් සිටියත් එය සිදු විය නොහැක්කකි. එහෙත් මේ සම්බන්ධයෙන් කිසි ම සෑහීමකට පත් වීමක් නොතිබිය යුතු ය. පවුල් අවශ්‍යතාවල අඬුදඬු රාජ්‍ය ආයතන සිසාරා පැතිරෙන විට බලය අත හැරීම පහසු විකල්පයක් නොවනු ඇත. වඩාත් ම දුෂ්කර තත්ත්වය නම්, විරුද්ධ පක්ෂය නිවට සහ බෙලහීන වී සිටින තත්ත්වය තුළ ආණ්ඩුව මහජනයාගේ දේශපාලනික අයිතිවාසිකම් බිලි ගනිමින් තමන් කැමති පරිදි රථය පදවන්නට ඉඩ තිබීම යි. ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට සැලසුම් කරමින් සිටින්නේ නම්, එය මෙරට ධනපති පන්තිය කරන දැවැන්තතම දේශපාලනික වරද සහ අනුවණකම වනු ඇත.

බෙදුණු විපක්ෂයක් සාමාන්‍ය මහජනතාවට දැවැන්ත අවාසියක් කරයි. මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ දේශපාලනික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පොදු දේශපාලන ක්‍රියා මාර්ගයක හදිසි අවශ්‍යතාවක් පවතින කාලයක ඔවුන් සිටින්නේ අවුලක ය. දේශපාලන නායකත්වය සහ/හෝ දේශපාලන දෘෂ්ටිවාදය සහ මූලෝපාය පිළිබඳ ගැටලුව මත, සෑම විරුද්ධ පක්ෂයක් ම බරපතළ අභ්‍යන්තර බෙදීම්වලට ද ලක්ව ඇත. එජාපය සහ ජවිපෙ තම පක්ෂ තුළ ම අතිබරපතළ සහ අතිවිනාශකාරී භේදවලට ගොදුරු වී, ආණ්ඩුවට විරෝධය පෑම සඳහා තමන්ට පවතින ශක්තිය දුර්වල කර ගෙන බල තුලනය තම වාසියට හරවා ගැනීමට නොහැකිව සිටියි. අඩුපාඩුකම් තිබුණ ද එජනිස යේ දේශපාලනික ආධිපත්‍යය පහසුවෙන් නොබිඳිය හැකි බවක් පෙනී යයි. විරුද්ධ පාක්ෂික නායකයන් තම පැත්තට ඇද ගැනීම සඳහා ආණ්ඩුව හැකි සෑම දූෂිත පෙලඹවීමක් ම යොදා ගන්නේ ද වෙයි. ආණ්ඩුවට එරෙහිව විශ්වසනීය සහ මහජනයා පදනම් කර ගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික අභියෝගයක් මතු කිරීමට විරුද්ධ පක්ෂය අසමත් වන තාක් දුරට, වඩා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සාර්ථක සටනක් දියත් කිරීමේ අවස්ථාව බොහෝ ඈත ය. මෙහි අදහසව තිබෙන්නේ, ඕනෑ ම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් හෝ නීතියක් නිදහසේ සම්මත කර ගත හැකි යැයි ආණ්ඩුවට හැඟී ගොස් තිබෙන බව යි. ග්‍රාම්ස්චිවාදී නියමයන් අනුව වර්තමානයෙහි රට තුළ පවතින ‛සැබෑ යථාර්ථය ’ මෙය යි. මෙම ‛සැබෑ යථාර්ථය ’ ‛ඉක්ම යා හැකි ’ සහ බල තුලනය තම වාසියට වෙනස් කර ගත හැකි යම් දේශපාලන විරුද්ධ පක්ෂයක අවශ්‍යතාව ද ග්‍රාම්ස්චි දකී.

මුල්ලේරියාවේ සිදුවීම එළිදරව් කරන්නේ ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ගේ මැරවර සහ සාපරාධී චර්යාව අඛණ්ඩව පැවතී ගෙන යන බව යි. එය, තමන් තමන්ගේ ම අයට කිරීමට සමත් දෙය තමන්ට ප්‍රජාතන්ත්‍රවාදීව අභියෝග කිරීමට අදහස් කරන්නවුන්ට එරෙහිව දෙගුණයකින් කළ හැකි නොවේ දැයි ඔවුන්ට හැඟෙනු ඇති බවට අනතුරු ඇඟවීමක් ද වෙයි. මේවා විරුද්ධ පක්ෂය සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය ම අවධානය යොමු කළ යුතු ගැටලු ය. මෙම තීරණාත්මක මොහොතේ දී අසමත් වුව හොත් ඔවුන්ට සමාවක් නොලැබෙනු ඇත. මහජනයා ඔවුන් අමතක කර දමනු ද ඇත. අපගේ දේශපාලනයේ ගැඹුරු බෙදුම් රේඛාව තුළ, සිවිල් සමාජය සහ දේශපාලනික සංස්කෘතිය බිඳ වැටීමේ බලපෑම තව මත් හඟිනු හැකි ය. අපගේ දේශපාලනයෙහි මධ්‍ය වේදිකාව අරක් ගත් ප්‍රචණ්ඩ බලවේග, තැති ගන්වන වාතාවරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී හඬවල්වල ගෙල මිරිකීම, යුද්ධය අවසන් වීත් තව මත් පරාජය කොට නැත.

මම යළි මගේ ගමේ, හබරාදුව හප්පවාන-හරුමල්ගොඩ බටහිර පදිංචියට ගියෙමි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා මම අවසන් වරට ගම හැර ගියේ 1967 දී ය. මා මෙහි හැදී වැඩුණු කාලය පිළිබඳ මගේ සියලු මතක මෙම ගමේ දරිද්‍රතාව සහ අසරණකම පිළිබඳ ඒවා විය. ඒ හා තරග කළේ, ආරක්ෂක හමුදා නිසා මා දුෂ්කරතාවට පත් වුණු විට එහි ජනයා අගති විරහිතව පළ කළ සහයෝගය පමණකි. මෙම ගමේ හැදී වැඩීමෙන්, රට තුළ සියලු ජනවාර්ගික ප්‍රජාවන් සඳහා සමාජ සාධාරණත්වය, දේශපාලනික අයිතිවාසිකම් සහ සාධාරණත්වය දිනා ගැනීම සඳහා පෞද්ගලික කැප කිරීම් කළ යුතු මාවත පිළිබඳව මා දැනුවත් විය. මේ ගමේ උරුමය මගේ දේශපාලනික ඉතිහාසය සහ අනන්‍යතාව තුළ ගැඹුරින් කා වැදී ඇත. 1971 දී මා අල්ලා ගැනීම සඳහා සීඅයිඩීය සහ පොලීසිය ගමේ කඳවුරු බැඳ ගත් විට ගම්වැසියෝ මා ආරක්ෂා කළහ. 1975 දී මා මගේ නඩුවෙන් නිදහස් කෙරුණු විට, පිලාන හන්දියේ සිට දෙනියාය-අකුරැස්ස පාරේ මගේ නිවස දක්වා දිවෙන සැතපුම් දෙකක් දිග මග පිරුණු මහ පෙරහරකින් ඔවුහු මා නිවසට කැඳවා ගෙන ගියහ.

ශ්‍රී ලංකාවේ දී දේශපාලනිකව සහ කායිකව අප ගිය ගමන් බිමන් බොහොමයක් දැවැන්ත පරාජයන් අර්ථවත් කරන ඒවා වෙයි. ගම හරහා දිවෙන සැතපුම් දෙකක් දිග මේ මග සම්බන්ධ වන්නේ මගේ දේශපාලනික සගයා සහ මිතුරාව සිටි ජෝර්ජ් රත්නායක 1989 අගෝස්තුවේ දී ජවිපෙන් කුරිරු ලෙස ඝාතනයට ලක් වුණු පසුව ඔහු නමින් නම් කෙරුණු ජෝර්ජ් රත්නායක මාවතට ය. මේ ගම එදාමෙදා තුර බිහි කර ඇති හොඳ ම මිනිසා ඔහු විය. ඔහුගේ අඩුව ගැඹුරින් දැනුණේ මට පමණක් නො වේ. ඔහු නැතිව ගිය මගේ ගම, පාළුවට ගිය තැනකි. ජෝර්ජ් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් ද කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ද විය. 1989 දී ඔහු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ජය ගත්තේ ය. ජවිපෙ ඔහු ඝාතනය කළේ දෙමළ ජනයා වෙත බලය බෙදා හැරීමට ඔහු විවෘතව සහාය දුන් බැවිනි. ඔහු ඝාතනය ජවිපෙ ක්‍රූරත්වයටත් ඔවුන්ගේ සිංහලෝත්තමවාදී වර්ගවාදී දේශපාලනයටත් සාක්ෂියක් ලෙස නැගී සිටියි. මෙම අතිදුෂ්ට ඝාතනය මේ ගමට කිසි කලෙක අමතක නොවනු ඇත. ජවිපෙ එදින නන්නාඳුනන ඝාතකයන් පිරිසක් පිටස්තරින් එවා තිබිණ. ගම සිය හොඳම මිනිසා මිහිදන් කළ දා ගම්වැසියෝ ජවිපෙ අවමංගල්‍යයට පැනවූ සියලු තහංචි බිඳ දැමූහ.

මා හැර ගිය තැන් සිට ගම වෙනස් වී ඇත. වැඩෙන වේගයකින් එය නොකඩවා වෙනස් වනු ද ඇත. එය තව දුරටත් ළමයෙකු ලෙස මා අත්දුටු අසරණකමේ සහ අන්ත දරිද්‍රතාවේ සලකුණ දරා නො සිටියි. ඒවා තව දුරටත් එම තීව්‍රතාවෙන් ම නො පවතියි. පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයේ ම වැටුප් ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මෙය එහි අනාගත දේශපාලන ගමන කෙරෙහි බලපානු ඇතැයි ද ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සහ සුරැකීම සඳහා අඛණ්ඩව දේශපාලනික දායකත්වය ලබා දීමට මින් ඊට ශක්තිය ලැබෙනු ඇතැයි ද මම විශ්වාස කරමි.

පොදුවේ ශ්‍රී ලංකාව තුළ, මැතිවරණවල දී සිංහල බෞද්ධ ආධිපත්‍යයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් බලපවත්වන ගමෙහි දේශපාලනය, මැතිවරණ සංග්‍රාම භූමි යළි සලකුණු කෙරෙන එළඹෙන වසරවල දී ප්‍රධාන තැන ගනු ඇත. එක් අතකින් මෙය එජනිස ය ගම පදනම් කර ගත් සිය සහායක ව්‍යුහයන් වෙත දේශපාලනික අවධානය මාරු කරමින් සිටීම නිසාත් ග්‍රාමීය ප්‍රදේශවල දී මෙතෙක් නුදුටු යටිතල පහසුකම් සංවර්ධනයකට මුල පුරා තිබෙන නිසාත් සිදු වන්නකි. දෙමළ ප්‍රජාව වෙත බලය බෙදා හැරීමේ ගැටලුව විසඳන මැතිවරණ ජයග්‍රහණයක් සඳහා ග්‍රාමීය ප්‍රජාවන් ආධාර නොකළ හොත්, ශ්‍රී ලංකාවට ජාතිකත්වය පිළිබඳ සිය දුෂ්කර ගැටලුව විසඳා ගත නොහැකි වනු ඇත.

ප්‍රචණ්ඩ දේශපාලනයෙන් කැලඹුණු මෙම අවුල් සහිත වසරවල දී, මගේ ම රට හැර යාමට සිදු වීම ද ඇතුළු පෞද්ගලික අහිමි වීම් මගේ ජීවිතය කෙරෙහි කල් පවත්නා බලපෑමක් කර ඇත. එල්ටීටීඊයේ, ජවිපෙහි සහ ආරක්ෂක හමුදාවල ගොදුරු බවට පත් වුණු මගේ බිරිඳ රාජිනී ද ඇතුළු සමීපව මා දැන හැඳින සිටි දේශපාලනික සගයන් සහ මිතුරන්, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඔවුන් කළ අරගලය මා ඉදිරියට ගෙන යනු ඇතැයි සිය අවසන් මොහොතවල දී අපේක්ෂා කරන්නට ඇත. ඒත් එවක දී මගේ දරුවන් කෙරෙහි මට පැවති පෞද්ගලික වගකීම මග හැරීමට මට නොහැකි විය. ශ්‍රී ලාංකික දේශපාලනයෙහි නියැළෙන ඕනෑ ම පුද්ගලයෙකුට එල්ල වන මාරක අනතුර රාජිනී ද මගේ දේශපාලනික සගයෝ ද මිතුරෝ ද හොඳින් ම දැන සිටියහ. එහෙත් ඔවුහු කිසි විටෙකත් දෙගිඩියා සහගත නොවූහ. මිනීමරු රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු ‛විප්ලවයේ ’ හෝ ‛ජාතික විමුක්තියේ ’ නාමයෙන් මෙම අපරාධ යුක්ති සහගත කිරීමට උත්සුකව සිටිති. ඔවුන් මෙම අපරාධ සම්බන්ධයෙන් කිසි සමාවක් ඉල්ලා නැත. ආරක්ෂක හමුදා කිසිදු වග වීමක් පෙන්නුම් කර නැත. ‛ප්‍රජාතන්ත්‍රවාදයේ ’ සහ ‛ජාතික ස්වෛරීත්වයේ ’ නාමයෙන්, ඔවුන් දඬුවම් නොලබා ක්‍රියා කර ඇත.

යළි සියරට පැමිණීම උතුම් දෙයකි.

කෙසේ වුව ද, යුද්ධය අවසන් කළ පසුවත් ශ්‍රී ලංකාව ජාතියක් ලෙස සිය දේශපාලනික පිටුවාහල අවසන් කර නැත. සියලු ජනවර්ග කොටස්කරුවන් බවට පත් කර ගැනීම පිළිබඳ සිය තීරණාත්මක ගැටලුව විසඳා නොගත හොත්, ඇය සිටිනු ඇත්තේ දේශපාලනික පිටුවාහලක ය. මේ රටේ මහජනතාව ඇය මෙම පිටුවාහලෙන් එළියට ඇද, අප සියලු ජනවාර්ගික ප්‍රජාවන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස භුක්ති විඳින සාඩම්බර ජාතියක් බවට පත් කරන දිනක් පවතිනු ඇත.

දයාපාල තිරාණගම[Dayapala Thiranagama]