සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින කිහිපයේදීම රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගිනිමින් සාවද්‍ය ලෙස හා ඉතා කුරිරැ, දේවේශ සහගත ලෙස විවිධ අන්දමේ ප්‍රචාරයන් ගෙන ගිය හ. අද වන විටද එය නතර වී නොමැති සේයකි.

එම තත්ත්වය තුළ මෙම ද්වේශ සහගත ලෙස ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ගේ උදහසට වඩාත් ම ලක් වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනා විසින් විවෘත සංදේශයක් නිකුත් කර ඇති අතර එයින් ඔවුන් පවසා සිටිනේ ‘‘අතීතයේත්, වර්තමානයේත්, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම්වලට වගවීමට සහ යුක්තිය ඉටුකිරීමට ප්‍රමාණවත් සවිමත් මානව හිමිකම් ව්‍යුහයක් ලංකාවේ ගොඩනැගීමට සහ විනිර්මුක්තිය පරාජය කිරීමට කටයුතු කරන මානව හිමිකම් සුරකින්නන් වශයෙන් අපි, අපේ පරමාදර්ශයන්ට සහ අරමුණුවලට කැප වී සිටිමු. මානව හිමිකම් කවුන්සලයේ ලංකාව පිළිබඳ යොජනාවක් තිබුනත්, නැතත්, ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් අපගේ කර්තව්‍යය දිගින් දිගට ම අප විසින් කරගෙන යා යුතුය. එය එසේ ම සිදුවනු ඇත.‘‘ යනුවෙන් ඔවුන් එහි ප්‍රකාශ කර ඇත.

පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ විවෘත සංදේශය යි.

විවෘත සංදේශයයි

පසුගිය සති කීපය තුල ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කටයුතු සමග ක්‍රියාකාරීව සම්බන්ධ වීම හේතු කොටගෙනල ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ගේ උදහසට වඩාත් ම ලක් වූ ලාංකික මානව හිමිකම් සුරකින්නන් තිදෙනා වශයෙන් මෙම පැහැදිලි කිරීම ප්‍රසිද්ධ කිරීමට යොමු වෙමු.

බොහෝ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මූතීන්ට අත්සන් තැබීම හරහා ලංකාවේ රජය වෙත පැවරෙන වගවීම පැහැර හැරෙනවා යැයි අපට දැනෙන හැම මොහොතකම, රජයේ සහ එය යටතේ ක්‍රියාත්මක වන විවිධ ආයතන සහ යාන්ත්‍රණයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විවේචනාත්මකව බැලීමට අප ඉදිරිපත් වන බව අප කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ලංකාවේ ජනාධිපතිතුමාත්, එතුමාගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතතුමාත්, හොඳින් දන්නා පරිදි අතීතයේ දී මෙරට මානව හිමිකම් පිළිබඳ වගවීම සාක්ෂාත් කරගැනීම සඳහා මේ රජය වෙත අප තිදෙනා ම අපගේ සේවය සහ සහාය ලබා දී තිබේ. උදාහරණයක් වශයෙන්, මහින්ද සමරසිංහ ඇමතිතුමා මානව හිමිකම් පිළිබඳ ඇමති ධූරය දැරූ කාලයේදී අප තිදෙනා ම ඔහු විසින් පත් කරන ලද ජාතික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

එසේ ම, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් මෙන් ම රටේ පවතින විනිර්මුක්තියේ සංස්කෘතිය – එනම් විගවීමෙන් නිදහස්වීමේ සංස්කෘතිය – සම්බන්ධයෙන් සහ එදා මෙදා සිදුවන උල්ලංඝණයවීම් සඳහා වගවීමක් නැතිවීම සම්බන්ධයෙන් අප ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කටයුතු කරන විවිධ මානව හිමිකම් සංවිධාන රැසක් සමග කටයුතු කරන බව ද අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. මානව හිමිකම් සුරකින්නන් වශයෙන් මෙය අප සතු අයිතියකි. එම අයිතිය අප විවිධ රජයන්ගේ පාලන කාලයන් තුල, වසර ගණනාවක් පුරා, තහවුරු කොට ගෙන ඇත්තේ රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන විවිධ පාර්ශවයන්ගෙන් අප වෙත එල්ල වූ ප්‍රහාර සහ බියගැන්වීම් නොසළකා ය.

අපේ සමාජය වෙනසකට භාජනය කරන්නට, පශ්චාත් යුද අවධියක සිට පශ්චාත් ගැටුම් අවිධියකට ප්‍රවේශ වන්නට, සියලු ම පුරවැසියන්ට සාමයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි යුක්ති සහගත මානුෂීය සහ සෞභාග්‍යමත් ලංකාවක් ගොඩනගන්නට, අප හමුවේ මාවත විවර වන ඓතිහාසික අවස්ථාවක දී අප තිදෙනාට එරෙහිව අතිශයින් පෞද්ගලික සහ පෙර නොවූ විරූ ප්‍රහාරයකට රජයත්, එහි මාධ්‍යයත්, ක්‍රියා කිරීම පිළිබඳව සැබැවින් ම පසුතැවිලි විය යුතුය. කිසි විටෙක අප විසින් ඉදිරිපත් කෙරෙන කාරණා කෙරෙහි හරයාත්මක අභියෝගයක් දක්නට නැත. අප කීවා යැයි කියන කිසිදු කාරණාවක් ඇත්තෙන් ම අප විසින් කියැවුනේ නැති බව, අප සම්බන්ධ වූ ක්‍රියාකාරකම්වලට සහභාගි වූ බොහෝ අය සාක්ෂි දරති.

කවුන්සිලයේ ලංකාව පිළිබඳ ඉදිරිපත් කොට තිබෙන යෝජනාව ප්‍රතික්ෂෙප කිරීමට ලංකාවේ රජය දරන උත්සාහයට මෙම මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය අතිශයින් හානිකර ය. ඇත්තෙන් ම යෝජනාව ආශ්‍රිත කෙවෙල් කිරීම්වලට වඩා ජිනීවා නුවර අප දුටුවේ ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට එරෙහිව කෙරී ගෙන යන ප්‍රහාරයන් සහ බියවැද්දීම් පිළිබඳ අවධානයයි. අප විසින් රට අපකීර්තියට පත් කළා යැයි චෝදනා කරන අය, තමන්ගේ අරමුණු සහ තම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල විමර්ශනයට භාජනය කරනවා නම් යෙහෙකි. යෝජනාව පරාජය කිරීමට කටයුතු කරනු වෙනුවට, ජිනීවාහි ලංකා තානාපතිනි තමරා කුනනායගම් ට සිදුවූයේ ලංකාවේත්, කවුන්සලයේත් ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට විරුද්ධව ගෙන යන ප්‍රහාර සහ බියවැද්දීම් සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නියෝජිතයින් ට, කවුන්සලයේ සභාපති ට සහ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විවිධ නිලධාරීන් ට වග උත්තර බැඳීම සඳහා සිය වටිනා කාලය වැය කිරීමටයි.

අතීතයේත්, වර්තමානයේත්, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම්වලට වගවීමට සහ යුක්තිය ඉටුකිරීමට ප්‍රමාණවත් සවිමත් මානව හිමිකම් ව්‍යුහයක් ලංකාවේ ගොඩනැගීමට සහ විනිර්මුක්තිය පරාජය කිරීමට කටයුතු කරන මානව හිමිකම් සුරකින්නන් වශයෙන් අපි, අපේ පරමාදර්ශයන්ට සහ අරමුණුවලට කැප වී සිටිමු. මානව හිමිකම් කවුන්සලයේ ලංකාව පිළිබඳ යොජනාවක් තිබුනත්, නැතත්, ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් අපගේ කර්තව්‍යය දිගින් දිගට ම අප විසින් කරගෙන යා යුතුය. එය එසේ ම සිදුවනු ඇත.

සුනිලා අබේසේකර | නිමල්කා ප්‍රනාන්දු | පාක්‍යසෝති සරවනමුත්තු

පහතින් දැක්වෙන්නේ එහි ඉංග්‍රීසි පිටපතයි.