යෝජිත 20වන  ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා  සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් (කවදාද?) කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයකට ඉඩක් තබන්නේ නැත. මෙකි යෝජිත  සංශෝධනය නව ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාව තුළ පුළුල් කෙරෙන සහ ශක්තිමත් කෙරෙන ඒවායේ යම් පෙර නිමිත්තක් නම් එය ශ්‍රී ලංකාව නව සිහින රාජ්‍යයකට පිවිසෙනු ඇති බවට කෙරෙන භයානක ඉඟියන් වීමය. මැතිවරණය ශාරීරික හිංසනයෙන් තොර වූ එකක් වනු ඇති නමුත් තරයේම ඒකපාර්ශවීය වනු ඇති අතර රට හුදෙක්ම ඒකපාර්ශවික රටක් වනු ඇත. වඩාත් භයානක ලෙස විකල්පයක් නොමැති වීම හේතුකොට ගෙන සියලු  දේශපාලන ප්‍රවේශයන් නව ඩිජිටල් ප්‍රචාරක අවි තරඟයකට යොමුවනු ඇත. දේශපාලන පක්ෂ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කර ගැනීමට සහ රඳවා ගැනීමට උත්සාහ කරනු ඇති අතර ඔවුන් එය පැහර ගැනීමට වැඩි වැඩියෙන් නවීන ක්‍රම භාවිතා කරනු ඇත. අපගේ සහභාගීවීම යනු අපගේ ඡන්ද බලයයි. මෙය   හොඳින්ම දන්නා අය 20 වන  ව්‍යවස්ථා සංශෝධනය පිටුපස සිටිති.

අධි-ජනපතිවාදයේ නව පරිච්ජේදයක දරුණු ප්‍රතිවිපාක පෙන්වා දෙමින් යෝජිත  සංශෝධනය පිළිබඳව විවේචන සහිත ලිපි රැසක් පසුගිය සතියේ පළ විය.  මෙහි මූලික අවධානය  යොමු වූයේ රටේ ප්‍රචාරක භූ දර්ශනය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ බලතල ලිහිල් කරන නිර්දේශ  සමූහයක් වෙතය. යෝජිත  සංශෝධනය පිළිබඳ පරික්ෂා කිරීමට  අධ්‍යයන හෝ තාක්ෂණික ක්‍රම භාවිත කළ නොහැක. ඒ සඳහා, වත්මන් ජනාධිපතිවරයා හෝ රජයේ බහුතර පක්ෂයට අයත්  නොවන අයකු  මෙකී 20 වන වයවස්ථා  සංශෝධනය මගින් ලබා දී ඇති බලතල අත්පත්කර ගන්නා සහ භාවිතා කරන අවස්ථාවක් පිළිබඳ උපකල්පනය කළ යුතුය. අකමැති හෝ බියගුළු  දේශපාලන චරිතයක් විසින් පවරන ලද නිරපේක්ෂ බලයෙන් යමෙකුට නොසන්සුන් බවක් දැනෙන්නේ නම්  එම බලය පැවතීමට මුලින්ම ඉඩ නොදිය යුතුය.

මෑතකාලීන  දේශපාලන ඉතිහාසය දෙස බැලූ කල මෙය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ පාඩම් උගත හැකිය. ඊළඟ වසරේ ජනවාරි පළමු වන සතිය වන විට ජයග්‍රහණය පෙනෙන තෙක් මානයකවත් නොතිබූ අයෙක් රටේ නව ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇතැයි 2014 නොවැම්බර් 20 වන දින වන විට කිසිවකුත් දැන සිටියේ නැත. 2015  වසරේ දී දෙවරක් ප්‍රතික්ෂේප වන පක්ෂයක් 2018 පෙබරවාරි වන විට බලයට පත්වනු ඇතැයි 2015 ජනවාරි මාසයේ දී කිසිවකු විශ්වාස කලේ නැත. 2009 මැයි මාසයේදී හමුදාවක් මෙහෙයවූ ජෙනරාල්වරයා ඊළඟ  වසරේ  පෙබරවාරි වන විට කොළඹ නගර මධ්‍යයේ සිට එකී හමුදාව විසින්ම පහරදී ඇදගන යනු ඇතැයි ඔහු අනුමාන කලේවත් නැත. මෙලෙස ශීඝ්‍ර ලෙස වෙනස් වන  දේශපාලන වාසින් හැරුණු කොටගෙන, සඳහන් කිරීමට පවා සංවේදී කාරණාවන් වන වයස සහ සෞඛ්‍යය පිළිබඳ ගැටලුවක් ද පවතීද්දී, නව  සංශෝධනය තුළින්  දේශපාලන උරුමයක් ලෙස දිරි ගන්වන්නේ කුමක්ද යන්න පිළිබඳව ද සලකා බැලීම අත්‍යවශ්‍ය වේ . වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම අවුරුදු 70 ට වැඩි අයවලුන් වෙති. ඉන් එක් අයෙකු පසුගිය වසරේ සිංගප්පුරුවේදී දී සැත්කමක් සඳහා භාජනය වූ අතර අනෙකා ප්‍රසිද්ධ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝ දර්ශන පෙළකට අනුව ඇවිදිමේ අපහසුතාවයන් වලින් පෙළේ. කෙටුම්පත් ගෙන එන්නන් විසින් කිසියම් පිරිසක් ඉලක්ක කර ගනිමින්  මෙකී  සංශෝධන ගෙන ආවද, ඉන් ක්‍රියාත්මක කෙරෙන නිරපේක්ෂ බලයට අවසානයේ උරුම කම් කියන්නේ ඔවුන්ම නොවිය හැකිය. ඒ නිසා කුණු පවතින්නේ එතැනය.

මීට අමතරව  යෝජිත 20වන  ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ  කොමිෂන් සභාවේ බලතල ලිහිල් කරයි. තවද ජනාධිපතිවරයා විසින්  කොමිෂන් සභාව පත් කිරීම නිසා එම ආයතනයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වයට හානි වනු ඇත.  මෙම  සංශෝධනය මඟින් අනාගත සෑම මැතිවරණ ව්‍යාපාරයක දීම රජයට අපමණ වාසියක් සැලසෙනු ඇත. දශකයක පමණ කාලයක් දෙස පමණක් ආපසු හැරී බැලීමේදී මෙය මනාලෙස වටහා ගැනීමට ප්‍රමාණවත්ය. 2010 ජනවාරි 27 වන දින පැවති ජනාධිපතිවරණයේදී ප්‍රථම වතාවට ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා සිය ප්‍රචාරණ  ව්‍යාපාර සඳහා වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක්, ෆ්ලිකර්, යූටියුබ් සහ ට්විටර් ගිණුම් ආරම්භ කළහ. ඒ අතරම නිල  වෙබ් අඩවි ලෙස පෙනී සිටින නමුත් ජනාධිපති  අපේක්ෂකයෙකුට මඩ ප්‍රහාර එල්ලවන ආකාරයේ සහ අවතක්සේරු කරන ආකාරයේ පළමු  වෙබ් අඩවියද 2010 හිදී නිර්මාණය කෙරිණි . 2015 වන විට සමාජ ජාලා අන්තර්ගතයන් එම  වසරේ පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන  දෙකටම පොදු අවශ්‍යතාවයන් වූ අතර ඉන්පසු සියල්ල සංකීර්ණ වීම ආරම්භ විය.

එක් අතකින් මැතිවරණය හා සම්බන්ධ ශාරීරික හිංසනය අඩු වීමට පටන් ගත්තේය . අනිත් පැත්තෙන් ඩිජිටල් ප්‍රචාරණයේ නව්‍යතාවය, නිෂ්පාදනයේ වේගය, බෙදාහැරීමේ පරිමාණය සහ සහභාගිවීමේ පරිමාව වේගයෙන් වැඩි වීමට පටන් ගැනිණි. 2019 ජනාධිපතිවරණය වනවිට මැතිවරණ ප්‍රචාරණය, පෙළපාලි සහ මුද්‍රිත මාධය  වලින් ඔබ්බට ගොස් තිබිණි. යූ ටියුබ්, ෆේස්බුක් පිටු සහ සමුහ , ට්විටර් ,ලින්ක්ඩ් ඉන්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්, වයිබර්,  ෆේස්බුක් මැසෙන්ජර්, ඊමේල් , එස්.එම්.එස්, රොබෝ කෝල් , නිල වෙබ් අඩවි, ප්‍රොක්සි වෙබ් අඩවි සහ ව්‍යාජ අන්තර්ගතයන් අනුමත කරන විරුද්ධ අපේක්ෂකයන්ගේ නමින් ව්‍යාජ ලෙස සැකසුණු  වෙබ් අඩවි පවා ප්‍රචාරණය සඳහා යොදා ගැනිණි. ප්‍රථම වරට ජංගම දුරකථන ඇප්ස් නිල මැතිවරණ  ව්‍යාපාර වල  කොටසක් විය.  මෙම  ඇප්ස් තුළින් ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංක ඇතුලු ස්වේජාවෙන් සපයන ලද ඡන්ද දායකයින්ගේ තොරතුරු රැසක් එක් රැස් කළහ. තත්ත්වය වඩාත් භයානක කරමින් පරිශීලක මැදිහත්වීමකින්  තොරව  මෙකී  දුරකථන  යෙදුම් තුළින් එක් රැස් කළ වෙනත් දත්ත අතර 24/7 දුරකථනයේ පිහිටීම, දුරකථනය තුළ ගබඩා කර ඇති දත්ත සහ  වෙනත් දුරකතන අංක ද විය.  මෙම  තොරතුරු මැතිවරණ  කොමිෂන් සභාව විසින් නිත්‍යානුකුලව එක්රැස්කර ඇති අන් කිසිදු දත්ත ගොනුවකට වඩා පක්ෂග්‍රාහී දත්ත සමුදායන් පෝෂණය කරන්නට විය. සමාජ මාධ්‍ය සමාගම් වලට ඔවුන්ගේ සමාජ ජාලා වේදිකාවන් වල ප්‍රචාරක කටයුතු අර්ථවත් ලෙස නියාමනය කිරීමට ඇති නොහැකියාව සහ නොකැමැත්ත සමඟම  මෙම  වසරේ  මහ මැතිවරණය වන විට තත්වය පෙරටත් වඩා දරුණු විය විය.සැඟවුණු මැල්වෙයාර් සහිත ජංගම යෙදුම් ( හානිකර කේතයන් ) රැසක්, ප්‍රමුඛ  දේශපාලන පක්ෂ විසින් දියත් කරන ලදී. දහස් ගණන් ජනයා ඒවා සිය දුරකථනයන් තුළ ස්ථාපනය කර ගත්හ. රටට මුළුමනින්ම අලුතෙන් හඳුන්වා දෙන ලද හෝ ජනාධිපතිවරණ සමයේ මුලින්ම පරික්ෂා කොට මාස කිහිපයක් තුළ පරිණාමය වූ බාධාකාරී නව ප්‍රවීණතා රැසක් ඩිජිටල් ප්‍රචාරණයට  අලුතෙන් හඳුන්වා දුනි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රූපවාහිනී සේවාවන් වල පක්ෂග්‍රාහී නැඹුරුව සමාජ මාධ්‍ය ජාලාවල වැඩි වැඩියෙන් සාකච්ඡා වූ මාතෘකාවක් වූ අතර, මෙකී රූපවාහිනී  වල ප්‍රචාරණය වූ අන්තර්ගතයන් ෆේස්බුක් හි ප්‍රචාරණය වූයේ ඒවා  ප්‍රථම වරට විකාශය වී බොහෝ කලකට පසුවය. අවම වශයෙන් එක් රූපවාහිනී නාලිකාවක හිමිකරුවකු හෝ මාධ්‍ය හිමිකරුවකු යේ සහය ඇති  අපේක්ෂකයින්ට එසේ සහය නොමැති අපේක්ෂකයින්ට වඩා පැහැදිලි වාසියක් ඇත.

පැහැදිලිව කිවයහොත්, මැතිවරණ  කොමිෂන් සභාවෙහි අද පවතින තත්ත්වය, ඉන් බලාපොරාත්තු වන සේවාව සැපයීම සඳහා සුදුසු වන්නේ නැත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති හා රෙගුලාසි පැරණි ඒවා වන අතර ඒවා තවදුරටත් රට තුළ දැන් නොපවතින මාධ්‍ය භූ  දර්ශනයක් පිළිබිඹු කරයි. එහෙත් යෝජිත 20වන  සංශෝධනය සිදු කරන්නේ මෙම නැගී එන ශක්තිමත් සහ පුළුල් වන අභියෝගයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය වන හදිසි ප්‍රතිසංස්කරණ වල ප්‍රතිවිරුද්ධයකි. මෙම  සංශෝධනය හිතාමතාම රාජ්‍ය සතු ප්‍රචාරණයන් වටා ඇති හානිදායක ගතික්වයන් කේන්ද්‍ර ගත කරන අතර අර්ථවත් අධීක්ෂණයක් සහ නියාමනයක් සඳහා ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා දමයි. මෙමඟින් ඇති වන ශුද්ධ බලපෑම වනුයේ රටේ මාධ්‍ය භූ දර්ශනයේ අසමසම  ආධිපත්‍යයන් රාජ්‍ය විසින් සදාකාලිකව තනිව භුක්ති විඳීමයි.

අප වචන හරඹ නොකරමු . ඇත්තටම 20වන  සංශෝධනය සහ එහි වර්තමාන ස්වරූපය යනු මැතිවරණ කඩාකප්පල්කාරී කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිඵලයන් වළක්වා ලන්නකි. මෙහි ඇති භයානක තත්ත්වය කිව නොහැකි තරම්ය. මේ සඳහා විකල්ප කියවීමක්, රිදී රේඛාවක් හෝ මෙමඟින් අත්වන මීට වඩා යහපත් ප්‍රතිඵලයක්  නොමැත.  මෙම  සංශෝධනය මගින් සියලූ  දේශපාලන පක්ෂ වලට ඍජුව හෝ වක්‍රාකාරව සිය ප්‍රචාරක කටයුතු වලට වඩාත් ගැළපෙන පරිදි සමාජ  මාධ්‍ය  සන්නද්ධ කිරීමට ආයෝජනය කිරීම සඳහා බල කෙරේ. ඒ අනුව කොයි අපේක්ෂකයාට ඡන්දය දුන්නත් රටවැසියන් පරාජය වනු ඇත.

මෙය උත්කෘෂ්ඨයක්  ලෙස පෙනුනද, එය එසේ නොවේ. ආචාර්ය උපාධි පර්යේෂණයේ කොටසක් ලෙස මා හදාරන සමකාලීන  දේශපාලන සන්නිවේදනයේ සංකීර්ණ ස්වභාවය  මෙහි සඳහන් කර ඇති කරුණට වඩා කරදරකාරීය. සිතන්න! සාමාන්‍ය වෙබ් අඩවියකට පිවිසීමේදී අයෙකුව දේශපාලන දැන්වීම් සඳහා භාවිතා වන්නේ නම්? සිතන්න! නවීන ඇල්ගොරිතම හරහා යමකු ඡන්දය ප්‍රකාශ අකාරය  මෙයැයි හඳුනාගන ඒ මත පදනම්ව ඒ පුද්ගලයා වෙනස්කොට සැලකීම හෝ ඔහු සතු විකල්ප මතයන් ආරෝපිත කරන රාමු ඔස්සේ ඒ පුද්ගලයාව ඉලක්ක කිරීමට ලක්වන්නේ නම්? සිතන්න! වඩාත් බලවත් වන්නේ දේශපාලන ප්‍රචාරකයන්,  දේශපාලන පක්ෂ හෝ  දේශපාලනඥයන්  නොව, දිනපතාම මිලියන ගණනකට විනෝදය සපයන ප්‍රසිද්ධ ෆේස්බුක් පිටු නම්? සිතන්න! බහුතර මතය වෙනස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ පක්ෂයකට  නොව නිරවද්‍යතාවය සහ අව්‍යාජභාවය ලෙස වරදවා වටහා ගෙන ඇති ජනප්‍රියත්වයකට නම්? සිතන්න! තරුණ වියේ පසු වන්නන් අතර  දේශපාලනික අවබෝධය ඇති කිරීම හරහා ඔවුන්  නොදැනුවත්වම ඔවුන්ගේ අනාගත ඡන්ද බලය පිළිබඳ පක්ෂග්‍රාහී බව ඔවුන් තුළ ස්වභාවයෙන්ම ඇති කරන්නේ  නම් සහ ඊට සිදුකරන බලපෑමක්  නම්? දැන්, සෑම දිනකම මේ සියල්ල දැනටමත් සිදු වෙමින් පවතින රටක් ගැන සිතන්න. ඉතින් 20 වන  සංශෝධනය යනු  මේ සියල්ල සහ තව බොහෝ දේ වේගවත් කරවන්නනකි.

මැතිවරණ අඛණ්ඩතාවය පිළිබඳ අභියෝග ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වුවක් නොවේ. ප්‍රවෘත්ති සිරස්තල දෙස ක්ෂණිකව හැරී බැලුවහොත් බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලීන් බිඳවැටීම අපටත් කොතරම් හුරු පුරුදු ද සහ  පොදුද යන කාරණාවන් මනා ලෙස වටහාගත හැකිය. මෙකී අවිධිමත් ප්‍රතිදානයන් වළක්වාගැනීමට අර්ථවත් ප්‍රතිපත්ති ගෙන එනවා වෙනුවට , ශ්‍රී ලංකාව දැන් බලවත් ඒකාධිපති පාලනයක් ගැන සැලකිිමත් වන බවක් පෙනේ. කෙසේ හෝ මෙකී ප්‍රචාරක ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන දක්ෂ ඉන්ජිනේරුවන්ගෙන්ම , ඔවුන්ගේම දේශපාලන සැලසුම් නැවත පරික්ෂා කිරීම සහ සීමා කිරීම සිදුකරතැයි බලාපොරොත්තුවිම කල නොහැකි තරම් . දේශපාලනඥයින් සහ  දේශපාලන පක්ෂ අසමත් වන තැන් පුරවැසියන් ජය ගත යුතුය. 20 වන  සංශෝධනයේ  නොවැලක්විය හැකි ප්‍රතිඵලයක් වනුයේ තනි  දේශපාලන සමාජ හා ආර්ථික ආඛ්‍යානයක සීමිත සහ පූර්ව අනුමත වෙනස්කම් පමණක් ඉවසා සිටින රටකි. සම්පුර්ණ තොරතුරු අදිපත්‍ය යනු නිශ්චිතවම  මෙය වේ . මෙම සංශෝධයනය මඟින් බලගැන්වෙන ප්‍රචණ්ඩඩත්වය, අතීතයේ පැවති මර්දනය, වාරණය සහ විසම්මුතිය මර්දනය කිරීමට වඩා බෙහෙවින්ම වෙනස්ය. එය වඩාත් හානිකර වර්ධනයකි. මන්දයත්  මෙමඟින් ඇති කරන හිංසනය පද්ධතිමය වන නිසා පරික්ෂා කිරීමට හෝ අධ්‍යනය කිරීමට අපහසු වන්නනක් වන අතර, ඩිජිටල් නමුත් සැබෑ සහ ක්ෂණික සේම කල් පවත්නා මැතිවරණ සහ දේශපාලන හැඟවුම් ද සහිත වන බැවිනි.

යෝජිත 20වන  ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීම පක්ෂග්‍රාහී විවේචනයකට එහා ගිය ප්‍රජා යුතුකමකි.එක්කෝ අප එය දැන්ම කළ යුතුය. නැතහාත් බොහෝ රජයන් සහ පරම්පරාවන් සඳහා එමඟින් ඇති වන භයානක ප්‍රතිවිපාක අප සියල්ලන්ටම අත්විඳීමට සිදුවනු ඇත.

සංජන හත්තොටුව | Sanjana Hattotuwa

 

 

සංස්කාරක සටහන : මෙම ලිපිය විකල්ප වෙබ් අඩවිය විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව මෙසේ පළවේ. ලියුම්කරුගේ මුල් ඉංග්‍රීසි ලිපිය The End of Free and Fair Elections  නමින් අප සහෝදර  Groundviews වෙබ් අඩවියේ පළවිය.