iMage: Chamila Karunarathne/EPA-EFE/Shutterstock

“අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ ළමයා නිරෝධායනයට අරං ගියා. ඊට ටිකකට පස්සේ පොලිස් ජීප් එකක් ඇවිත් ඒ ළමයගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව සොයන්න ගත්ත. ඒ තරුණය ජීප් එකක දාගෙන ගියා. කොහේට ගෙනිච්චද කියළ හරියට දන්න කෙනෙක් නැහැ.”

ඒ කතාව කීවේ මීගමුව අසළ පදිංචි ක්‍රියාකාරිනියකි.

එම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් නිරෝධායන පිනිස යෑවීම පිනිස ගෙනයාම පිනිස ස්ථාන 12කට රැස්වන සේ නියෝගය නිතුක් කර තිබුනේ ද පොලීසීයෙනි. සෞඛ්‍ය බලධාරීන් විසින් නොවේ.

දේපල රාජසන්තකයි!

පොලීසිය විසින් පැමිණ රැගෙන යනු ඇතැයි බිය නිසා දිවුලපිටිය කම්හලෙහි සේවය කළ සේවක සේවිකාවන් රැය පුරා නවාතැන් මාරු කරමින් දන්නා හදුනන ස්ථාන සොයා යමින් සිටින බව 08වැනිදාත් දැන ගන්නට ලැබුණි. එසේ පොලිස් නියෝගයන්ට අවනත නොවන සේවක සේවිකාවන්ගේ වංචල සහ නිශ්චල දේපල රාජසන්තක කරන බවට එදිනම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනතුරු හැගවීමක් නිවේදනය කළේය. මේ වනාහී ශ්‍රී ලංකා ඉතිහාසයෙහි මතක ඇති කාලයක කරන ලද එවැනි නියෝගයකි.

නවතම කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් රූපවාහිණියේ කතා කරන්නේ ද පොලීසිය සහ යුද හමුදාවයි. කොවිඩ් සටනෙහි පතාක යෝධයකු වූ වෛද්‍ය අනිල් ජාසිංහ කිසිම හේතුවක් නැතිව තනතුරෙන් ඉවත් කොට පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස යවන ලදී. තවමත් සෞඛ්‍ය සේවා අධක්ෂක ජෙනරල් ධූරය හිස්ය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාද යුද හමුදා ජෙනරල්වරයෙකි.

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යකවරයාව සිටිමින් කොවිඩි පාලන සටනෙහි මූලිකත්වයක් දැරූ දොස්තර ජයරුවන් බන්ඩාර හිටි හැටියේ අදාළ ඇමැතිවරියටවත් නොදන්වා මාරු කරන ලද්දේද එම ලේකම් ජෙනරල්වරයා විසිනි. ඔහුද කැපී පෙනුන චරිතයක් වූ අතර වත්මන කොව්ඩ් රැල්ල භයානක වියහැකි බව කියා සිටියේය.

දැන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එකම ප්‍රකාශකයා බවට පත්ව තිබේ.

තවත් බොහෝ දෙනෙකු මෙන්ම නීතිඥ ප්‍රබෝධ රත්නායක ෆේස්බුක් හි ලියා තිබූ පරිදි “කොවිඩ් මර්ධනය සෞඛ්‍ය සේවයක් නොව මිලිටරි මෙහෙයුමක් ලෙස පෙන්වන නිසා රෝගය වරදක් සහ නිරෝධායනය දඩුවමක් ලෙස සමාජ ගත වීම ඛෙදවාචකයක්” බවට පත්ව තිබේ.

“Brandix අපිව දැන් බස් එකකටවත් ගන්නෙ නැති තරමට අපිව පහත් කරල. අපේ එවුන්ගෙ හයියෙන්ම ගොඩ ගියපු කඩ කාරයො දැන් අපිව කඩේකටවත් ගන්නෙ නෑ. අපේ එවුන් මේක හිතල හදාගත්තෙ නෑ. අද මට වෙන්න පුලුවන්. හෙට උබට වෙන්නත් පුලුවන්. ගොඩක් ස්තුති උබල ගැන තෙරුම් කලාට. අයෙත් දවසක උබලට අපිව ඕන වෙයි.”

යන සටහන මා දුටුවේ ෆේස්බුක් එකෙහිය.

කොව්ඩ් පොකුර වර්ධනය වූ කම්හලෙහි සේවය කරන සිය මිතුරියක කොවිඩ් පරීක්ෂනය සඳහා යන විට තමා යන්නේ ලර්නර්ස් එකකට යැයි කියා සිය ගමන වසංකළ බව වෙනත් මිතුරියකට කියා තිබුනි.

ආණ්ඩුවේ ජඩ මාධ්‍ය

ආණ්ඩුවේ ප්‍රචාරක රූපවාහිණී නාලිකාවක් වන අයිටීඑන් සිය වෙබ් අඩවියේ ලියා තිබුණේ “දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි ‍කොරොනා නිසා 2000කට පීආර්සී…” කියාය. එය ආසන්න වෙන්නේ “උඹේ අම්මගේ” වර්ගයේ පජාති කතාවකටය. අයිටීඑන් ලොක්කන්ට අමාරුව තිබුණේ ආණ්ඩුවට පීආර්සී පරීක්ෂන 2000ක් කරන්නට වීම ගැන මිස වෛරසයට ගොදුරු වන ජනයා ගැන නොවේ.

ඊටත් වඩා ජුගුප්සාජනක මාධ්‍ය වාර්තාකරණයක් තිබී ඇත්තේ ලංකාවටම බිස්නස් උගන්වන, ගෝටාගේ දකුණු අත යැයි ද කියන දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිණීයේය. එහි උදෑසන “අනුපමා මෝනිං ෂෝ” නම් වැඩ සහනකදී මෙවැනි ප්‍රශ්ණයක් අසුවේල: “අගලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බයෙන් ඉන්නේ කුමක් සම්බන්ධයෙන්ද?”

එයට පිළිතුර වී ඇත්තේ “පොසිට්ව් වීම” කියාය. ඉස්සර පොසිට්ව්වීම යනුවෙන් මේ රූපවාහිණී අදහස් කරන්නේ අන් කිසිවක් නොව ලිංගික සබඳතාවයකින් පසු ගර්භනී වී ඇත්ද යන වෛද්‍ය පරීක්ෂණයෙන් “පොසිටිව්” වී ඇත්ද යන්නයි. ඉන් කියන්නට යන්නේ මේ තරුණියන් වැදගැම්මකට නැති බව නොවේද? මේ තරම් බාල ජඩ ප්‍රකාශයක් අඟලුම් සේවිකාවන් සම්බන්ධයෙන් ප්‍රචාරය කරන්නේ, කොවිඩ් පොසිටිව් වීම සමඟ සම්බන්ධ කරමිනි. මෙම පිළිතුර ලබාගෙන ඇත්තේද තරුණියකගෙනි!

ඔව්හු මුලින් මුස්ලිම්වරු සොයා ආහ

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් මුලින්ම දොෂාරෝපණය එල්ල කරන ලද්දේ මුස්ලිම් ජනයාටය. ඉන් පසු නාවික හමුදා සෙබලුන්ටය. අනතුරුව මත්ද්‍රව්‍ය නොහොත් මත් කුඩු පාවිචිච් කරන්නන්ටය.

සෑම විටකම ආණ්ඩුවේ සහ ගැති ජනමාධ්‍යන්හි කොව්ඩ් ඉලක්කය වූයේ අසාදිත පිරිස්ය. වරද ඔවුන්ගේය. සාර්ථකත්වය ආණ්ඩුවේය යනාදී ලෙසිනි. වාර්ගික සහ පහළ සමාජීය තීරූවල ජනයා මේ වරද පැටවීමේ දේශපාලනයේ ගොදුරු බවට පත්විය.

කොවිඩ් අසාදනය වී තිබියදී රෝහලකින් පැන ගිය බවට කියැවුණු වයස්ගත දුගී පෙනුමැති පුද්ගලයාගේ ජායාරූප, බලධාරීන් විසින් ඔහු සොයා ගැනීමෙන් පසු පවා ජනමාධ්‍ය විසින් පළ කරන ලද අතර අයෙක් ඔහු පදංචි බවට කියන නිවසක ලිපිනයක්ද දක්වා තිබුණි.

තවත් වාර්තාවකින් කියැවුණේ කොවිඩි අසාදනය වූ බවට වාර්තා වූ අඟලුම් සේවිකාවන්ගේ නම් ලැයිස්තුවක්ද ප්‍රසිද්ධියට පමුණුවා තිබූ බවයි.

මෙසේ සිදුවන්නේ ඉහළ පැලැන්තියේ බල පුලුවන්කාරයකු බීමතින් සිය රථයේ හප්පා අහිංසකයකු මරා දැමු කළ ඒ පුද්ගලයාගේ නම පවා වසං කරන රටකය!

දිවුලපිටිය කොවිඩ් පොකුර සම්බන්ධයෙන් මෙතරම් දුෂ්ට ලෙස ඇඟලුම් සේවිකාවනට පරිභව කෙරෙන අතරතුර ලාභ ජනප්‍රියත්වය කතා විපක්ෂය ඉන්දියානුවන්ට තඩි බෑමේ දේශපාලනයක ගිලී ගියේය.

බිය ගැන්වූ සමාජය
වාර්ගික හෝ ආගමික හෝ සමාජීය හෝ සතුරන් පෙන්වා සමාජයක් බිය ගැන්වූ කළ පාලනය ලෙහෙසිය. එවිට සතුරු අනෙකා පසුපස හඹා යෑමට සමාජය පෙළඹේ. දැන් එම සතුරා ඇඟලුම් සේවක සේවිකාවන්ය.

නිදහස් වෙළද කලාප ආරම්භ කළ සමයේ සිටම ඇඟලුම් සේවක සේවිකාවන් සළකන ලද්දේ ඉවත දැමිය හැකි රොඩු බොඩු ලෙසය.

මෙම දිවුලපිටිය කොව්ඩ් පොකුර විසින් සමාජයෙහි ඇති කරන ලද සාකච්ජාව තුල මතුවිය යුතුවම තිබූ අනෙක් කාරණය වූයේ මෙරට නිදහස් වෙළද කලාපයන්හි සේවය කරන සේවක සේවිකාවන් ජීවත්වන ඇදහිය නොහැකි තරමේ දුක්ඛිත තත්වයයි. එය හුදෙක් ආර්ථික දුක්ඛ්ත තත්වයක් පමණක් නොව සමාජීය දුක්ඛිත බාවයක් ද වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයකුම රටටම කී පරිදි මෙම සේවිකාවන් ජීවත්වන්නේ එදිනෙදාට පමණක් කෑම බීම මිලදී ගැනීමෙනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගියදා වාර්තා මෙසේ වාර්තා කලේය:

“පැමිණීමේ දීමනාව ගනනය කරනුයේ කන්ඩායමක සමස්ත පැමිණීම සැලකිල්ලට ගනිමිනි. කන්ඩායමකට නිශ්චිත නිවාඩු සංඛ්‍යාවක් නියම කර ඇති අතර, යම් විටකදී මෙම සංඛ්‍යාව එක් දිනක් හෝ ඉක්මවා ගියහොත් දීමනාව අඩුවේ. මෙය ලබා ගැනීමට කන්ඩායමේ සියලුදෙනා සෑම දිනකම පාහේ වැඩට යා යුතුය. එක් කන්ඩායමකට 40-50 ක් අතර කම්කරුවන් සංඛ්‍යාවක් අඩංගු වෙයි. කන්ඩායම් කිහිපයකින් සමන්විත තම පේලියේ කම්කරුවන් 130 ක් පමන සිටින බවත්, සියල්ලන්ටම හිමි මුලු නිවාඩු ගනන 90 ක් පමනක් බවත් කම්කරුවෙක් පැවසීය. කම්කරුවෙකුට ලැබෙන උපරිම දීමනාව රු. 3,000 ක් වන අතර ඉහත දක්වා ඇති නිවාඩු සංඛ්‍යාව ඉක්මවා ගියහොත් ඉන් රු. 2,000 ක් කපා දැමේ.”

නූතන වතුකරය

අසනීප තත්වයන් තිබියදීත් කම්කරු ස්ත්‍රින් වැඩට කැඳවූ බවට වන වාර්තා මෙම තත්වය සමඟ ගැලපේ. මෙවැනි සාමූහික දඩුවම් පැවතියේ දකුණු ඉන්දියාවෙහි සිට කදුරට වතුකරයෙහි වහලුන් ලෙස වැඩ ගැනීම පිනිස ගෙන එන ලද කම්කරු ජනයා සම්බන්ධයෙන් මුල් කාලයේදී පමණි.

එක් අතකට නිදහස් වෙළද කලාප වනාහී නූතන වතුකරයක් වැන්න. පාලකයින් වෙතින් වරදානයන්ද රැකවරණයද මෙම කම්හල් අධිකාරීන්ට නොමදව ලැබේ. ඒවායේ සේවය කරන සේවක සේවිකාවන්ට ලැබෙන්නේ සොච්චම් වැටුපකට සිය ශ්‍රමය හෙළීමේ නිදහස පමණි. ඔවුන් ජීවත් වන්නේ ගාල් කරන ලද බෝඩිම්වලය.

ඩාබිඳු එකතුවේ චමිලා තුෂාරි බීබීසී සිංහල සේවයට කියන්නේ “සමහර බෝඩිම් වල ළමයි 60-70 එකට ඉන්නවා, සමහර වෙලාවට 100 දෙනෙක් විතර පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ එකම වැසිකිලිය. කෑම කන්න තියෙන්නේ එක මේසයයි. එතකොට ෆැක්ටරියේ මීටරය දුර තියල නියමෙට රෙගුලාසි ක්‍රියාත්මක උනත් වැඩක් නැහැ, ළමයි බෝඩිමට ආවහම තත්වය මේකනම්,” යැයි කියාය.

දිවුලපිටිය කොවිඩ් අසාදනය අපට පෙන්වන අනෙක් යථාර්තය එයයි. දශක ගණනාවක් ඇඟලුම් කම්හලක මහණ මැෂිමක සේවය කිරීම නිසා එක් අතක් හිරි වැටී ගිය සිය මව තවමත් එහි සේවය පිනිස යන බවට දරුවකු විසින් ලියා පළ කර තිබූ අනුවේදනීය සටහනක් මගින් පෙන්වූ යථාර්තයද එයම විය.

මෙම කර්මාන්ත ශාලාවන්හි පවත්නා අමානුශික වැඩ ශෛලීන් ගැන කොපමන ලියා කියා තිබුණද ඉන් වැඩක් වී ඇති බවක් නොපෙනේ. කොවිඩ් වසංගතය නිසා පාවහන් නැතිව වැඩ කිරීමට නියම කර ඇති සමහර කම්හල්හි සේවිකාවන් වැසිකිළි යා යුත්තේද පාවහන් නැතිව බවට වාර්තා තිබේ. ඔවුන්ට රැකියා සුරක්ෂිත බව කියා දෙයක් නැති තරම්ය.

බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඩ් වසංගත පොකුර ගැන නිකුත් කර ලද ප්‍රකාශනයෙහිද එහි සේවයට ගන්නා ලද “මෑන් පවර්” සේවිකාවන් ගැන කියන්නේ ඔවුන් අපේ නොවේ කියාය. මේ වනාහී ඉතාම දුෂ්ඨ ප්‍රකාශයකි. තමන්ගේ ඇග බේරා ගැනීම බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිළිවෙත බව එම නිවේදනය කියාපායි. සේවිකාවන්ගේ රෝගී සෞඛ්‍ය තත්වය තිබියදී ඔවුන් වැඩෙහි යෙදවීම ගැන එය වචනයක්වත් කියන්නේ නැත. ඉතාම පැහැදිලිව පෙනෙන කාරණයක් නම් බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කර නැති බවයි.

කොවිඩ් වසංගතය සම්පූර්නයෙන්ම ලෝකයෙන් දුරු කිරීම දුෂ්කර බව දැන් පොදු පිළිගැනීමක් බවට පත්ව තිබේ. එන්නතක් සොයා ගත්තද එමගින් වෛරසයේ පැවැත්ම අහෝසි නොවනු ඇත. ලෝකයේ කිසිදු රටකට හුදකලා පැවැත්මක් නැති නූතන යුගයෙහි රටින් රටට කොරෝන වෛරසය සම්ප්‍රේශනය වීම වැළැක්විය නොහැකිද වනු ඇත. අප කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ විධික්‍රම හැකිතාක් පිළිපැදිය යුත්තේ ඒ නිසාය. බ්‍රැන්ඩික්ස් ආයතනය එම විධික්‍රම පිළි පැද්දේ නම් මෙම කොව්ඩ් පොකුර මුල් අවස්ථාවෙහිදීම පාලනය කර ගන්නට තිබුණි.

කොවිඩි වසංගතය වනාහී සෞඛ්‍ය ප්‍රශ්ණයක් මිස යුදමය ප්‍රශ්ණයක්ද නොවේ. එය පාලනය කර ගැනීමේ ප්‍රමුඛ වගකීම සෞඛ්‍ය අංශ මත පැවරිය යුත්තේ ද එනිසාය. තවද ජනමාධ්‍ය ප්‍රශ්නයේ හවුල්කරුවකු නොව විසදුමේ හවුල්කරුවකු වීමද අත්‍යවශ්‍ය සාධකයකි.

කණගාටුවකට මෙන් අප තවම ඉන්නේ බොහෝ පසුපසුනි. අප එතැනින් ඉදිරියට ගෙන යාහැකි නායකත්වයක් හෝ බලවේගයක් හෝ නොපෙනේ.

තිත්ත නමුත් ඇත්ත යථාර්තය එයයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya