සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

‛දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන්, රජය සාධනීය තීරණයක් නොගතහොත්, අපි මින් ඉදිරියටත් සටන් කරනවා.’ – මනෝ ගනේසන්


“යාපනය, වවුනියාව, නුවර, කොළඹ, කළුතර, අනුරාධපුර සහ මීගමුව ආදී බන්ධනාගාර වල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අද(24) අපේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරලා තියෙන මේ සත්‍යග්‍රහය අවසන් වන විට, දෙමළ සිරකරුවන් විසින් ආරම්භ කරලා තියෙන සත්‍යග්‍රහයත් අවසන් වීමට නියමිතයි.(මෙම සටහන ලියන මොහොත වන විට දෙමළ දේශපාලන සිරකරැවන් පසුගිය 17 වනදා සිට ආරම්භ කරන ලද උපවාසය මසකට නවතා දමා ඇත – සංස්කාරක) මාසයක් ඇතුළත දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එන බවට අපිට රජය පොරොන්දු වෙලා තියෙනවා. එම මාසය ඇතුළත රජය මේ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අපි විමසිලිමත්ව බලා සිටිනවා. රජය සාධනීය තීරණයක් නොගතහොත් අපි මින් ඉදිරියටත් සටන් කරනවා.”

අද දින (24) දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බලකරමින්, වවුනියාවේදී පැවැත්වෙන සත්‍යග්‍රහය පිළිබඳව, එම සත්‍යග්‍රහයට සහභාගීවන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් වවුනියාවේ සිට මෙලෙස අදහස් දැක්වීය. දෙමළ ජාතික සන්ධානයේ මෙහෙයවීමෙන් දෙමළ පක්ෂ බොහෝ සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් අද උදයේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගනයේදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන ලදී. මෙම සත්‍යග්‍රහයට දෙමළ ජාතික සන්ධානය ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ, පුරවැසි පෙරමුණ මෙම සත්‍යග්‍රහයට සහභාගී විය. බන්ධනාගාරයේ සිටින දෙමළ සිරකරුවන්ගේ ඥාතීන්, දේශපාලඥයන් සහ ජනතාව ඇතුළු 700 ට වැඩි පිරිසක් මෙම සත්‍යග්‍රහට සහභාගී විය. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන මනෝ ගනේෂන්,
“දේශපාලන සිරකරුවො නමින් බන්ධනාගාරවල කිසිම කෙනෙක් නැහැ කියන එක තමයි, ඇමති නිමල් සිරිපාලද සිල්වාගෙ මතය වෙන්නෙ. නමුත් දෙමළ දේශපාලන පක්ෂ වල මතය වන්නේ බන්ධනාගාරවල සිටින දෙමළ සිරකරුවන්, දෙමළ දේශපාලන සිරකරුවන් බවයි. ඒ අයව රජය විසින් මොන ආකාරයට හැඳින්වුවත් ඒක අපිට අදාල නැහැ. අපි කියන්නෙ ඔවුන්ව පොදු සමාව යටතේ නිදහස් කළ යුතු බවයි.”

“දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා කියන්නෙ අපි පමණක් නොවෙයි. දෙමළ දේශපාලන සිරකරුවන් ඇතුළුව, රැඳවුම්භාරයේ සිටින සියලු දෙනාම නිදහස් කරන ලෙස එල්.එල්.ආර්.සී නිර්දේශ වල පවා සඳහන් වෙලා තිබෙනවා. මේක මහින්ද රාජපක්ෂගෙ කොමිසමයි. කොමිසමේ සභාපති ජනාධිපතිගෙ සමීපතම මිත්‍රයෙක්. අනිවාර්යයෙන් මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි. ඒක රජයේ වගකීමක්. මෙය ක්‍රියාත්මක කිරීමට රජයට අපහසු වුවහොත්, ලබන වර්ෂයේ (2013) මාර්තු මාසයේ දී ජිනීවා හිදී රජයට ලැබෙන ප්‍රතිචාරය සුභවාදී වෙන එකක් නැහැ.”