සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධයෙන් පසු සහජීවනය මෙන්න: අවතැන් කඳවුරෙන් වගුරැ බිමට


යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18 තිනක්කුරල් පුවත් පත වාර්තා කරයි. මෙම උත්සාහය වහා නවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ ජනතාවට අයිති ඉඩම් අත්පත් කරගෙන තිබෙන හමුදාව එහි හමුදා කඳවුරු සහ නිවාස සංකීර්ණ ගොඩනගමින් සිටිනවා. එහි නැවත පදිංචි වීමටද අනුමැතිය තවමත් දීලා නැහැ. මේ පිළිබඳව අපි හිටපු ඉන්දියානු විදේශ අමාත්‍යාංශ ලේකම් නිරූපමා රාඕ ඇතුළු බොහෝ උසස් නිළධාරීන්ටද පැමිණිලි කළා. නමුත් මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.”

“පසුගිය 14වනදා, ‛කදිරගාමර්’ සහ ‛ආනන්ද කුමාරස්වාමි’ අවතැන් වූ කඳවුරු වල සිටින ජනතාව බස් වලින් තිරුමුරිගන්ඩි පාසලට රැගෙන විත් තිබෙනවා. මෙම රැස්වීමට ඥාතීන්ගේ නිවාස වල සිටි අවතැන් වූවන් ද සහභාගී වුණා. මෙහිදී හමුදා බ්‍රිගේඩියර්වරුන් සහ නිළධාරීන් ඉදිරියේ ඔට්ටුසුට්ටාන් නියෝජ්‍ය දිසාපති ජනතාව අමතා රැස්වීමක් පැවැත්වුවා.”

“ඒ 9 මාර්ගයේ තිරුමුරිගන්ඩි ‛ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන’ මංසන්ධියේ සිට පැරණි තැපැල් කාර්යාලය දක්වා තිබෙන කිලෝමීටරයක දිග ප්‍රමාණයක් සහ මීටර් 235ක පළලකින් යුත් ඉඩම් ප්‍රමාණයක් නැවත පදිංචි වීම සඳහා වෙන්කර ඇති බව මෙම රැස්වීමේදී දන්වා සිටියා. මෙම ඉඩමේම සියලු දෙනාම නැවත පදිංචි කරන බවත්, මෙම ඉඩම් පිළිගෙන, මින් මතු ඉඩම් ඉල්ලා උද්ඝෝෂනවල නිරත නොවන ලෙසත් ඉල්ලා සිටියා. රැස්වීමට සහභාගී වූ ජනතාව වට කොට සිටි හමුදාව විසින් මෙම ජනතාව වීඩියෝගත කිරීම නිසා ඇති වූ බිය හේතු කොටගෙන, ජනතාව අතරින් කිසිවෙක් යෝජනාව සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් දැක් වූයේ නැහැ.”

“නැවත පදිංචි වීම සඳහා වෙන් කර ඇති මෙම ඉඩම, අඛන්ඩ ජල පහරකට මැදි වූ, කුඹුරක් ආශ්‍රිත ප්‍රදේශයක්. මෙහි ජලය පානය කිරීමටවත් සුදුසු නැහැ. ආණ්ඩුව, තිරුමුරිගන්ඩි ජනතාවට අයිතිව තිබූ ප්‍රදේශයේම ඔවුන්ට ලබා දීමට කටයුතු කළ යුතුයි. මේ පිළිබඳව මුලතිව් දිසාපතිවද අප දැනුවත් කරලා තියෙනවා.”