සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

උතුරේ මිනිසුන් පස්දෙනෙකුට එක් හමුදා භටයෙක්


දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

උතුරු පළාතේ කරන ලද සංචාරයකින් අනතුරුව ඉකොනොමික් ඇන්ඩ් පොලිටිකල් වීක්ලි (Economic and Political Weekly) සඟරාවට ලිපියක් සපයන විශේෂ වාර්තාකරුවෙක් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගේ, ආණ්ඩුවේ සහ හමුදා වෙබ් අඩවිවල පලවූ තොරතුරු විශ්ලේෂණය කරමින් පවසන්නේ අඩුම තරමින් හමුදා භටයන් එක් ලක්ෂ අසූ දහසක් (180,000) වත් එහි රඳවා සිටින බවයි.

නාවුක හමුදා සහ ගුවන් හමුදා භටයන්ද එයට එක්කළ විට එම සංඛ්‍යාව එක් ලක්ෂ අනූ අට දහසක් (198,000) වත් වන බව ඉකොනොමික් ඇන්ඩ් පොලිටිකල් වීක්ලි සඟරාවේ ඇස්තමේන්තුවයි.

ආණ්ඩුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රදේශයෙන් සියයට දාහතරක් වන උතුරු පළාතේ 2011 දී ජනගහණය නම ලක්ෂ අනූ හත් දහස් හත්සිය පනස් හතරක් (9,97,754).

මේ අනුව උතුරු පළාතේ සෑම වැසියන් 5.04 කටම එක් ආරක්ෂක හමුදා භටයෙකු, නො එසේනම් සෑම වැසියන් දහසකටම හමුදා භටයන් 198.4 ක්, රඳවා සිටින බව සඟරාවේ විශේෂ වාර්තාකරු පෙන්වා දෙයි.


ඉරාකය සහ චෙච්නියාව

ලොව බරපතල යුද ගැටුම්වලට මුහුණදුන් අනෙක් කලාප සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාත සංසන්දනය කරන එම සඟරාව පවසන්නේ, 2007 දී ඉරාකයේ පවා රඳවා තිබුනේ පුරවැසියන් දහසකට හමුදා භටයන් විස්සක් බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදා සංඛ්‍යාලේඛනවලින් හෙළිදරවු වන වග.

ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිෆෙන්ස් ඇනලිසිස් (Institute of Defence Analyses) විසින් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරන ලද විශ්ලේෂණයකට අනුව ලොව පුරා දරුණු යුද ගැටුම් පැවති අවස්ථා හතලිස් එකකදීම යුද මෙහෙයුම්වල සාර්ථක භාවය සඳහා අවශ්‍ය වූයේ වැසියන් දහසකට සොල්දාදුවන් හතළිහත් පණහත් අතර ප්‍රමාණයක් (වැසියන් විස්සකට හෝ විසිපහකට එක් සොල්දාදුවෙක්) බව පෙන්වාදෙන සමීක්ෂණය රුසියාව චෙච්නියාවට එරෙහිව දරුණු යුද්ධයක නිරතව සිටි 2003 දීත් චෙච්නියාවේ රඳවා සිටියේ වැසියන් දහසකට සොල්දාදුවන් 150 ක අනුපාතයකින් බව සඳහන් කරයි.

ඉන්දීය සඟරාව පෙන්වාදෙන පරිදි, ඉන්දියාව තවමත් මුහුණ දී සිටින කාශ්මීර ගැටුමේදී කාශ්මීරයේ රඳවා සිටින්නේත් සොල්දාදුවන් ලක්ෂ පහක්.

ඉන්දීය පාලිත කාශ්මීරයේ එක් කෝටි තිස් ලක්ෂයක් වෙසෙන බැවින්, මෙය වැසියන් 26 දෙනෙකුට එක් සොල්දාදුවෙකුගේ අනුපාතයක්.

මේ අනුව යුද්ධය හමාරවී වසර තුනකට පසුවත් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රඳවා සිටින හමුදා භටයන් පිරිස ලෝකයේ ජනගහණයට සාපේක්ෂව වැඩිම සොල්දාදුවන්ගේ අනුපාතය බව ඉන්දීය සඟරාවේ නිගමණයයි.
[By- www.bbc.com]

Photos by – www.elakiri.com