Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

යුද්ධයේ විජයග‍්‍රහණය සැමරීම ප‍්‍රශ්නයක් ද?

132384694_11n[Image Credit:xinhuanet]

යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන් ජයතිලක පසු ගිය දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට ලියමින්, ලෝක ඉතිහාසයේ අවස්ථා හතරක් ගෙනහැර දක්වා තිබුණි.

එකක් වන්නේ, ඇමරිකානු නිදහසයි. වහල් ක‍්‍රමය, පීඩිත ජනවර්ගවලට වෙන්කොට සැළකීම සහ ඇමරිකාව පැටලූණු වියට්නාම් යුද්ධය වැනි, ඇමරිකානු නිදහසෙන් පසු ඇති වූ නිෂේධාත්මක සිදුවීම් තිබියදීත්, ජුලි 4 වැනි දාට යෙදෙන ඇමරිකානු නිදහස් දිනය එරට වැසියන් සමරණ බව සහ සැමරිය යුතු බව ඔහු කියයි. ප‍්‍රංශය ගිලූණු ධවල භීෂණය (ප‍්‍රංශ විප්ලවය අවසන් වූ ආසන්න වසර කිහිපය තුළ සිදුවූ ඝාතන රැල්ල) සහ ඇල්ජීරියානු සටන වැනි නිෂේධනීය අවස්ථා නොසලකමින්, එරට වැසියන් ජුලි 14 වැනි දාට නිදහස් දිනය සමරණ බව සහ සැමරිය යුතු බව ඔහු කියයි. මේ ආකාරයටම, අමානුෂික ගුලැග් කඳවුරු පවත්වාගෙන ගියත් රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයත්, 83 කළු ජුලිය තිබුණත්, අපේ නිදහස් දිනයත්, අප සමරණ බව සහ සැමරිය යුතු බව ඔහු කියයි.

ඉහත කී උදාහරණ අතරින් ලංකාව හැරුණු කොට ඉතිරි සියල්ල, ඓතිහාසික සමාජ/දේශපාලනික විපර්යාසයක් ඇති කෙරුණු සහ ඒ හේතුවෙන් ඒවායේ ඓතිහාසික ගමන් මග තීරණාත්මක මංසන්ධියකින් හරවන ලද අවස්ථාවන් ය. ඒ අතරින්, රුසියාව හැරුණු කොට, අනිත් රටවල් දෙකම, එසේ ඇති කරගත් සමාජ විපර්යාසය, එහි ක‍්‍රමික වර්ධනයක් කරා තවමත් ගෙන යමින් සිටී. රුසියාව අද අර කී බොල්ෂෙවික් විප්ලවය ජාතික පරිමාණයකින් හෝ රාජ්‍ය අනුග‍්‍රහයකින් සමරන්නේ නැත.

මේවා එකකට එකක් සමාන නැති බව අමුතුවෙන් කිව යුතු නැත. විදේශ අධිරාජ්‍යවාදයකින් දිනාගත් නිදහසක් ඇමරිකාව සමරන විට, ප‍්‍රංශය සමරන්නේ, තමන්ගේම වන සමාජ ක‍්‍රමයක් සමග සටන් කොට දිනාගත් නිදහසකි. එහෙත් මේ රටවල් හතරේම එක් සමානත්වයක් තිබේ. එනම්, ඒ සෑම සිදුවීමක්ම තවමත් සමරන්නේ (සහ රුසියාවේ දී මෑතක් වන තෙක් සැමරුවේ) එරටේ ‘ජාතික නිදහස් දිනය’ වශයෙන් බවයි. ඒ කිසි තැනක අද අප වාර්ගික අරුතකින් සලකන ‘ජාතිය’ යන වචනය (සිංහල ජාතිය, දෙමළ ජාතිය ආදී වශයෙන්) අදාල වී නැත.

දැන්, කොටි සංවිධානයේ හමුදාමය පරාජයේ සංවත්සරය යෙදෙන මැයි 19 වැනි දා ලංකා ආණ්ඩුව ඇතුළු දකුණේ ජනතාව සමරන්නේ යුද ජයග‍්‍රහණයකි. ඉහත කී රටවල් තුනේම (ඇමරිකාව, ප‍්‍රංශය සහ රුසියාව) සිවිල් යුද්ධ තත්වයක් අඩු වැඩි වශයෙන් පැවතුණි. එහෙත් ඒ කිසි තැනක අර කී වාර්ගික ‘ජාතිය’ සාධකයක් වුණේ නැත. එහි අදහස වන්නේ, ඒ සෑම සිදුවීමක්ම සමාජමය සහ දේශපාලනික විපර්යාසයන් වූ බවයි. මේ නිසා, ඇමරිකාවේ වියට්නාම් යුද්ධය, ප‍්‍රංශයේ ධවල භීෂනය සහ රුසියාවේ ගුලැග් හෝ ලංකාවේ 83 කළු ජුලිය වැනි සිදුවීම්, එම රටවල ‘ජාතික නිදහස’ සැමරීමට බාධාවක් නොවන්නේය.

ඒ සියල්ලට ප‍්‍රතිපක්ෂව, ලංකාවේ සිදුවුණේ, වාර්ගිකත්වයකින් පන්නරය ලද සහ වාර්ගිකත්වයක් මත පදනම් වූ සිවිල් යුද්ධයකි. ඒකීය රාජ්‍යය සහ බෙදුම්වාදය ඊට කෙලින්ම ගැටගැසී තිබුණි. බෙදුම්වාදය යනු, දවසක් උදේ අවදි වන විට මේ රටේ ජනයා හදිසියේ දුටු ප‍්‍රපංචයක් නොවේ. එය (බෙදුම්වාදී චින්තනය) දීර්ඝ කාලීන ක‍්‍රමික විකාශයක කූටප‍්‍රාප්තියක් වශයෙන් සළකන්නේ නම්, බෙදුම්වාදය පරාජය කිරීම යනු, බෙදුම්වාදය ජනනය කළ එකී තත්වයන් (ජාතීන් අතර අසමානාත්මතාව) පරාජය කිරීමක් විය යුතුය. ලංකාවේ රාජ්‍යය පැත්තෙන් යුද්ධය එන්නේ, එකී ජනනීය අවස්ථාවන්ට ආමන්ත‍්‍රණය කිරීම වළකාලන ප‍්‍රධාන බාධකයක් (දේශපාලන විසඳුමකට ඇති ප‍්‍රධාන බාධයක්: ත‍්‍රස්තවාදය?) ඉවත් කර ගැනීම සඳහා යැයි කියැවුණි. තවත් විදිහකින් කිවහොත්, යුද්ධය යනු ඉෂ්ටාර්ථයක් නොවුණි. 2009 මැයි 19 වැනි දාට පෙර සිටි අපේ නායකයන් කී කතා කෙනෙකු විශ්වාස කරන්නේ නම්, යුද්ධය යනු අර ඉෂ්ටාර්ථය සාක්ෂාත් කර ගැනීමේ ප‍්‍රාථමික මෙවලමක් පමණි.

එහි දී වසර 30 කට ආසන්න කාලයක් තුළ රජයේ ආරක්ෂක අංශවල 15,000 ක පමණ පිරිසක් මියගිය අතර යුද්ධයට සම්බන්ධයක් නැති දෙමළ සිවිල් වැසියන් එමෙන් තුන් ගුණයකට අධික ප‍්‍රමාණයක් සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මියගියේ යැයි කියැවේ. ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක’ සිට දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක බවට අර්ථකථනය කෙරෙන මානවීය සහ භෞතික ආඛ්‍යානය නිර්මාණය වීමේ ආරම්භය, වෙනත් ඓතිහාසික සාධක මොහොතකට පසෙකින් තිබ්බත්, එකී සංඛ්‍යාත්මක වෙනස තුළ අපට හමුවෙයි. එහෙත්, ඕනෑම යුද්ධයක නිසඟයෙන් පවතින විනාශකාරී ස්වභාවය සැලකිල්ලට ගැනීමේ දී, දකුණේ බොහෝ සිංහල-බෞද්ධයන් එම තර්කය බැහැර කිරීමට පිළිවන. ඔවුන්ට අනුව, යුද්ධය මුලින්ම ‘ශූන්‍ය සිවිල් ජීවිත ප‍්‍රමාණයකින්’ පටන්ගෙන පසුව, ‘නොවැළැක්විය හැකි අවම විනාශයකින්’ අවසන් කර ගැනීමට හැකි වූ බව ඔවුන් අපට කියාවි.

මේ නිසා එම සත්භාවය/හේතුවාචකය පරීක්ෂණයට ලක්කළ හැකි ඊළඟ කඩඉමට යාමට අපට සිදුවන්නේය. එනම්, යුද්ධයෙන් පසුව අර ඉහතින් කී ජාතික ප‍්‍රශ්නයට පාලකයන් දක්වන සැලකිල්ලේ ස්වභාවය නිරීක්ෂණය කිරීමයි. උතුරේ අධි ආරක්ෂිත කලාප, මහ පරිමාණ අවතැන් වීම්, තවමත් සිදුවන අතුරුදහන් කිරීම්, එම ජනයාගේ කුදු මහත් පැවැත්ම තුළින්ම නිදහස පාගා දැමීම්, ප‍්‍රදේශය වසා පැතිරෙන පෘථුල හමුදා පාලනය වැනි තත්වයන් ගැන මේ වන විට මාධ්‍ය හරහා ප‍්‍රමාණවත් පරිද්දෙන් වාර්තා වී ඇත. එම නිසා ඒ ගැන මෙහි දී සාකච්ඡා නොකෙරේ. කෙසේ වෙතත්, බාගෙට හෝ කරන ලද නැවත පදිංචි කිරීම් හැරුණු කොට, ඉහතින් කී යුද්ධයේ කඩතුරාව යටතේ ඇත්තෙන්ම එදා අවශ්‍ය කළා යැයි යම් විශ්වසනීයත්වයකින් යුතුව රටට පෙන්නුම් කළ හැකි වූ දේවල් (ආරක්ෂිත කලාප සහ සමාජය කෙරෙහි මුදාහැරෙන හමුදා පාලනය වැනි දේවල්) යුද්ධයේ ජයග‍්‍රාහී අවසානයෙන් සිව් වසරක් ගතව තිබිය දී තවමත් මූලික වෙනසකට භාජනය වී නැති බව අපි කවුරුත් දනිමු. එයින් කියැවෙන්නේ, යුද්ධය අවසන්ව ඇතැ යි කීම, රටේ එක ප‍්‍රදේශයකට (දකුණට) පමණක් වලංගු වන කියමනක් බවයි. උතුරට තවම යුද්ධය අවසන් නැත.

ඒ සියලූ ‘අඩුපාඩුකම්’ නොසලකා, දකුණේ විජයග‍්‍රහණය සැමරීම තුළ ඇති අමානුෂීය පරස්පරය දයාන් වැනි කෙනෙකුට නොවැටහීම පුදුමයකි. ඔහු පෙන්වා දෙන ඉහත කී රටවල ‘ජාතික නිදහස’ සමග අපේ ‘යුද ජයග‍්‍රහණය’ අනන්‍ය විය හැක්කේ එක කොන්දේසියක් යටතේ පමණි. එනම්, එම ‘ජයග‍්‍රහණය’ අපට හෙවත් දකුණට ‘නිදහසක්’ වන තරමටම, ඔවුන්ට හෙවත් උතුරු-නැගෙනහිර දෙමළ වැසියාටත් දැනෙන ස්පර්ශනීය ‘නිදහසක්’ විය යුතු බවයි. එම දිගුවෙන් තොරව දකුණේ සිංහලයා සමරණ ඕනෑම ජයග‍්‍රහණයක්, අනිවාර්යයෙන්ම, ‘අපේ ජයග‍්‍රහණය’ සහ ‘උන්ගේ පරාජය’ යන දෙබෙදුමට ගොදුරු වෙයි. එය, ලංකා රාජ්‍යයේ ජයග‍්‍රහණය සඳහා මැයි 19 තියා ගනිමින්, නෑසියන් සඳහා ශෝක වීමට වෙනත් දිනයක් දෙමළ ජනයාට දීමේ (දයාන් යෝජනා කරන පරිදි) පැලැස්තරයකින් විසඳෙන්නේ නැත.

යුද්ධයේ ජයග‍්‍රහණය පෙරටු කොටගෙන, (13 වැනි සංශෝධනය අහෝසි කිරීමේ සූදානම, උතුරට පළාත් සභා මැතිවරණයක් අවශ්‍ය නැතැ යි කීම සහ පළාත් සභාවක් දෙතත්, පොලිස් සහ ඉඩම් බලතල නොදිය යුතු යැයි කීම හරහා) දෙමළ ජනයාට අපේ පාලකයන් සලකන්නේ කෙසේ ද යන්න ගැන වැටහීමක් ලබා ගැනීමට, එම ජයග‍්‍රහණයේම වාසිය කරට ගෙන සිංහලයාට මේ පාලකයන් සළකන්නේ කෙසේ ද යන්න විමසා බැලීමෙන්, අපට හැකියාව තිබේ. 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ, යුද්ධය අවසන් වන තෙක්, ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව තවත් මුවහත් කිරීමට නිර්භය වුණේ නැත. එහෙත් යුද්ධය අවසන් වූ වහාම ඔහු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. මෙයින් පෙනී යන්නේ, යුද ජයග‍්‍රහණයේ හයියෙන්, දෙමළාට පමණක් නොව සිංහලයාට ද කොකා පෙන්වීමේ පන්නරයක් පාලකයාට ලැබී ඇති බවත්, එය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට ඔහු නොපසුබට වන බවත් ය.

ඒ අනුව සලකන විට, අවුරුදු පතා අප සමරණ යුද්ධයේ විජයග‍්‍රහණය, හැබවින්ම තමන්ගේ පරාජයක් වශයෙන් අද ඥානනය කරන දෙමළාගෙන් දකුණේ සිංහලයා වෙනස් වන්නේ, කාලය නැමැති සාධකයෙන් පමණක් බව තේරුම්ගත යුතුව තිබේ. දැනටමත් නැතොත්, හෙට වන විට අපේ වාරයත් එළැඹෙනු ඇත.

Gamine Viyangoda 2ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda