පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා, වරදකරැවන් කිරීමට ගත් උත්සහයත් පසුව දිගින් දිගටම මුර කපොලුවලදී ඔවුන්ව පරීක්ෂා කරමින් කොළඹට පැමිණීම නවතා දැමීම ට රාජපක්ෂලාගේ නිළ පොලීසියත්, එයට සම්බන්ධ යැයි කියන නිල මැරයිනුත් ගත් උත්සහය පිළිබද මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රභල ලෙස කතාබහට ලක් වෙමින් පවතී.

එසේම, එම තත්ත්වය පිළිබදව සත්‍ය පැහිදිලි කිරීම සදහා 26වන දින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට පෙර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ සුනිල් ජයසේකර මහතාට දුරකතනවිලින් මරණිය තර්ජනය එල්ල කර, වැඩමුලුව සේම, මාධ්‍ය සාකච්ඡාවත් නතර කිරීමට උත්සහ ගත්තේ ද අදාල සිදුවීම්ට සම්බන්ධ මැරයින් බව දැන් පහැදිලි වෙමින් පවතී.

මෙම තත්ත්වය පිළිබදව ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයත්[IFJ], ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා වන කමිටුවත්[CPJ], ඇමරිකානු තානාපති කාර්යාලයත් මේ වනවිට ප්‍රභල ප්‍රකාශ නිකුත් කරමින් ලංකාවේ ‘ජනමාධ්‍ය නිදහස‘ පිලිබද තත්ත්වය ප්‍රශ්න කරමින් තිබේ.

කෙසේ නමුත්, මේ වන විට ද ප්‍රවෘත්ති අමාත්‍යංශය මේ පිළිබදව සෘජුව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. එසේම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඉදිරිපිටට රැස්වූ කුලී විරෝධතාකරැවන් විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට කරන ලද තර්ජන පිළිබදවත් කිසිදු අන්දමක පරීක්ෂණයක් හෝ ප්‍රකාශයක් සිදු කර ඇති බවට මෙතෙක් දැන ගන්නට ලැබී නොමැත.

මේ සිදුවීම්වලින් පෙනී යන්නේ ජනමාධ්‍යවේදීන්ට හිරිහැර වන අන්දමට හැසිරැනු පිරිස් සහ කොළඹදී විරෝධතා දැක්වමින් වැඩමුලු කඩාකප්පල් කළ පිරිස් සෘජුවම පාලකයන්ගේ අනුහසින් මේ මැර ක්‍රියා සිදුකරන බවද?

ගංජා දැමූ නිළ මැරයාත්, මාධ්‍යවේදීන්ට එරෙහිව විරෝධතාවය දැක්වූ කුලී මැරයනුත් නිදැල්ලේ තබා මාධ්‍යවේදීන් පොලීසියට කැදවයි

ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය පසුගිය 28වනදා වාර්තා කර තිබුණේ අදාල සිදුවීමට සම්බන්ධ ජනමාධ්‍යවේදීන් පිරිසකගෙන් 29වනදා එනම් ඊයේ පොලීසිය ප්‍රශ්ණ කිරීමට සූදානම් වන බවයි. කෙසේ නමුත් ඊයේ බීබීසී වර්තා කර තිබුනේ, කොළඹ නගරයේ පැවති මාධ්‍යය වැඩමුළුවකට සහභාගි වීමට යමින් සිටියදී ගංජා රැගෙන ගිය බවට චෝදනා එල්ල වූ යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනාගෙන් තිදෙනෙකු අද(29) අඟහරුවාදා දහවල් ප්‍රශ්න කිරීම පිණිස වවුනියාවේ ඕමන්ත පොලිස් ස්ථානය වෙත කැඳවා තිබෙන බවය.

රාජපක්ෂලාගේ පොලීසිය විසින් සිදු කරන මෙවන් ක්‍රියාවල බියකරැ තත්ත්වය වන්නේ, ගංජා දැමූ මැරයා සහ කොළඹදී තර්ජනය කරමින් මාධ්‍ය වේදීන්ට එරෙහි විරෝධතා දැක්වූ කුලී මැරයින් ගැන කිසිවක් නොකියා පුහුණුවකට සහභාගී වෙමින් සිටි යාපනයේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්ණ කිරීමය. මෙයින් තව දුරටත් පැහැදිලි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන විදික්‍රමයේ ඇති දුර්ධාන්ත බාවය නොවේ ද?.

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය

යුද්ධයෙන් පසුව ජනමාධ්‍යවේදීන් සදහා පුහුණු, වැඩමුලු, සම්මන්ත්‍රණ මේ රටේ විවිද ආයතන විසින් සංවිධානය කර තිබේ. නමුත් පසුගිය කාලයේ නිරීක්ෂණය වූ විශේෂ සිදුවීම නම් උතුරේ සහ නැගෙණහිර දෙමළ භාෂිත මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වන පුහුණු, වැඩමුලු ආදිය, සංවිධානාත්මක පිරිසක් විසින් අවහිර කිරමින්, ඒවා මැඩපැවත්වීමට ප්‍රභල උත්සහයක් ගන්නා බවයි. එය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂණල් ආයතනය විසින් ගිරිතලේත්, මීගමුවේත් සංවිධානය කර තිබු වැඩමුලුවලු දෙකටම බාධා කරමින් එය පැවැත්වීමට නොහැකි වන අන්දමට කටයුතු කලේය. ගිරිතලේදී අදාල හෝටලයට ආරක්ෂක අංශ සෘජුවම මැදිහත් වී එය නවතා දමන ලෙස බලකර ඇති බව වාර්තා විය. එපමණක් ද නොව මීගමුව වැඩමුලුවට කුලී විරෝධකරැවන් පැමිණ තර්ජනය කිරීමෙන් පසුව, එම වැඩමුලුව නවතා දැමීමෙන් පසු උතුරෙන් පැමිණි මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා ඔවුන් පිටත්ව යන තෙක් කොළඹ ගලධාරී හෝටලයේ නවාතැන් ගැනීමට සලස්වා තිබියදී, එදින රාත්‍රියේම හෝටලයෙන් පිටව යන ලෙස බලධාරින් විසින් දැනුම් දීමය. කොළඹ තරැ හෝටලයක නවාතැන් ගත් පිරිසක් කිසිදු හේතුවක් නොදන්වා පිටවන ලෙස දැන්වීම සිදුවන්නේ කෙසේ ද? අනෙක තරැපංතියේ හෝටලයකින් ක්ෂනිකව එළියට ඇද දැමීමට නියෝග කළ හැකි බලවතා කවුද? ලංකාවේ එසේ කළ හැක්කේ කාටද? එවැනි බලයක් මෙතෙක් ප්‍රදර්ශණය කර ඇත්තේ කවුද?

පසුගිය 25/26 සිදුවීමේදී ද එයට සමාන ආකාරය සිදුවිය. යාපනය සිට කොළඹ එන අතරමගදී මාධ්‍යවේදීන් ව සැලසුම් සහගත ලෙස හිරැහැරයට ලක්කිරීමත්, කොළඹදී ඔවුන්ට විරැද්ධවත්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අපහාස වන අන්දමට සැලසුම් සහගතව තර්ජනය කිරීමත් ය. මේ සිදුවීම් සියල්ලම සිදු වූයේ දෙමළ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන, උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදීන්ටය.

මෙයින් පැහැදිලි වන්නේ දෙමළ මිනිසා කෙරෙහි රාජපක්ෂ ආණ්ඩුවේත්, රාජපක්ෂලාගේ කටුකන ජාතිවාදීන්ගේත් ඇති ප්‍රභල විරෝධයයි. යුද්ධය අවසන් කළා දැන් සාමය උතුරා යනවා කීවාත් සත්‍ය ලෙසම ලංකාවේ පවතින තත්ත්වය මේ සිදුවීම් වලින් මනාවට පැහැදිලි වෙමින් තිබේ. උතුරේ දෙමළ මිනිසා දකුණ සමග සිදු කරන සංවාදයට රාජපක්ෂලා දක්වන්නේ ඉමහත් බියකි. එය ඔවුන් මුදා හරින්නේ මෙවැනි සිංහලයා ‘චූන්‘ වෙනවා යැයි හිතන මර්දන වැඩවලිනි. නමුත් රාජපක්ෂලාගේ ඒ ‘මුග්ද ෆැන්ටසිය‘ කුඩු වන්නේ ‘ඇයි අපිට කොළඹ තහණම්ද?‘ යනුවෙන් දෙමළා විසින් නැවතත් ඇසූ දවසටය. ඒ දවස වැඩි ඈතක නම් නැති බව මේ සිදුවීම් වලින් නැවතත් සනාථ වනු ඇත.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය[SLPI} ඉදිරිපිට විරෝධතාවය දැක්වූ කුලී විරෝධතාකරැවන් මෙන්න.

1

3

4

2