[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..]

ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම් නිදහස් කිරීමට පියවර ගත්තේ සංදර්ශණාත්මක බවකුත් එයට එක් කරමිනි. එය ඉතාමත් ඉදිරිගාමී තත්ත්වයකි.

නමුත් අද වන විට එම ආරම්භය දියාරු වෙමින් තිබියදී, නැවතත් දෙමළ ජනයාගේ ඉඩම් නාවික හමුදාව පවරා ගැනීමට සැරසෙන බව පසුගියදා මුලතිව් ප්‍රදේශයේදී අත්දුටුවේය.

එසේ තිබියදී ජනාධීපතිවරයා පසුගියදා යාපනයේ අවතැන් කදවුරු තුළට යමින් එම මිනිසුන් සමග කුලුපඟ වෙමින් කතා කළත් එහි සංදර්ශනයකට වඩා වැඩි යමක් ඇත් දැයි යාපනයේ ද, මුලතිව් හීද, මන්නාරමේ ද ඇතුලු ප්‍රදේශවල ඉඩම් පිළිබද ප්‍ර‍ශ්නයට සිය මිලිටරි බලය භාවිතා කරමින් මැදිහත් වන නාවික හමුදාව ඇතුලු ආරක්ෂක අංශවල හැසිරීමෙන් මතු වන ප්‍ර‍ශ්ණයයි.

ජනාධිපතිවරයා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරුවල මිනිසුන්ගේ ඉඩම් වත් මේ වන විට නිදහස් කර නැතැයි වලිගාමම් උතුර ප්‍රාදේශිය සභා සභාපති එස්. සුකිර්දන් ග්ලෝබල් ටැමිල් පුවත් සේවය සමග පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

‘නව ආණ්ඩුව පැමිණි පසු වලිගාමම් උතුර හා වලිගාමම් නැගෙනහිර ප්‍රදේශවල අක්කර 1000කදී ජනතාවට නැවැත පදිංචිවීම අවසර ලබාදී තිබේ. දැනට වලිගාමම් උතුර හා වලිගාමම් නැගෙනහිර ප්‍රදේශවලින් අක්කර 701.5ක ඉඩම් නිදහස් කරන බවට පවසා තිබූ නමුත් මෙතෙක් නිදහස් කර තිබෙන්නේ අක්කර 690ක් පමණයි. යාපනයේ අධි ආරක්‍ෂක කලාපයන් ලෙස අක්කර 5710ක ඉඩම් ප්‍රමාණයක් තිබේ. වලිගාමම් උතුරේ අක්කර 5500ක්ද වලිගාමම් නැගෙනහිරෙන් අක්කර 210ක්ද නිදහස් කළ යුතුය. අවතැන් කඳවුරුවල සිටින ජනතාවගේ ඉඩම් නිදහස් කර නෑ. අවතැන්වූ ජනතාව කඳවුරු 38කදී ජීවත්වෙනවා. ජනාධිපතිවරයා යාපනයෙහි සංචාරය කළ අවස්ථාවේදී මෙම කඳවුරු ජනතාවගේ ගැටළු තවත් මාස හයකින් විසඳා දෙන බවට පොරොන්දු උනා. ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි වසර 25කට අධික කාලයක් කඳවුරුවල ජීවත් වෙන මෙම ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳා දිය යුතු යැයි වලිගාමම් උතුර ප්‍රාදේශිය සභා සභාපති එස්. සුකිර්දන් වැඩිදුරටත් පවසා තිබේ.‘