කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහම්බ්දීන් තවමත් අත්අඩංගුවේය. පසුගිය මැයි මස 24දා වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා ලද්දේ වත්කම් පිළිබද ප්‍රශ්ණයක් නිසා බව පොලීසිය පැවසුවත්, ‘සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කිරීම පිළිබද ප්‍රශ්ණ කිරීමට’ යැයි කුරුණැගල නියෝජ්‍ය පොලිස්පතිවරයා උපුටා දක්වමින් දිවයින සහ ලංකාදීප වැනි පුවත්පත් වාර්තා කලේය.

ඉන්පසු අද දක්වාම, සාමාජජාලවල ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥයෝ ද, දිවයින ඇතුලු බොහෝ මාධ්‍යවල ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥ වාර්තාකරුවෝ ද පතරාංග ලිපිවලින් වෛද්‍ය සාෆි පිළිබද විග්‍රහයන් ඉදිරිපත් කරමින් තිබේ. කෙසේ නමුත් වෛද්‍ය සාෆි විසින් හිතාමතාම කාන්තාවන්ට දරුඵල ලැබීමේ අවස්ථා අහිමිකර ඇති බවට විද්‍යානූකුලව තහවරු වුවහොත් ඔහුට නීතියෙන් දඩුවම් කිරීම සිදුකල යුතුය. නමුත් විද්‍යාවත්, නීතියත් දෙකම අර්ථකතනය කර ‘තීන්දූ දීමේ’ ක්‍රියාවලියක නිරත වන භික්ෂුන් සහ වාර්තාකරුවන් නිසා, ව්‍යාකූල තත්ත්වයක් රට තුළ නිර්මාණය කරමින් ඇත්තේ උග්‍ර වර්ගවාදී සහ ජාතිවාදී මුහුණුවරකිනි. නමුත් මේ සටහන ලියන මොහොත වන විටත් කිසිදු මවකට වෛද්‍ය සාෆි විසින්, පැලෝපීය නාලය අවහිර කර හෝ එවැනි දෙයකින් දරුඵල ලැබීමේ අවස්ථා අහිමි කර ඇති බවට විද්‍යාත්මකව ඔප්පු වී නැත. ඒ පිළිබද සේවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පත්කල විශේෂඥ කමිටුව සිය අතුරුවාර්තාවක් නිකුත් කරමින් කියා ඇත්තේ, පරික්ෂණ සදහා පහසුකම් අවශ්‍ය බවයි.

වෛද්‍ය මතය අනුව පැලෝපීය නාල පරීක්ෂා කිරීම ඉතා අපහසු දෙයක් නොවේ. ඒ පිළිබද මේ වන විටද වෛද්‍යවරුන් පෙන්වා දි තිබේ. නමුත් තත්ත්වය අර්ථකනය කිරීමටත්, වෛද්‍ය විද්‍යානුකූලව නිර්වචනය කිරීමටත්, කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පිළිගත් සාක්ෂියකින් තොරව(මේවන විට) චෝදනා කිරීමටත්, භික්ෂූන් මෙන්ම මාධ්‍ය ද කටයුතු කිරීම එක් පසකින් කෙරෙනවා යැයි කියන පරීක්ෂණ සදහා බාධකයකි. මේ පිළිබදව විශේෂ අදහස් දැක්වීමක් සිදුකරන බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරන වෛද්‍ය පියල් පෙරේරා උපුටා දක්වමි. “සාෆීට දඬුවම් දීමට අවශ්‍යවන්නේ එකම එක සිද්ධියක් විද්‍යානුකූලව ඔප්පු කරගැනීම පමණයි. එය එසේ වන විට අප නොදන්නා සාෆිලාද නිරාවරණය වනු ඇත. එසේම මේ ක්‍රමය වෙනස්කොට අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රවල ඉන්නා සාෆිලාද කොටු කර ගත හැකිය.”

සිදුකල යුත්තේ එය නොවේද?

මේ සිදුවීම් තුළින් මුස්ලිම් වෛද්‍යවරුන් කෙරෙහි සමාජය තුල ඇති කරනු ලබන භීතිය නිසා නැවත වරක් අප සමාජය ගැඹුරු ඛාදනයකට ලක්විය හැකිය. මෙය ඉතා බියකරු ප්‍රවණාතාවයක් වශයෙන් හදුනාගැනීමට අප සමාජයට තවමත් නොහැකි වී තිබේ. එසේම මේ තුළින් ජාතිවාදීන් විසින් කරළියට ගෙන එනු ලබන මුස්ලිම්-විරෝධී විසකුරු න්‍යාය පත්‍රය එකමිටට ගෙන විනාශ කල යුතුව ඇත. එසේ නොවුනහොත් එහි ගොදුරු බවට පත්වන්නේ එක් ජාතියක් හෝ එක් ආගමක් නොවන බව අප අවබෝධ කර ගත යුතුය. එම තත්ත්වය පරාජය කිරීමට නොහැකි වුවහොත් ඒ විසකුරු න්‍යායපත්‍රය හමුවේ අප සියල්ලන්ම ගොදුරු බවට පත්වනු ඇත. (අප වෛද්‍ය විද්‍යාවේ දැනුම් ඇත්තෝ නොවෙමු. එහෙත්, මේ පිළිබදව අදහස් දක්වන, බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරන වෛද්‍ය පියල් පෙරේරා දක්වන අදහස් සදහා කියවන්න)

ආශාවේ ෆැන්ටසිය

මේ සිදුවීමේදී ජාතිවාදී කණ්ඩායම්වල ‘ආශාව’ සාෆි ‘මව්වරුන් වදභාවයට පත්කර ඇත’ යන්න ඔවුන් විසින් ඔවුන්ගේ අවිද්‍යාත්මක ඔලුගෙඩි තුල රෝපණය කර ගෙන හමාරය. එයට කිසිදු විද්‍යාත්මක දත්ත හෝ තොරතුරු ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. කෙටියෙන් කිවහොත්, එම ජාතිවාදීන්ගේ ‘ආශාවේ ෆැන්ටසිය’ බිදගන්නට ඔව්න් කැමති නැත. ඒ ෆැන්ටසිය බිඳ වැටුනහොත් ඔවුන්ට පැවැත්මක් නැති බව ඔවුන් හොදින් දන්නා කරුණක් නිසාය. වකුගඩු රෝගය හා සම්බන්ධයෙන් ‘නාථ’ දෙවියන් උදව් කලා යැයි කියන මහාචාර්යවරුන් ද ඔවුන්ගේ ‘අශාව’ වෙනුවෙන් වෙහෙසෙන ගමන්, ඒ කියන මිනිසුන්ගේ ආශාව වෙනුවෙන් බොහෝ දේවල් කරමින් ඇත. එය තවත් පැත්තකින් ඔවුන්ගේ ‘ආශාව’ තවත් කුල්මත් කිරීමට හේතු වී ඇත. නමුත් ඔවුන් නොදන්නා කරුණක් නම් ‘ආශාව’ බුද්ධිගෝචර නැත යන්නය. එය ඔවුන්ට අවශ්‍ය වන්නේ ද නැත. එම නිසාම ඒ ‘ආශාව’ මේ මොහොතේ ජාතිවාදය තරමටම බියකරුය.

තවත් උදාහරනයක් ගතහොත්, උතුරේ මව්වරුන් සිය දරුවන්, සැමියන්, සිය අත්දෙකෙන්ම 2009 මැයි 16-17 වැනි දිනවල රජයේ ආරක්ෂක හමුදාවට බාර දුන් පසු අදටත් ඔවුන් අතුරුදහන් වී තිබීම දකුණේ බොහෝ දෙනෙක් පිළිගන්නට අකමැති සත්‍යකි. එයට එක් හේතුවක් වන්නේ රජයේ හමුදාව හෙවත් ‘රණවිරුවන්’ පිළිබද දකුණේ බොහෝ දෙනෙක් සිතීමට කැමති ආකාරය නිසායි. ඒ කියන්නෙ ‘රණවිරුවන්’ කුමන අපරාධය සිදුකලත් ඔවුන් එම අපරාධය සිදුකලා යැයි සිතීමට ඔවුන්ගේ මණස ඉඩ දෙන්නේ නැත. ඒ ඔවුන් දැකීමට සහ සීතිමට කැමති ‘රණවිරුවා’ නැමති රූපකය පිළිබද ඇති පෙර සිට තනාගත් අදහස් පද්ධතිය නිසාය. ඒ අදහස් පද්ධතිය ගොඩනගා ඇත්තේම ‘ආශාව’ මුල්කර ගෙනය. ඒ නිසා දරුවන් පැහැරගැනීම්, දරුවන් දූෂණය කර අධිකරණයෙන් සිරගෙට නියම වූ හමුදා සොල්දාදුවන් තවමත් ඔවුන්ට කිසිදු වරදක් නොකරන බබාලා වන්නේ ඒ ඔවුන්ගේ ‘ෆැන්ටසිමය ආශාව’ නිසාය.

ඒ අශාව නම ‘අපේ හමුදාව කිසි දිනක එවන දෙයක් සිදු කරන්නේ නැත’ යන සිතිවිල්ල පිළිබඳ ඇති අශාවය. ඒ ආශාව බිඳ ගන්නට ඔවුන් සූදානම් නැත. ඒ නිසා ඒ ආශාව බිඳීමට සිය සත්‍ය අත්දැකීම, සාක්ෂි ඉදිරිපත් කරන උතුරේ මව්වරුන් දකුණේ බොහෝ දෙනාට ද්‍රෝහීන්ය. නැතිනම් ත්‍රස්තවාදීන්ය.

‘නාරි හා ප්‍රසව එක බලාගන්න, ඉන්ටර්නෙට් එකේ ඇනටොමි බැලුවට පස්සෙ මේ ඔක්කොම පේනවා, ළමයා හම්බවෙන්නේ කොහොමද ඔක්කොම අද තියනවා. අද මේ සාමාන්‍ය දැනුම ලබා ගන්න, එකේ මොකද්ද තියෙන්නේ, ඒකේ ජෙල් එක කොයි වගේද? ඒකේ සීමන් කොහොමද යන්නේ ඔක්කොම ටික අද අධ්‍යනය කරන්න පුලුවන්, බොහොම ලස්සනට. ඇනටොමි කියලා ලෙසන්ස් තියනවා. සාෆි සාබ්දීන්ගේ ප්‍රශ්ණය ආවට පස්සේ තමයි අපි පැලෝපීය නාලය ඉගෙන ගත්තේ. මමත් දන්නේ නෑ තමයි. ඉස්කෝලේ පොඩි කාලේ, මෙහෙම එකක් ඇන්දා මතකයි හතේ පංතියේ. පිරිවෙන කාලේ අපි ඉගෙන ගත්තෙවත් නෑ ඕවා. අට වෙනකං මම ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඒ කාලේ මට මතකයි ඔහොම දෙපැත්තට ඇදලා, පොඩි අර මෙහෙම මල් මල් වගේ උඩ කෑල්ලක් අදිනවා මට මතකයි. හැබැයි විශේෂඥ වෛද්‍යවරයෙක් ඇවිල්ලා මට පැය 2කක දේශණයක් දුන්නා. මම ඉගෙන ගත්තා ඒක. කොලේක ලියාගෙන. අනටොමි පොතක් ගෙනල්ලා…. මට පැය 2කකින් සාමාන්‍යනේ මේක ඉගෙන ගන්න පුලුවන් උනා.’ මේ නාටකයේ ප්‍රධාන නලුවෙක් වන රතන භික්ෂුව ප්‍රකාශ කරයි. ඒ රතන භික්ෂුව සිය ‘ආශාව’ බිදගැනීමට තිබෙන බිය නිසා ආශාව තෘප්ත කර ගන්නට ගන්නා තවත් උත්සහයක ට උදාහරණයකි.[හිරු ටීවී හි රතන හිමිගේ සම්පූර්ණ වැඩසටහන බලන්න]

එම නිසා වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවල දත්ත සහ තොරතුරු අනුව වෛද්‍ය සාෆි නිවැරදි පුද්ගලයෙක් වුවත් මුස්ලිම් මිනිසා සම්බන්ධයෙන් වන එවැනි ජාතිවාදීන්ගේ ‘ආශාව’ නිසා ඔවුන් ඒ තත්ත්වය පිළිගැනීමට මැලිකමක් දැක්වීමට හැකියාවක් ඇත. ඒ ඒ ‘ආශාව’ බිඳ ගැනීමට ඇති අකමැත්ත නිසාත්, එයින් ඔවුන්ගේ පැවැත්ම ක්ෂනිකයෙන් අර්බුදයට යන නිසාත්ය.

වෛද්‍ය සාෆි පිළිබඳ මෙ පුවත පළකල දිවයින පුවත්පතම එම සතියේම, අලුත්ගම ආසන්නයේ ව්‍යාපාරිකයෙක් ගේ නිවසකින් තනපට විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත්, එහි කාන්තාවන් වඳ භාවයට පත්කරන ජෙල් වර්ගයක් ඇති බවත් වාර්තා කලේය. පසුව පොලීසිය විසින් ඒවා අත්අඩංගුවට ගත්තේය. පුවතට විශාල ප්‍රතිචාරයක් ලැබිණි. පසුව එම තනපටවල කිසිදු අහිතකර ජෙල් වර්ගයක් නැති බවට රජයේ රස පරීක්ෂක වාර්තා කලේය. අත්අඩගංගුවට ගත් පුද්ගලයාද, තනපටද නිදහස් කලේය. මෙවැනි අවිද්‍යාත්මක අදහස් පසුගිය කාලය පුරාම ඥාණසාර ඇතුලු භික්ෂුන් සහ තවත් පිරිස් විසින් සමාජ ගත කර තිබුණු අතර ඒ පිළිබද විශේෂඥයින් විද්‍යාත්මක තත්ත්වයන් මත පිහිටා ප්‍රකාශ කර සිටියේ එවැන්නක් සිදු නොකල හැකි බවයි. නමුත් දිගින් දිගටම විශේෂයෙන් ‘මුස්ලිම්’ ජාතිකයින් ඉලක්ක කර ගනිමින් එවැනි විවිධ අන්දමේ ප්‍රවෘත්ති සහ කටකතා පැතිරවීම නතර වූයේ නැත. මෙයත් එහි තවත් දිගුවකි. ඒ දිවයින පුවත්පතේ ‘ආශාව’ ය. ඔවුන්ගේ ආශාව ‘තනපටවල රසායන ද්‍රව්‍ය එක්කර වඳ කළ හැකිය’ යන්න ය. එය සමාජ ගත කිරිමය. එයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. අවම මාධ්‍ය ආචාරධර්මයක්වත් අවශ්‍ය වන්නේ නැත.

මේ ‘ආශාව’ කොතරම් බියකරුද? ඒ තරමට ඔවුන් විසින් ඔවුන්ගේ ආශාව තෘප්ත කර ගැනීමට ඕනෑම ජඩ වැඩක් කිරීමට ඔවුන් සූදානම් ය.

එබැවින් අප තෙරුම් ගත යුත්තේ ජාතිවාදය, වර්ගවාදය තරම්ම මේ ‘ආශාව’ බියකරු බවය. එය සමාජය ගෙන යන්නේ දත්ත සහ තොරතුරු මත ඉදිරියට නොව පසුපසට බවයි. එම තත්ත්වය පරාජය කිරීම අද දවසේ ප්‍රමුඛම කාර්යක් බව අලුතින් අවබෝධ කර ගත යුතු නැත. එය සිදුකල යුතුම දෙයකි.