iMage: VIKALPA

පාස්කු ඉරිදා ප්‍රහාරය හැරුණ විට මෑත කාලයෙහි ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගයන් අතර අවිශ්වාසය සහ සිංහල බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධය ඇවිල යාමට හේතු වූ කාරණය නම් දෝසතර සාෆීට විරුද්ධව දිවයින පුවත්පත, කරුණෑගල නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ කුරුනෑගල රජයේ රෝහලෙහි ප්‍රධානියකු මූලික වී ගෙන ගිය ඊනියා වඳ සැත්කම් ප්‍රචාරයයි. පංසිල් සහ සැබෑ බුදුදහම මිනිසුන්ට ගල් ගසා මැරීමට අනුබල දෙන්නේ නැති වුවත් ශ්‍රී ලංකා බුද්ධාගමේ ඉතිහාසයෙහි මිනී මැරීම සාධාරණ කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. මෙම ප්‍රශ්ණය විමසා බැලීමෙන් මෙරට ජනවාර්ගික ගැටුම් ඇති කිරීමට මූලික වී සිටින දේශපාලන බලවේගයන් තේරුම් ගත හැක.

එළඹෙන ජනාධිපතිවරණයෙහි දී රාජපක්ෂවරුන්ගේ පොදු ජන පෙරමුණ බලයට ගෙන ආ යුතුම යැයි දේශණා කළ අස්ගිරි නාහිමි වරකාගොඩ ඥාණරතන එම අවස්ථාවේහිදීම තවත් ප්‍රකාශයක් කළේ ය. එනම් ලක්ෂයක් සිංහල බෞද්ධ දරුවන් උපදින්නටත් පෙර ඝාතනය කළ බවට(අභූත) චෝදනාවන්ට ලක් වූ එම වෛද්‍යවරයාට ගල් ගසා මරා දැමිය යුතු බවයි. එසේ කළ යුතු යැයි එහිමියන්ට කියා ඇත්තේ පංසිල් සමාදන්ව සීලයෙහි පිහිටා සිටි උපාසිකාවන් පිරිසකි.

තම අනුගාමිකයකු බව පෙනෙන ඥණරතන හිමි කළ එම සාහසික ප්‍රකාශය සම්බන්ධයෙන් රාජපක්ෂවරු කටක් ඇර කතා කලේ නැත.

පංසිල් සහ සැබෑ බුදුදහම මිනිසුන්ට ගල් ගසා මැරීමට අනුබල දෙන්නේ නැති වුවත් ශ්‍රී ලංකා බුද්ධාගමේ ඉතිහාසයෙහි මිනී මැරීම සාධාරණ කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. ශ්‍රී ලංකා බෞද්ධ සාහිත්‍යට අනුව දුටුගැමුණූ රජුට මහරහතන් වහන්සේලා දුන් අනුශාසනාවක් වූයේ යුද්ධයේදී මියගිය සියලු දෙමළ ජාතිකයින් මිනිසුන් නොව තිරිසනුන් බැවින් ඉන් පවක් සිදු නොවූ බව ය. සමහර විට අස්ගිරි නාහිමි කල්පනා කරනවා ඇත්තේ ද එම සාහිත්‍යයට අනුව ය.

දොස්තර සාෆිට විරුද්ධ මෙම චෝදනා ඉදිරිපත් කිරීමට මූලික වු අයකු වන්නේ වීරවංශ පාක්ෂික සහ රාජපක්ෂවාදී වෛද්‍ය අධිකාරිවරයෙකි. රාජපක්ෂ දේශපාලනයේ ‘බුද්ධිමත්’ තීරුව නියෝජනය කරන වන්න ජයසුමන, දොස්තර සාෆි සම්බන්ධ ව්‍යාජ කටකතා පැතිරවීමේ මූලික‍යෙක් විය. ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ ව්‍යාපාරයේ ද මූලිකයෙකි.

දොස්තර සාෆි අත්අඩංඟුවට ගත්තේ අයථා ලෙස මුදල් ඉපයීම ගැන චෝදනා කරමිනි. එවැනි චෝදනාවන්ට ලක් වූ දේශපාලුවන් දුසිම් ගණන් සිටින නමුත් ඒ කිසිවකු එළෙස අත්අඩංඟුවට ගෙන නැත. එපමණක් නොව දොස්තර සාෆි ට එරෙහිව නඟන ලද වඳ සැත්කම් චෝදනා කිසිවක් දැන් සනාථ වී ද නැත.

එසේ වෙතත් සාෆි දඬුකදේ යැවීම අරමුණු කර ගනිමින් රාජපක්ෂවාදී කතුවරයකු යටතේ ඇති එජාප ආණ්ඩුවේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයාගේ පවුලට අයත් ඉරිදා ලංකාදීපය වාර්තාවක් පළ කරමින් කියා සිටියේ කුරුණෑගල රෝහලේම විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍ය සාෆි බේරා ගැනීමට කටයුතු කරන බවත් එහි විශේෂය මේ වෛද්‍යවරුන් සිංහලවීම බවත් ය.

එපමණක් නොව සාෆි විසින් වද බෙහෙත් කැවූ වටලප්පම් බෙදා දී ඇති බවටත්, ඔහුගේ දියණියන් සැක කටයුතු සනීපාරක්ෂක තුවා බෙදා දී ඇති බවටත් ව්‍යාජ පුවත් නිර්මාණය කර පළ කරන ලද්දේ ද රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසිනි.

මෙම ව්‍යාජ පුවත පළ වූ අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් කීවේ එවැනි වඳ සැත්කම් කරනු ලැබ ඇත්නම් ඒ් මව්වරුන්ට වන්දි ගෙවිය යුතු බවය. එම ප්‍රකාශය වක්‍රලෙස මෙම ව්‍යාජ පුවත සාධාරණය කරන්නක් විය.

රාජපක්ෂ දේශපාලනයේ තවත් කටකාරයකු වන ගම්මන්පිළ පුවත්පත් සාකච්ජාවක් තබා කීවේ, ටික කළකදී මෙරට මුස්ලිම් ළමුන් සිංහල දරුවන්ගේ සංඛ්‍යාව ඉක්මවා යනු ඇති බවය. සියයට 74ක් වන සිංහල ජනගහනය පරදා සියයට 9ක් වන මුස්ලිම් ජනගමහනයේ දරුවන් ප්‍රමාණය ඉක්ම යන්නේ කෙසේ දැයි කිසිදු රාජපක්ෂවරයකු ප්‍රශ්ණ කළේ නැත. මෙම අසත්‍ය සහ වෛරී ප්‍රකාශය මගින් මෙරට මුස්ලිම් දරුවන් කොතරම් අපහසුතාවයකට පත්වන්නේදැයි රාජපක්ෂ දරුවන් කල්පනා කරන්නට ද නැත.

රාජපක්ෂවරුන්ගේ හොදම දේශපාලන කටකාරයා වන වීරවංශගේ වෙබ් අඩවිය මෙරට මුස්ලිම් ජනතාව ගැන වෛර සහ අසත්‍ය පුවත් පළ කරන ප්‍රධානතම ප්‍රචාරක ආයතනයකි. රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයෙහි ඔහුගේ උපදේශකවරයකු විසින් සංස්කරණය කරනු ලබන දිවයින පුවත්පත තරම් ව්‍යාජ පුවත් මගින් ජනවාර්ගික ගිනි අවුලුවන වෙනත් මාධ්‍යයක් නැති තරම් ය. දොස්තර සාෆි පිළිබඳ ව්‍යාජ පුවත පතුරුවන ලද්දේ ද මෙම රාජපක්ෂවාදී කතුවරයා විසිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට පසු මීගමුව අවට පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයන් පිටුපස ද ප්‍රාදේශීය රාජපක්ෂවාදී ප්‍රධානීන් සිටියහ.

රාජපක්ෂවරුන්ගේ තවත් හයිකාරයකු වන ගාමිනී ලොකුගේ දිවයින පුවත හරහා මෙරට රජයේ ප්‍රධාන පෙළේ රෝහල් තුනක් අසළ සත්කාරක සේවා පවත්වාගෙන ගිය ජනපෝෂ වැඩසටහන විසින්, කෑම දී සිංහල කාන්තාවන් වඳ බවට පත් කරන වැඩපිළිවෙළක් යැයි ප්‍රචාරයකට මුල පිරුවේ ය. මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් පවත්වාගෙන ගිය මෙම සත්කාරක සේවාව කිසිදු වෙනසකින් තොරව ප්‍රතිකාර ගැනීමට එන දුගී ජනපිරිස් වෙත දිනකට ආහාර වේල් 2000ක් පමණ නොමිලයේ ලබා දෙමින් සිටියේ ය. එහි ආහාර සිංහල හෝ මුස්ලිම් හෝ කියා වෙනසක් තිබුණේ නැත. ගාමිණි ලොකුගේ ගේ එම ප්‍රකාශය නිසා තම සත්කාරක සේවාවට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් පසුගිය 25 දා සිට එම සේවාව අවසන් කරන ලදී.

තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරා අවසන් බව නිවේදනය කළ නලින් ද සිල්වා කියා සිටින්නේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කරන බවයි. ඔහුට අවශ්‍ය ශ්‍රී ලංකාව 1815 කරා ගෙනයාමට ය. පෙනෙන විදිහට රාජපක්ෂවරුන්ගේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති ගෝඨාභය රාජපක්ෂ වටා ඉන්නේ නලින්ද සිල්වා, වන්න ජයසුමන යනාදීන් නම් ශ්‍රී ලංකාවට අබ සරණය.

එකක් පැහැදිළි ය. එනම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසු ඇවිල ගිය විවිධාකර මුස්ලිම් විරෝධී ක්‍රියා සහ රාජපක්ෂ දේශපාලනය අතර සම්බන්ධයක් ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය ඊට වඩා හොද යැයි මින් අදහස් කෙරෙන්නේ නැත.

දැන් අප හමුවේ ඇති ප්‍රශ්ණය නම් අද රට පුරාම මෙළෙස මෙරට මුස්ලිම් ජනයා තෙවන පංතියේ පුරවැසියන් ලෙස පීඩනයට ලක් කිරීමට සිය අනුගාමිකයින් පෙළඹවීම මගින් රාජපක්ෂවරු දිනා ගන්නට යන්නේ කුමක්ද යන්නයි. මෙළෙස පීඩනයට ලක්වන මුස්ලිම් ජනයාගේ තරුණ පරම්පරාව කුමන දේශපාලනයක් තෝරා ගැනීමට ඉඩ ඇත්ද යන්නයි.

මුස්ලිම් විරෝධී ප්‍රචාර සහ ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිටින්නේ මර නින්දකය. ජනතා විමුක්ති පෙරමුණ හොර ගල් අහුලයි. පොදු ජන පෙරමුණ තනිකරම මුස්ලිම් විරෝධී දේශපාලනයක ය.

මෙම තත්වය යටතේ වත්මන් මුස්ලිම් තරුණ ජනයා ඔවුන්ගේ මාපිය පරම්පරාවන්ට වඩා හුදකලාවාදී සහ සිත් පෑරුණු පරම්පරාවක් වනු ඇත. සිය නායකයින් ගැන ද ඔවුන් කළ කිරෙන්නට හොඳටම ඉඩ තිබේ.

ඉස්ලාමීය අන්තවාදය කැරෙන් පැන නගින අයිසිස් පන්නයේ ත්‍රස්තවාදය අද මෙරට මුහුණ දෙන ප්‍රධානතම මහජන ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්ණයකි. එම අනතුරු අවම කර ගත හැක්කේ මුස්ලිම් ජනයා වාර්ගික පීඩාවන්ට පත් කිරීමෙන් නොව ඔවුන්ට ශ්‍රී ලංකාවෙහි සමාන පුරවැසියන් ලෙස ජීවත්වන්නට මඟ සැලසීමෙනි. රාජපක්ෂ දේශපාලනය ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධව ය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ක්ෂණික ප්‍රතිචාරය විය යුතුව තිබූ සමගිය සහ අනෝන්‍ය රැකවරණය සදහා වූ හඩ මෙරට පැන නැගුණේ නැත. දැන් සිදුවෙමින් පවතින්නේ එවැනි මෙහොතක් නිර්මාණය කැරෙනු වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට රට ගෙන යෑමය. ඉන් කිසිවකුට, අවසාන විග්‍රහයේදී වාසියක් අත්වීමට ඉඩක් නැත.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya