iMAGE:Medium

මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ  සමාජ, දේශපාලන සහ ආර්ථික ආස්ථානය සම්පුර්ණ ලෙසම  වෙනස් කොට තිබේ. එයින් පැන නැගී ගිය අවශේෂ සමාජ කාරණා මත පෙර නොවූ විරූ අන්දමින් මෙරටේ සමාජ කතිකාවත් වල දිශානතීන් වෙනස් වී තිබේ. එයින් පැන නැගී වඩාත්ම විවාදාපන්න සංවාදයකින් එකක් නම්  ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ අදහසයි.

කාලයකට පෙර  සම්මතව තිබුණත් , ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ පනත සම්බන්ධයෙන් අත්‍යන්ත වශයෙන්  ගිලිහි ගිය මහජන අවධානය පසුගිය කාලය පුරා, පැනනැගී සුවිශේෂී තත්වයන් හමුවේ රාජ්‍ය තන්ත්‍රය විසින් එය ප්‍රකාශනයේ නිදහස සිමා කිරීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කිරීම  හේතුවෙන් නැවත කරළියට පැමිණ තිබේ.

ඒ අනුව විකල්ප (vikalpa.org) වෙබ් අඩවිය  විසින් “ ICCPR සහ ප්‍රකාශනයේ නිදහස”  මැයෙන් ඉහත කි කරුණු හා සම්මුඛව 2019 ජුලි මස 23 වන අගහරුවාදා දින සවස 4 සිට 6 දක්වා, කොළඹ 7, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල රැස්විම් ශාලාවේදී  සංවාදයක් සැලසුම් කොට තිබේ.

එහිදී නීතිඥ  ලක්ෂාන් ඩයස් ,නිර්මාණවේදීනී නදිකා බණ්ඩාර,නිර්මාණවේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල සහ සමාජ ක්‍රියාකාරික දමිත් චන්දිමාල් යන අය මුලික අදහස් දැක්වීමට නියමිතය.

මේ සඳහා සහභාගී වීමට විකල්ප පාඨක ඔබ සැමට අපි ඉතා ගෞරවයෙන් ඇරයුම් කොට සිටිමු. (ආසන සීමිතය).