දඩුවම් දීම යනු අපරාධ මැඩලීම සහ පුද්ගල චර්යා හැඩගැසවීම උදෙසා වන අවසානාත්මක මෙවලමක් විනා මූලික ම මෙවලම නොවේ. දඩුවම් දීමෙන් අපරාධ රැල්ල මැඩපැවැත්වීමට ඇති හැකියාව පිළිබද ඉහළ විශ්වාසයක් තැබීය ජනප‍්‍රිය ධාරාවේ පිළිගැලනීමට ලක්ව ඇති කුතර්කයක ‘ඒ කුතර්කයට අනුව අපරාධ මැඩපැවැත්වීමට ගොස් සමාජ පරිදේහය හානි කරගත් රටකට මෑතකාලයේ හොදම නිදසුන පිලිපීනයය‘. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගු ඩූටර්ටේ(Rodrigo Duterte) මත්ද‍්‍රව්‍යයට එරෙහි යුද්ධයක් (War on Drugs) නිර්මාණය කර 28000ක මිනිස් ප‍්‍රජාවක් ඝාතනය කිරීමට අණ දුන්නේය. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඩෙුට‍්‍රසේ හදුන්වන්නේ ජනඝාතකයෙකු ලෙසය. එහෙත් පිලීපීන ඉසුරුමතුන්ගේ අනූභාවයෙන් පෝෂණය වන මත්ද්‍රවය්‍ය ජාල එරට තවමත් යහමින් වැජඹේ. මත්ද‍්‍රව්‍යට එරෙහි යුද්ධයෙන් මැරුම් කෑ බහුතරය සමාජයේ පහළම තීරුවට අයත් පිරිමිය. වින්දිතභාවයට පත්ව තිබෙන්නේ ද එම සමාජතීරුවේම ගැහැණුය. දරුවන්ය. පිරිමින් මරාදමන ‐ ගැහැනුන් නොමරා මරන (සෑම යුද්ධයකටම අදාළ ප‍්‍රත්‍යක්ෂ තීසීසය) පිලිපීන මත්ද‍්‍රව්‍යයට එරෙහි යුද්ධයට මත්ද‍්‍රව්‍ය පිළිබද ප‍්‍රශ්නය සාර්ථක අවසානයකට ලගා කිරීමට නොහැකිවූවා පමණක් නොව අතිරේක සමාජ අසහනයකට ඇද දමා තිබේ.

අනෙක් අතින් පුද්ගල චර්යාව හැඩගැස්වීමට අරමුණෙන් මරණය උත්තරයක් ලෙස යෝජනා කරන්නේ නම් ඉන් පෙනෙන්නේ එම රාජ්‍යත් සමාජයත් ගමන් ආරම්භ කර ඇත්තේ වර්තමානයෙන් අතීතය දෙසට වැටී ඇති ගෝත‍්‍රිකත්වය දෙසට බවයි. එය මෙතෙක් මිනිසා අත්පත්කරගෙන ඇති සියලු මානව සංවර්ධන ගුණාංගයන්ට නිගා කිරීමකි. ශතවර්ෂ ගණනාවක් පුරා මිනිසා අත්පත්කරගෙන ඇති මානවවාදී චින්තන ප‍්‍රාග්ධනයට කරන බලවත් නින්දාවකි. රාජ්‍යයේ පරිමිතියෙන් ගෙන බලන විට සමාජ ප‍්‍රශ්න හමුවේ නිර්මාණශීලී විසදුම් සෙවීමට රාජ්‍ය දක්වන අසමත්කමේ ප‍්‍රමාණය නිරූපනය කිරීමකි.

මරණ දණ්ඩනය මෙරට කාලයෙන් කාලයට අධිනිෂ්චිත වන හා කාලය විසින්ම වැදගත්කමේ අගය තනුක කරන සකච්ඡාවකි. ශ‍්‍රී ලංකාව තුළ මරණ දඬවුම නැවත ක‍්‍රියාත්මක කිරීම ගැන ඇතිවන සමාජ සංවාදයන්හි ස්වභාවය අධ්‍යනය කිරීමේ දී පෙනී යන ප‍්‍රධාන කරුණක් නම් මීට පක්ෂ සමාජ මතය හැඩගැස්වීම කෙරෙහි ඉහළ යන මත්ද‍්‍රව්‍යය, අපරාධ සහ පාතාල ක‍්‍රියාකාරකම් පිළිබඳ වන උද්යෝගී මාධ්‍ය භාවිතය මේ සදහා තීරණාත්මක බලපෑමක් කරන බවයි. විශේෂයෙන්ම හිට්ලර් වැනි පාලකයන් අයදින නව සිංහල බෞද්ධ සංකේතවාදය (Neo-Sinhala Buddhist Symbolism) තුළ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමටත්, එමගින් තම දේශපාලනික පෞරෂය පින්තාරු කරගැනීමට උත්සහ කරන වර්තමාන ජනාධිපති වැනි අසාර්ථක පාලකයන්ට මෙම තීරණාත්මක සාධකවල බලපෑමෙන් මිදීමට නොහැකි වී තිබේ.

ජනාධිපතිවරයා මරණ දඩුවම සමාජගත කිරීමේ දැඩි උත්සයක නිරත වෙමින් තිබේ. මරණ දඩුවමේ අනුරාගයෙන් මුළු සමාජයම වෙලා දැමීමේ සූක්ෂ්ම උත්සහයක නිරතවෙමින් සිටී. මරණ දඩුවම අහෝසි කිරීමට උත්සහ කිරීම යනු මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ මොහොතේ ලබාගෙන ඇති ජයග‍්‍රහණයක් බව ජනාධිපතිවරයා පසුගිය දා චෝදනා කළේය. මරණ දඩුවම මුළුමනින්ම අහෝසිවන දිනය ජාතික ශෝක දිනයක් විය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. මේ ප‍්‍රකාශ එකිනෙක ගෙන බලන විට මෛත‍්‍රීපාල යනු මරණ දඩුවමේ අනුරාගයෙන් තම දේශපාලනික මතවාද සකස් කරගත් හා ඉන් නොනැවතී එම මතය සමාජගත කිරීමට තමා වටා ගොඩනැගී තිබෙන සංඛේතීය දේශපාලන බලය (Symbolic Political Power) හිරිකිතයකින් තොරව පාවිච්චි කරන නායකයෙකු බවට පත් වී හමාරය. එහෙත් ජනාධිපතිවරයා බොහෝ සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න හමුවේ ඉදිරිපත් කර අසාර්ථක හා නොවියත් විසදුම් මෙන්ම මේ විසදුම ද සමාජයක් ලෙස ප‍්‍රතික්ෂේප කිරීමට තරම් සමාජය අවබෝධයෙන් අප මැදහත් තැනකට පැමිණිය යුතුය.

මරණය හුදු පිළිගැනීමකි

දඩුවම් දීමේන් අපාරධකරුවන් භියට පත් කෙරේ. ඒ අනුව දඩුවමේ තීව‍්‍රතාව වැඩි කිරීමෙන් අපරාධකරුවන් තව තවත් භියට පත් කිරීමෙන් අපරාධ රහිත සමාජයක් බිහිකළ හැකි බව සමාජයේ යම් තාක් දුරට පිළිගැනීමට ලක්ව තිබෙන මතයකි. දඩුවම් දීමේ අරමුණු පහක් අපරාධ විද්‍යාව අධ්‍යනයේදී හමුවේ. දඬුවම කෙරෙහි ඇතිකරවන බිය නසා අනාගත අපරාධ නිවාරණය(Deterrence) අපරාධකරුවන් සමාජයෙන් ඈත්කිරීම තුළින් අපරාධකරුවන් නිෂ්ක‍්‍රීය කිරීම (Incapacitation) පුනරුත්තාපනය (Rehabilitation), වින්දිත පාර්ශවය අතින් සිදුවිය හැකි ද්වේෂ සහගත පළිගැනම් වැළැක්වීම (Retribution) සහ හානි පූර්ණය (Restitution) එම අරමුණුය.

මේ අරමුණු අතරින් මරණ දඬවුම ලබාදීම තුළින් ඉටුකරගත හැක්කේ අපරාධකරුවා නිශ්ක‍්‍රීය කිරීම පමණි. එය වැරදිකරුවන් සමාජයෙන් අතුගා දැමීමෙන් සමාජයක් යහපත් වේය යන්න බලාපොරොත්තු වීමකි. තමන්ගේ මනසට දැනෙන කුමන තරමේ හෝ වේදනාවක් අනෙකාගේ මරණය දැක එමගින් සහනයක් බවට පත්කරගැනීම මනුෂ්‍ය ආශාව වන්නේ නම් එවැනි මිනිසුන් වසන සමාජයක් ”ඇසට ඇස” ”දතට දත” ඉල්ලන ගෝත‍්‍රික සමාජයට දෙසට ගමන් කිරීම බලාපොරොත්තු විය යුතුය. මරණ දඩුවම ලබන පුද්ගලයාට යළි වතාවක් නිවැරදි වී සමාජගත වීමේ අවස්ථාව අහිමිව යන්නේය. පුද්ගලයෙකු යම් විශේෂිත අවස්ථාවකදී අපරාධයක් කළ පමණින් ඔහුගේ ජීවිතය හා සම්බන්ධ සියලු අයිතීන් නිෂ්ක‍්‍රීයකරණය කොතරම් දුරට සාධාරණීකරණය කළ හැකිද? පසුගියදා මරණ දණ්ඩනයට ලක්ව සිටියදීම පශ්චාත් උපාධිධාරියෙකු වූ ඉන්දික බමුණුසිංහ වැනි සිරකරුවන් ජනාධිපතිවරයා මෙන්ම ඔහු අයත් වන ජන සමාජයේද මරණ දඩුවම සම්බන්ධයෙන් පිළිගැණුනු ජනප‍්‍රිය මතවාද ප‍්‍රශ්නයට ලක් කළේය.

අනෙක් අතට වින්දිතභාවයට පත්වූවන්ට ඇති වූ කායික හා මානසික පාඩුවට පළිගැනීම මගින් යම් සහනයක් උදාකරගත හැකිය. පළිගැනීම මගින් තමන් මානසිකව සතුටු තෘප්තිමත්භාවයට පත්වීම වූ කලී දියුණු මානව බුද්ධියට තවත් අතකින් නිගරු කිරීමකි. එසේම මරණ දවුවම වැනි අපරිවර්තී (නැවත හැරවීමට නොහැකි) දඩුවමක් නීති පද්ධතියක් තුළ අධිනිෂ්චිත වීම සමස්ත සමාජයම ඇදගෙන යන්නේ සෞදි අරාබියානු නීති ක‍්‍රමයේ කෲරත්වය දෙසටය.

නූතන අපරාධ විද්‍යාව පිළිගැනෙන්නේ දඩුවමේ තීව‍්‍රතාවය වැඩි කිරීම හා සමාජයක අපරාධ ප‍්‍රමාණය අඩුවීම අතර නියත් හේතුඵල සම්බන්ධයක් නොමැති බවයි. 2008 වසරේ ලොව ප‍්‍රකට අපරාධවේදීන් 76 දෙනෙකුගේ වෘත්තීය අත්දැකීම් සම්පීඩනය කර ප‍්‍රකාශයට පත් කළ මරණ දඩුවම දීමෙන් මීනිමැරුම් අනුපාතය අඩු වී ඇත්ද? (Does Execution of Capital Punishment Lower Homicide Rate?) පර්යේෂණ පත‍්‍රිකාව 88.2% තරම් අපරාධවේදීන් මරණ දඩුවම දීම සහ සමාජයක අපරාධ රේට්ටුව අඩුවීම අතර සෘජු සම්බන්ධයක් නොමැති බව විශ්වාස කරන බව දක්වයි.

මේ සම්බන්ධයෙන් තවත් කරුණක් දැක්විය හැකිය. ජනාධිපතිවරයා මරණ දඩුවම නැවත් ක‍්‍රියාත්මක කිරීම මගින් සමාජයක් අපරාධ විරහිත රාජ්‍යයක් බිහිවන බව විශ්වාස කළත් ඇත්තටම සිදුවන්නේ එහි විලෝමයයි. ඇමරිකානු එෆ්.බී.අයි 1990 සිට 2016 දක්වා වසර 26ක් එරට සෑම ප‍්‍රාන්තයකම අපරාධ රටාව නිරීක්ෂණය කර (Report of Federal Bureau of Investigation) සමීක්ෂණ වාර්තාව නිකුත් කළේය. එම වාර්තාවේ සැළකිය යුතු අවධානයක් ලැබූ කරුණ වූයේ එක්සත් ජනපදයේ මරණ දඬවුම පවතින ප‍්‍රාන්තයනහි වාර්තාගත මිනිමැරුම් අනුපාතය මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවන ප‍්‍රාන්තවලට අනුපාතයට සාපේක්ෂව වැඩි බව අනාවරණය විය.

නීතිය මගින් දණ්ඩනය සමාජයේ අධිනිෂ්චිත කර බලහත්කාරය යොදවා මරණ දඩුවම පැනවීමට හැකිය. එහෙත් නීතිය සමග බැදී තිබෙන දණ්ඩනය කෲර ස්වභාවය නිසාම සමාජයේ නෛතික සාහසිකත්වයක් (දැඩි නීතිය යටතේ දඩුවමක් පැනවීම මගින් එම නිසා ඇතිවන සමාජ ආතතිය විසින්ම අපරාධ රේට්ටුව වැඩිවීම) ගොඩනැගීම බලපොරොත්තු විය යුත්තකි.

දණ්ඩනයේ අවශ්‍යතාවය

ලංකාවේ පුද්ගලයෙකුට මරණයෙන් දඩුවම් කළ හැකි නිති දෙකකි. පළමුවැන්න දණ්ඩනීති සංග‍්‍රහයයි. දෙවැන්න විෂ වර්ග හා අනතුරුදායක ඖෂධ පනතයි. දැනට පවතින දණ්ඩ නීති සංග‍්‍රය ඉන්දියාව වෙනුවෙන් මැකෝලේ කොමිසම සකස් කරන ලද දණ්ඩ නීති සංග‍්‍රහ කෙටුම්පත ආශ‍්‍රයෙන් සකස් කරන ලද නීතියකි. මැකොලේ කොමිෂම ආසියානු රටවලට මරණ දණ්ඩනය නීතියෙන් ඉඩ විවර කරන විට ඉංග‍්‍රීසි සමාජය තුළ මරණ දඩුවම මුළුමනින් අහෝසිකිරීම හා තවදුරටත් පවත්වා ගැනීමේ අදහස් කදවුරු අතර ප‍්‍රබල විවාදයක් පැනනැගී තිබුණි. 17 වන සියවසයේදී මරණයෙන් දඩුවම් කළ හැකි වැරදි 200ක් එරට දණ්ඩ නීතිය තුළ දක්නට ලැබුන ද 1860 වන විට මනුෂ්‍ය ඝාතනය හා රාජ්‍ය ද්‍රෝහීත්වය යන වැරදි දෙක සදහා පමණක් මරණ දඩුවම පැනවීම දක්වා සීමාකරගැනීමට ඉංග‍්‍රීසි සමාජයට හැකිවිය. (Society’s Final Solution: A History and Discussion of the Death Penalty, L. Randa, edi¬tor, University Press of America, 1997)

1833 පනවන ලද ශ‍්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ පහත වැරදි 7 ක් සදහා පුද්ගලයෙකුට මරණයෙන් දඩුවම් කිරීමට හැකිය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් බවට පත් කරන වැරදි (294 වගන්තිය), මිනීමැරුම (296 වගන්තිය), සිය පන හානිකර ගැනීමට අනුබල දීම (299 වගන්තිය), මරණීය වරදකට වරදකාරයා කරවීමේ අදහසින් බොරු සාක්ෂි දීම හෝ සෑදීම (191 වගන්තිය) රජතුමාට විරුද්ධව යුද්ධය කිරීම, යුද්ධ කිරීමට තැත් කීම හෝ යුද්ධ කිරීමට අනුබල දීම (114 වගන්තිය), කැරලි ගැසීමට අනුබල දීම එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කැරලි ගැසීම සිදුවීම 129 (වගන්තිය) හා 296 වගන්තිය සමග කියවිය යුතු අනුබල දීම එම වැරදිය.

ක‍්‍රි.ව 1800-1850 කාලය ඇතුළත එංගලන්ත ඉංග‍්‍රීසි සමාජයේ තුළ මරණ දඩුවම අහෝසිකරණයේ මතවාදය (Abolitionist View) ජයගෙන තිබුණි. එම මතවාදය තුළින් ඉන්දීය හා ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහ අධ්‍යනය කරන විට ඉංග‍්‍රීසින් ආසියානු සමාජවලට දායාද කළ නීති අහෝසිකරණ මතවාදය අනුව සකස් කළ ඒවා නොවන බව පෙනේ. 1883 දණ්ඩ නීති සංග‍්‍රහය මෙරට නීතිය බවට පත් කරන විට ඉංග‍්‍රීසි නීතියේ පිළිගත් දණ්ඩන රාමුවට වඩා පුළුල් පරාසයක් දක්වා මෙරට නීතිය විසුරුවා තිබේ. එනම් මෙම නීති පැනවීමේදී සාම්ප‍්‍රදායික වික්ටෝරියානු සමාජය ආසියානු සමාජය තෙරුම්ගත් අචීර්ණ කල්පික ආකල්පයෙන් බැහැරට නොගිය බව පෙනේ.

වික්ටෝරියානු අධිනිෂ්චිතය වූයේ ආසියානු සමාජයේ මිනිස් ඇවතුම් පැවතුම් ප‍්‍රාථමික හා නොදියුණු තත්වයේ පවතින බවයි. එවැනි නොදියුණු පරිනාමික ලකුණු ඇති සමාජයක් දඩුවමෙන්ම පාලනය කළ යුතුය යන අදහසින් මරණ දඩුවම වැනි ම්ලේච්ඡ සමාජයක පමණක් ඇගයීමට ලක්වන මරණය වැනි දඩුවම් ක‍්‍රමයක් ආසියානු දණ්ඩන නීතියේ පුළුල්පරාසයක් දක්වා හදුන්වා දෙන්නට ඇත.

වෙනත් ඕනෑම නීතියකින් මරණ දඩුවම පැනවීම පිටුපස තිබෙන්නේ ද සම්ප‍්‍රදායික කොම්ප‍්‍රදොරු වික්ටෝරියානු සමාජයේ මුල්බැසගෙන තිබූ පැරණි මතවාදවල න්ෂ්ඨාවශේෂ ය. එය නූතන ලෝකයේ මානව සංවර්ධනය් සමග සංගත වීමක් ලෙස සැළකීමට නොහැකිය. අනෙක් අතට ජනාධිපතිවරයා කල්පනා කරන ආකාරයට මරණ දඩුවම පවතින දණ්ඩ නීතිය බවට පත්කිරීමෙන් මත්ද‍්‍රව්‍ය රැල්ල මැඩපැවැත්වීමට හැකිය. එහෙත් මත්ද‍්‍රව්‍ය ජාවාරම මෙරට සුපිරිමත් පැලැන්තියක් යටතේ පොෂණය වන බව සමාජයේ තරව මුල්බැසගෙන ඇති මතයකි.

මරණ දඩුවම පිළිබද මුල්කාලීනව ඉන්දීය දේශපාලන පරිමණ්ඩලයේ ගොඩනැගුණු ව්‍යවස්ථා සභා සංවාදයකදී මහාචාර්ය ශිබාන් ලාල් සස්සේනා පහත උත්ප‍්‍රාස්ත්මක ප‍්‍රකාශයක් කළේය.

”මාගේ අදහසට අනුව මරණ දඩුවමින් මිදීමට උත්සහ කරන්නෙකුට නැවත් වතාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමට නෛසර්ගික අයිතියක් තිබේ. නමුත් මා දැක ඇති ආකාරයට ඉතා දුප්පත් මිනිසුන්ට මෙම නෛසර්ගික අයිතිය අහිමිය. ඔවුන්ට දක්ෂ නීතීඥ මහතුන්ට ගෙවීමට වත්මකම් නැත. එම අයිතිය ලැබෙන්නේ තමාගේ මුදල් බලයෙන් තමන්ගේ ජීවිතය ස්වර්ගය දක්වා ගෙනයා හැකි ධනවතුන්ට පමණි.”

(Constituent Assembly Debates on 3 June, 1949 Part II, available at http://parliamentofindia.nic.in/ls/debates/vol8p15b.htm)

ආර්ථික සාධක හේතුවෙන් දක්ෂ නීතිඥ සහය ලබා ගැනීමට අපොහොසත්වීම, නීති ආධාර සේවාවේ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයේ ගැටලු, බොරු පැමිණිලි ගොනු කිරීම්, පොලිස් පරීක්ෂණ අතර ඇතිවන බලහත්කාරී ප‍්‍රකාශ ලබා ගැනීම් වැනි යුක්තිය අක‍්‍රීයකරන බාධක මගහැර යුක්තිය සක‍්‍රීය කිරීමේ අභියෝග මරණ දඩුවම පැනවීමෙන් සාධාරණ සමාජයක අපේක්ෂා කළ හැකිද?

ක්ෂයව යන දඩුවමක්

මරණ දඩුවම සාධාරණිකරණය කිරීමට ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ ගමනක යෙදෙන ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයක් උදෘත කර දැක්වීමට මෛත‍්‍රී ජනාධිපතිවරයා අමතක නොකළේය. ට‍්‍රම්ප් ජනාධිපති ඇමරිකාවේ සියලු ප‍්‍රාන්තවල මරණ දඩුවම නීතිගත කිරීමට නීති සැකසීමට අවධානය යොමු කර ඇති බව මෛත‍්‍රී ජනාධිපති කියයි. ප‍්‍රකාශයේ මූලාශ‍්‍ර ගැන කිසිදු සදහනක් නැත. කරුණු මගින් සමාජය නොමග යැවීමකි. අනෙක් අතට ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිමණ්ඩලයෙන් (American Democratic Sphere) වේගයෙන් ප‍්‍රතික්ෂේප වෙමින් සිටින ට‍්‍රම්පියානු අදහස් ණයට ගැනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ ගමනක තමන් නිරත වෙමින් සිටින බව අපේ ජනාධිපතිවරයා ද සංඥා කරයි.

එහෙත් ලෝක ප‍්‍රවනතාවය වෙමින් තිබෙන්නේ මරණ දඩුවම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීමයි. ඓතිහාසිකව සිදුවී තිබෙන්නේද මරණ දණ්ඩනයේ පරිමිතිය සීමාකිරීමයි. අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳ ප‍්‍රකාශනයෙහි (ICCPR) 6 වගන්තිය ගැබිනි කාන්තාවන් හා වයස 18 ට අඩු ළමා විත්තිකරුවන්ට එරෙහි මරණ දඬවුම පැනවීම් තහනම් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශයේ වගන්ති 37(අ) (Convention on the Rights of the Child) යටතේ වයස අවු 18 ට අඩු පුද්ගලයෙක් අතින සිදුවන වරදක් කෙරෙහි මරණයෙන් දඬවුම් කිරිම වළක්වා ඇත. ඒක්සත් ජනපදයේ උපරිමාධිකරණය විසින් 2002 වසරේදී ලබා දුන Atkin V. Virginia නඩු තීන්දුවෙන් බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ට එරෙහිව මරණ දඬවුම ක‍්‍රියාත්මක කිරීම ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරන ලදී. 2015 පත්කළ 262 වැනි ඉන්දීය නීති කොමිෂන් සභා වාර්තාව කලාතුරකිනුත් කලාතුරකින් මරණ දඩුවම ක‍්‍රියාත්මක කළ යුතුය යන පොදු ප‍්‍රමිතිය (Rarest Rare Standard) ඉන්දීය දණ්ඩ නීතියේ මූලික නියාමය විය යුතු බව සදහන් කරයි.

2007.12.18 එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල ප‍්‍රධානත්වයෙන් සම්මත කළ 62/149 සම්මුතිය ප‍්‍රකාර පාර්ශවකාර රාජ්‍ය මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීම තම දණ්ඩ නීතියෙන් ඉවත් කිරීමට නීතියෙන් බැදිය යුතුවේ. ශ‍්‍රී ලංකාව ද මෙම සම්මුතියේ පාර්ශවකරුවෙකි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 195 න් (2018 නොවැම්බර් වන විට) මරණ දඬවුම පිළිගනිමින් ක‍්‍රියාත්මක කරන රටවල් 54 කි රටවල් 29 ක් නීතියෙන් පිළිගන්නා නමුත් වසර 10ක් තුල ක‍්‍රියාත්මක කර නොමැත. රටවල් 07 ක් යුද්ධ අපරාධ වැනි චෝදනාවන්ට හැර අනෙකුත් වරදවල් සඳහා මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරයි. රටවල් 105 නීති ප‍්‍රකාරව මරණ දඩුවම තම නීති පද්ධතියෙන් ඉවත් කර තිබේ. ලෝක ප‍්‍රවනතාවය මෙසේ වන විට ගෝලීය දැනුමෙන් සීමාසහිත අපගේ ජනාධිපතිවරයාගේ ඩුටෙ‍්‍රස් චින්තනය තවමත් ක‍්‍රියාත්මක වන්නේ වර්තමානයෙන් අතීතය දෙසටය.

ධනුෂ්ක සිල්වා[Dhanushka Silva] සහ විශ්ව ජයවීර[Vishwa Jayaweera]