යුද්ධයෙන් පසුව කරලියට පැමිණි එක් සංවිධාන වර්ගයක මූලික දිශානතිය වූයේ මුස්ලිම් විරෝධයයි. බලසේනා, බලය ආදී විවිධ නම්වලින් ඇරූඨ වූ එම සංවිධාන මුස්ලිම්වරුන්ට එරෙහි වෛරි ප්‍රකාශ සිදු කරමින්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල ජනතාව පෙළඹවීමට උත්සහා කලෝය. එය දර්ගා නගරයේ සිට මිනුවන්ගොඩ දක්වා ඇවිලී ගිය ඒ වෛරී ගින්න එහි ප්‍රධානතම ඵලයයි. ඊට අමතරව ඇතැම් ස්ථානවල මුස්ලිම්වරුන්ට අයත් ව්‍යපාරික ස්ථාන ගිනි ගන්නා ලද්දේ කිසිදු හේතුවකින් තොරවය. මිනුවන්ගොඩ, දිගන ආදී ප්‍රදේශවල ඇති කල ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මුස්ලිම්වරුන්ගේ දේපලවලට හානි කරන මැරයන් දෙස ඇතැම් පොලීසියේ සහ හමුදාවේ සාමාජිකයන් බලා සිටියෝය. ඒ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මුස්ලිම්වරුන්ගේ දේපල මෙන්ම ජීවිත ද විනාශ විය. දර්ගා සිට මිනුවන්ගොඩ දක්වා වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කිසිවෙකුත් මේ වන විට ද නීතිය හමුවට ගෙන ඒමට බලධාරින්ට නොහැකි වි තිබේ. අවම වශයෙන් දර්ගා වල සිදු කරන ලද ව්‍යසනයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා යැයි කියමින් බලයට පැමිණි, යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා, අධිකරණය විසින් බන්ධනාගාර ගතකර සිටි චීවරධාරියෙක්ට(ඔහු බන්ධනාගාරගත කර සිටියේ වෙනත් කරුණක් නිසාය) ජනාධිපති සමාව දුන්නේය. යහපාලන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු කුප්‍රකට එම චීවරධාරියාගේ සුවදුක් විමසීමට සිරමැදිරි තුළට පවා ගියෝය. මුස්ලිම්වරුන්ට එරෙහිව පැතිර ගිය ප්‍රචණ්ඩත්ය සමයේ කුප්‍රකට ගායකයෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රාත්‍රියේ සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය. පොලු මුගුරු රැගත් පිරිස් කහ සිවුරු ඇදගත් චිවරධාරීන් සමග පැමිණ ප්‍රචණ්ඩත්වය මුදාහල හැටි ප්‍රසිද්ධ ය. මේ බොහෝමයක් ප්‍රචන්ඩක්‍රියා පිටුපස සිටි සංවිධාන, කණ්ඩායම් ඒවා ආරම්භක අවධියේ පෝෂණය කරනු ලැබුවේ, හෝ ආරක්ෂා කරනු ලැබුවේ පැවති ආණ්ඩුවල ප්‍රධානීන් බව නොරහසක්ය. කෙසේ නමුත්, පැවති සියලු පාලනයන් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට සිදු කලේ ඔවුන්ව ආරක්ෂා කිරීමය. එසේත් නැතිනම් සිදුකරන ප්‍රචණ්ඩ, වෛරී ක්‍රියා නොදැක්කා සේ සිටීමය. සෑම පාලනයක්ම එසේ සිදු කරන ලද්දේ සිංහල ජනයාගේ ඡන්ද වලට ඇති, ‘අති-පේරේතකම’ නිසාය. ඒ බවද දැන් හෙළිදරව් වෙමින් තිබේ.

දර්ගාවේ සිට සෑම තැනකදීම වෛරී ප්‍රකාශ සිදුකරමින්, ජාතීන් අතර සහෝදරත්වය පලුදු කරමින්, අධිකරණයට ද අපහාස කරමින්, වින්දිත ස්ත්‍රීන්ට අධිකරණයන් තුළ බැනවදිමින්, එහෙත් අධිකණය දුන් දඩුවම විදිමින් සිටියදී හිටපු ජනාධිපති සිරිසේන විසින් ‘බෞද්ධයා වෙනුවෙන් සිදුකල මෙහෙවර’ උදෙසා ජනාධිපති සමාව ලබා දුන් බොදු බල සංවිධානයේ ඥාණසාර ‘සාධු’ මෙසේ කියයි.

“අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශීර්වාදය පළ කරනවා………………………………………. දැන් සිංහලයන්ට නායකයෙක් ඉන්නවා. රටට නායකයෙක් ඉන්නවා. දැන් අපිට නටන්න උද්ඝෝෂණ කරන්න වෙන එකක් නෑ…………….. සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ එය මිත්‍යාවක් බවට පත්වුණා………………… රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ සංවිධානය විසුරුවා හරිනවා”

(සම්පූර්ණ කතාව බලන්න SiyathaFm / VIDEO )

ඔහු කියන ඇතැම් කොටස් නැවත උපුටා දක්වමි. ‘අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා.’ – ‘දැන් සිංහලයන්ට නායකයෙක් ඉන්නවා’ – ‘දැන් අපිට නටන්න උද්ඝෝෂණ කරන්න වෙන එකක් නෑ’ – ‘ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ සංවිධානය විසුරුවා හරිනවා’ දැන් මේ ප්‍රකාශ සහ පවතින දේශපාලන අදහස් එකිනෙක මත තබා කියවා ගතහොත් සිහියක් ඇති ඕනෑම ‘මනුෂ්‍යයෙක්ට’ සත්‍ය වැටහෙනු ඇත. එසේම බුදුන් වහන්සේ වදාල ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා‘ යන්න ඥාණසාර කියන ‘දැන් සිංහලයන්ට නායකයෙක්..’ යන්න එකිනෙකට තබා කියවා ගන්න. එවිට නිවැරදි බුද්ධ පුත්‍රයන් ඔබට හදුනා ගත හැකි වනු ඇත.

එබැවින් සිදුවී ඇත්තේ මෙයයි. ‘කොන්තරාත්තුව ඉවර උනාම බාස් ලා ගෙදර යා යුතුය’ බාස් ලා ට තව දුරටත් කන්න බොන්න දී, ආරක්ෂාව දී, සියලු සැප සම්පත් ලබා දී බාස් ලා නඩත්තු කිරීම වැඩකට නැති දෙයකි. එබැවින් ඔවුන් ගෙදර යා යුතුය. (නැතිනම් වෙන කොන්තරාත්තුවක් බාර දිය යුතුය.)

නමුත් එක් දෙයක් අප මතක තබා ගත යුතුය. එම බාස් ලා විසින් ගොඩනගා ඇති ඒ විසල් නිවස, කොතරම් ශක්තිමත් යැයි පෙනුන ද, කොතරම් දැකුම්කළු යැයි පෙනුන ද එහි අර්බුදය සමාජය ඉදිරියේ නිරාවරණය විමට එතරම් කාලයක් ගතවන්නේ නැත. එය එසේ වන්නේ, ඒ සුවිසල් නිවස යට වළදමා ඇති ‘මිනිස් වේදනාවන්’ විසින් ම එම නිවස අර්බුදයට ඇද දමන නිසාය. යුක්තිය ඉටු නොවුනු ඒ මිනිස් වේදනාවන් විසින් බාස් ලා ට මෙන්ම බාස් ලා ට කොන්තරාතුව දුන් කොන්තරාත් කරුවන්ට ද සුවසේ නිදන්නටවත් හැකියවක් ලබා දෙන්නේ නැත. සැම විටම ඒ මිනිස් වේදනාවන් ඔවුන්ගේ හෘදසාක්ෂියට තට්ටු කරනු ඇත. දිනෙන් දිනම ඔවුන් වේදනාවටත්, බියටත් පත් කරනු ඇත. ඒ බිය සමාජයෙන් වසන් කරනු පිණිස කොක්හඩලා සිනාසීම එයට දක්වන එක් ප්‍රතික්‍රියාවකි. ගොඩනගා ඇති ඒ නිවසේ අස්සක් මුල්ලක් නෑර ඒ මිනිස් වේදනාවන්ගේ දුක් මුසු විලාපය විසින් නිවසේ අභ්‍යන්තරය ක්‍රමයෙන් විනාශය කරා ගෙන යනු ඇත. එය ඇතැම්විට නැවුම් බලාපොරොත්තුවක සිහිනය වන්නටත්, එසේත් නැතිනම්, වේදනාවේ විනාශය වන්නට ඉඩ ඇත. කෙසේ නමුත් ‘යුක්තිය’ ඉටු නොවුනු සමාජයක් විසින් තනන කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට ඒ සමාජය ශිෂ්ටත්වය කරා ගෙන යන්නට නොහැකි නිසාය. ලෝක ඉතිහාසය විසින්ද වර්තමාන ලෝක දේශපාලනය විසින් ද අප හමුවේ තබා ඇති පාඩම එයයි.

අප ඒ පාඩම ඉගෙන ගන්නේද?

කැරපොත්තා විසිනි