iMage: ips.lk

මා පසෙකින් තබා ඇති
ඔහුගේ රාමු කළ සිතුවමෙහි
දැල්ව ගිය දෑසේ හි සිනා සෙන සිහිනය හදුනා ගතිමි මා
බලා සිටියෙමි එහෙත් සැඟව යන අයුරු දීප්තිය
කැලඹුණු හිස් අහස් කුස තුළ…

Heather Nova විසින් ගයනු ලබන Every Soldier Is a Mother’s Son ගීතයෙහි එක් කොටසක අනුවාදනයෙන් මෙම ලිපිය අරඹමි. covid 19 වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට විධායක ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තීරණය කරන ලදී. එහිදී සිවිල් කාර්යභාරයක් වන, මෙම වසංගතය සාමාජගත වීම නිවාරණය වෙනුවෙන් වන ජාතික මෙහෙයුම් අංශයෙහි ප්‍රධානියා ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කරන ලදී.

වසංගත රෝග මර්ධනය පිලිබඳ දැනුම සහ තාක්ෂණික හැකියාවෙන් යුත් වෛද්‍ය වෘත්තීයවේදින් දෙවන පෙළ වෙත යොමු කර, හමුදා අංශයන් සිවිල් කටයුතු වෙත මැදිහත් වීම රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන ලදී. වසංගතය වෙත මුවා වෙමින්, දැඩි හමුදාකාරණයක් හරහා සිවිල් ජනතාව පාලනය කිරීමට පවතින විධායකය උත්සුක විය. බුදුන් විසින් ප්‍රතික්ෂේපිත නමුත් තම මානය හේතුවෙන් කුලය අනුව පන්සලේ බෙදී සිටින සංඝයාද, වසංගතය පාලනය වෙනුවෙන් හමුදාකරණය සාධාරණීකරණය කරන ලද අතර, මහජනතාවගේ නියෝජනය නොමැතිව වුවද, විධයාක ජනාධිපතිවරයාට රුචි ලෙස මධ්‍යගත ව, මූල්‍ය භාවිතයන් කිසිදු විනිවිදභාවයකින් තොරව හැසිරීම ද පිළිගන්නා ලදී. (https://www.president.gov.lk/no-decision-should-be-taken-outside-the-constitution-maha-sangha-emphasise/)

එසේම කොරානා වෙනුවෙන් බෙහෙත් සොයාගැනීම සජිත් ප්‍රේමදාස, හිටපු විපක්ෂ නායකයන්ට නොහැකි බව පෙන්වා දීමට තරම් ඥානවන්ත වූ , පංචායුධ කුමරු, විමල් විරවංශ මහතා ද පැවසුවේ, පැවති පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම යනු, වර්තමානයේ, 600 කට අධික ව covid 19 වැළඳු ජනයා වෙනුවෙන් යුධ හමුදාව තම කොට්ට මෙට්ට පරිත්‍යාග කරමින් සිදුකරන සේවාව හමාර කිරීමට කරනු ලබන උත්සහයක් බවය.(https://www.onlanka.com/news/covid-19-not-prevalent-in-sl-when-parliament-was-dissolved-wimal.html). එසේම එතුමා, විනයක් රහිත වීම හේතුවෙන් covid 19 අසාදිත යැයි පවතින පරිපාලනය නම් කර තිබෙන ජනතා ව වෙනුවෙන් මූලික කාලීන අවශ්‍යතාවක් වූ drone ක් ද පරිත්‍යාග කර තිබීම මෙහිලා සදහන් කල යුතුමය (http://colombotimes.net/covid-19-minister-wimal-weerawansa-gifts-drone-camera-to-army/)

Drone ට අමතර ව ශ්‍රී ලංකා පරිපාලනය වෙත වසංගතය මර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 700 කට අධික මුදලක් ද විවිධ පාර්ශ්වයන්ගෙන් හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ අප්‍රේල් 17 වන දින වූ වාර්ථාවට අනුව දැකිය හැකිය.( http://www.pmdnews.lk/covid-19-crisis-spells-a-new-sri-lanka/). මෙවැනි පසු බිමක මුලික සෞඛ්‍ය පහසුකම් ද අහිමිව යුධ හමුදාවට සහ සිවිල් සෞඛ්‍ය පරිපාලනයට කටයුතු කිරීමට සිදුවන වන බව ද අප මතක තබා ගත යුතුය.
මෙවැනි සංදර්හයක මෙම ලිපියේ මුලික අරමුණ නම්, මාරාන්තික වසංගතයක් වානේ තිරයක් ලෙස යොදා ගනිමින් හමුදා ශ්‍රමය සුරා කමින්, ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය කිරීම පෙන්වා දීමය.

දිලංක ගුණතිලක විසින් සපයන ලද ලිපියෙන් පහත කොටස උපුටා ගමි “ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු-නව රටක්’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් අස්වද්දනු ලැබූ කුඹුරුවල අස්වනු නෙළීම සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ (30) උදෑසන සිදු විය.(https://ejournalist.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b7%94%e0%b6%b9%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%94-%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/)

මාගේ පළමු ගැටළුව නම්, මෙම අක්කර 12 ක භුමි ප්‍රමාණය මත වගා කිරීම තීරණය කිරීමේ බලය යුධ හමුදාපතිට හිමි වූයේ කෙසේද? එය ඔහුට විශේෂ අවසරපතකින් හෝ ගැසට් නිවේදනයකින් හෝ වෙනත් අකාරයේ නීතිමය රාමුවකින් යුධ හමුදාපති වෙත, කවුරුන් විසින් කෙසේ පවරනු ලැබුවක් වේද? එසේ වන ලේඛනය, සමාජගත නොවුයේ මන්ද ? හමුදාපති ට ඇතිවන වගා කිරීමේ හැකියාව සහ රුචිකත්වය, අඳ ගොවීන්ට ද එසේ නොමිලේ ඉඩම් ලබා ගැනීමට හැකියාවක් වේද?

මේ මොහොතේ ජයවර්ධනපුර භූමි ප්‍රමාණය තමන්ගේ රුචිකත්වය අනුව වඟා කිරීමට ඉල්ලා සිටින හමුදාව, ඉදිරියේ දී මෙම බලය බලහත්කාරයෙන් යොදා නොගන්නා බවට කිසිදු සහතිකයක් නොමැත. මන්දයත් කේපාපිලව් ග්‍රාමයේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගනිමින් හමුදාව අත්තනෝමතිකව කටයුතු කිරීම අද ට ද යුක්තිය ඉටු නොවූ කරුණක් වී තිබීමය. සිංහල ජනයා වෙසෙන පානමත් එයට තවත් උදාහරණ සපයයි.

එසේම මෙය විධායක ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මාගේ පරිපාලන විද්‍යා දැනුමට අනුව, මෙරට විධායක ජනාධිපති යනු ජනතා ඡන්දයෙන් පත්වන, දේශපාලන – කෙටි කාලීන විධායකයක් වන අතර යුධ හමුදාව යනු නිත්‍ය නිර් -දේශපාලනික රාජ්‍ය පරිපාලන අංශයකි. එවිට කෙටි කාලින දේශපාලන ආයතනයන්ගේ ෆැන්ටසි වෙනුවෙන් ජනතා මුදලින් නඩත්තු වන හමුදාව අවභාවිතාවට ඉඩ දිය හැකිද? එසේම, හමුදාව වෙනුවෙන් අවශ්‍ය කෘෂි දැනුම, ශ්‍රමය සහ ප්‍රාග්ධනය රාජ්‍යයේ ඍජු අනුග්‍රහය යටතේ ලැබෙන විට, කෘෂිකර්මාන්තයේ නිරත අඳ ගොවි, නිශ්චිත ඉඩම් අහිමි, දරිද්‍රතාවයේ අවම මට්ටමේ වන ගොවියන් ණය උගුලක පටලමින්, රාජ්‍ය නිසි ප්‍රකාරව ඔවුන්ගේ ගේ කෘෂි අවශ්‍යතා නොසලකා හැර තිබේ. මෙම තත්වය වෙත වගකියන්නේ කවුද?

තවද, රාජ්‍ය ප්‍රාග්ධනය සහ ශ්‍රමය යොදා ගනිමින්, යුධ හමුදාව විසින් කෘෂි කර්මාන්තයේ නිරත ව ලබා ගන්නා අස්වැන්න / නිෂ්පාදනය නොමිලයේ ජනතාව වෙත ලබාදෙන්නේ ද? නැතිනම් ඒවා අලෙවි කරන්නේ ද ? අලෙවිකරණ විට ලැබෙන ආදායම බැර වන්නේ කාගේ ගිණුමකටද?

මෙම ශ්‍රමය අපයෝජනය කිරීම විරෝධාරත්වයක් වෙත ආරෝපණය කරමින් යුධ හමුදාපති පැවසුවේ “යුධ හමුදා සෙබළුන් බිම නිදා ගත්තේ මෙරට වැසියන් ඇදේ බුදිකරලිම පිණිස බවය. එසේම යුධ හමුදා සෙබළුන් බිම නිදා ගැනීමට ලැජ්ජා නොවන බවත්, යුධ ගැටුම් හිදී තමන් ද ඇතුළු යුධ හමුදා කණ්ඩායම් වනාන්තර තුළ ගස් ගල් හි නිදාගත් බවත් ප්‍රකාශ කරන ලදී”(https://www.youtube.com/watch?v=wXf3WMwKJKs). යුධ හමුදා ප්‍රධානියා ලෙස මෙම ප්‍රකාශනය ප්‍රහසනාත්මක සහ වගකීම් විරහිතව සිදු කරන ලද බව පෙනී යයි.

ප්‍රථමයෙන්ම විධිමත් සෞඛ්‍ය පුහුණුවක් නෙමැති වූවද, මාරාන්තික ගෝලීය වසංගත මර්ධනයක් වෙනුවෙන් දේශපාලනිකව පත් කර තිබෙන, යුධ හමුදාපතිවරයා වටහා ගත යුතු කරුණ නම්, මෙය සිවිල් යුධ තත්වයක් නොවන බවය. සිවිල් යුද්ධයක් දී, කිසිදු නියාමනයක් නොතකමින් අශිෂ්ට ලෙස හැසිරී, අනෙකා මරා ජයග්‍රහණය ලබා එය මානුෂිය විජයග්‍රහණයක් ලෙස අර්ථකථනය කළ හැකි වුවද මෙම වසංගතය එසේ, කිරීමට නොහැකිය. එසේම, යුද්ධයේ දී තම අනෙකා මිය යාම විජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද මෙම වසංගතය හේතුවෙන් තම අනෙකා පමණක් නොව තමා ද මිය යා හැකි බව ජනතාව මේ වන විට වටහා ගෙන තිබේ. මෙවැනි පරිසරයක් දී, ඉහත ප්‍රකාශ කරමින්, හමුදා ශ්‍රමිකයක් තව දුරටත් ෆැන්ටසියක් වෙත රැගෙන යාමට යුධ හමුදා ප්‍රධානියා සමඟ වන පරිපාලනය ගනු ලබන වෑයම නිෂ්පල වනු ඇත.

අනෙක් කරුණ නම්, යුධ හමුදාපති වරයා, විශ්‍රාම ගොස් සිට නැවත දේශපාලනික පත් වීම ලද සියලු ප්‍රභූ යුධ හමුදා නිලධාරින් මේ මොහොතේ සුරක්ෂිතව සහ සැප පහසුව සිටි. එවැනි තත්වයක දී, විවිධ ආර්ථික හේතුන් මත ජීවත්වීම වෙනුවෙන් යුධ හමුදාව වෙත යොමු වූ පහළ තලයේ හමුදා නිලධාරින්, මෙවැනි වසංගත තත්වයක දී ද , අවශ්‍ය මූලික ආරක්ෂිත උපකරණ පවා නැති වීමෙන්, ඔවුන්ව වසංගතයේ වින්දිතයන් බවට පත් වෙමින් තිබේද? අවම වශයෙන් covid 19 සමඟ හිස එසවිය හැකි බවට වෛද්‍ය අංශ අනතුරු හැඟවූ ඩෙංගු වසංගතයෙන් මිදී සිටීමට අවශ්‍ය පහසුකම් හෝ මෙම භටයන් වෙත සපයා දිය යුතු නොවේද ?

හමුදාව වෙනුවෙන් ප්‍රේමයෙන් බැඳුණු සිංහල භාෂා‍ සිනමා රචනයන් අවසානයේ දී නිරුපනය කරනු ලබන වඩාත් යථාර්තවාදී සහ ජනප්‍රිය අංග චලනයක් වේ. එනම් ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ හෝ මිය ගිය සාමාන්‍ය සෙබළා, ජාතික ධජයෙන් ඔතා මිහිදන් කිරීම සහ, ජාතික ධජය සමඟ සාමාන්‍ය සෙබළා ගේ යම් සිහිවටනයක් දුගී මව හෝ නෑයන් වෙත ලබා දීමය. හසලක Y.G ජුලියට් ගේ සිට සියලුම සාමාන්‍ය සෙබළ මවුවරු වෙත මෙය සිදු වූ අතර ජුලියට් ගේ පුතා හා සම සියලු සාමාන්‍ය සෙබළුන්, ආනන්ද විද්‍යාල කුලකය වෙත අන්තර්ගත නොවන තුරු, වසංගත මර්ධන ක්‍රියාවලියකදී වුවද කිසිදු මුලික පහසුකමක් නොමැතිව තම මූලික මිනිස් අයිතිවාසිකම් ද උල්ලංඝනය කර ගනිමින් සියලු තත්වයන්ගේ වින්දිතයන් වෙමින්, අපයෝජනයට ලක්වීම සුළු ලෙස සැලකිය යුතුද?

ලිපිය අවසාන කරමින් අවධාරණය කරන කරුණ නම්, මෙම වසංගත මර්ධන ක්‍රියා පටිපාටියම, ජනතා මර්ධනයක් පමණක් වී තිබෙන බවය. එම මර්ධනය සිවිල් ජනයා වෙත පමණක් නොව යුධ හමුදා නිර්-ප්‍රභූ සාමාන්‍ය සෙබළුන් වෙත ද දැඩි ලෙස බල පා තිබේ. මෙම හමුදා ශ්‍රමිකයන් ගේ ශ්‍රමය අවභාවිතා කරමින් ද, ඔවුන්ගේ මූලික අයිතවාසිකම් ද උල්ලංඝනය කරමින්, වර්තමාන පරිපාලනය සැලසුම් කරමින් සිටිනුයේ, ලෝක බලවතුන් ද අභිබවා යමින්, තමන්ගේ ක්‍රියාන්විතය සාර්ථක වූ බවට, හිස් වහසි බස් දෙඩුමට බව පෙනී යයි. එහි ම දිගුවක් ලෙස, මෙම වසංගතය වෙනුවෙන් වන මුල්‍ය පරිපාලනය කළමනාකරණය කිරීම, කිසිදු නීතිමය පිළිගත හැකි නිළ ක්‍රමයකින් තොරව තම පවුලේ උරෝජාතයන් වෙත පවරාදීම දැකිය හැකිය. එයින් ප්‍රක්ෂණය වන කරුණ නම්, මෙම වසංගතය ද රන් අකාරයක් කර ගනිමින්, එය තම භුක්තිය වෙත තබා ගැනුමට කටයුතු කිරීමක් ද? එම කරුණේ දී, හිස් වචන සහිත වීරත්වයක් ආරෝපණය කරමින්, හමුදා ශ්‍රමිකයන් ගේ ශ්‍රමය සුරාකමින්, ඔවුන්ගේ ජිවිත විපතේ හෙළමින්, මෙම උරෝජාතක (සිබියා/සහෝදරයා හෝ සහෝදරී) පරිපාලනය කටයුතු කරන බව පෙනී යයි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon