iMAGE: Vikalpa Cartoon

හරියට ආදරය කරන කෙනක් එයා. අහිංසක මනුස්සයෙක් තාම එයා, පවුල කියලා, වයිෆ් කියලා ඉන්න කෙනක් නෙවෙයි , හැමෝටම ආදරය කරන කෙනෙක් එයා”

මගේ හස්බන්ඩ් හැමවෙලේම ලියන්නේ සමාජයේ කාටහරි අසාධාරණයක් වුනොත් ඒගොල්ලන්ට උදව්වක් කරන්ඩ, අයිතිවාසිකම් තියෙන්ඩ ඕනි, ආසාධාරණයක් උනොත් බේරගන්න ඕනි කියලා තමයි වැඩි පුරාම ලියලා තියෙන්නේ. ජාතිවාදී කිසිම දෙයක් එයා කිසිම දවසක් හිතලා නෑ. එයාගේ හිත හරිම හොඳයි

https://www.facebook.com/1566553880058866/videos/3076898709073731

 

රම්සි රාසික්ගේ බිරිඳ වන ශර්මිලා රාසික් මහත්මිය පසුගියදා විමුක්ති ව්‍යාපාරය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි. ඒ අතිශය සංවේදී වීඩියෝ දසුන දකින ඕනෑම කෙනෙකුට මේ වන විට ඔහුගේ පවුල මුහුණ පා ඇති මානසික පීඩනයත්, ඔහුගේ පිරිහෙන සෞඛ්‍ය තත්වය පිළිබඳවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. වසර ගණනාවක් පුරා ඔහුව ඇසුරු කළ හිත මිත්‍රාදින් මෙන්ම ඔහුගේ සටහන් කියවූ බොහෝ දෙනෙකුද තහවුරු කර ඇති පරිදි රම්සි රාසික් හැඳින්වෙන්නේ ජාතිවාදිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ මානව හිතවාදියෙකු ලෙසයි.

රම්සි අවසන් වරට අප්‍රේල් 9 වන දින අත් අඩංගුවට පත්වීමට තුඩු දුන්නා යයි කියන පොස්ටුව වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර නිසා අවසන් වරට ඒ පොස්ටුව වෙනුවෙන් තැබූ පසු සටහන මෙසේය.

චින්තන අරගලය ideological war සම්බන්ධයෙන් මම පලකල පෝස්ටුවත් සමගම අපගේ ප-ජාතිකවාදීන් සහ රට විරුවන් බොහෝ සේ කලබලයටත් කෝපයටත් පත්වී ඇති බව පෙනේ. ඔවුන්ගෙන් දිගින් දිගටම මට මරණ තර්ජන එල්ලවෙමින් තිබේ. කාලාන්තරයක් තිස්සේ දියත් වෙමින් පවතින සැලසුම් සහගත මුස්ලිම් විරෝදී ප්‍රචාරණයට එරෙහිව ප්‍රචන්ඩත්වයෙන් තොරව පෑන සහ කී-බෝඩය හසුරුවමින් මතවාදී අරගලයක නිරතවිය යුතු බවට මා දැක්වූ අදහස් සමහරුන්ට අනුව අන්ත ජාතිවාදී ප්‍රකාශයක් වී ඇත.

දැන් තීරණයකට එලඹිය යුතු කාලය පැමිණ තිබේ.මගේ පෝස්ටුවට ලැබුණු ප්‍රරතිචාර සහ නානඳුනන පුද්ගලයන්ගෙන් ලැබුණු ඉන්බොක්ස් මැසේජ් දුටු මගේ වැඩිමහල් දුව කම්පනයටත් බියටත් පත් වී සිටී.
ඇයට දුන් පොරොන්දුවක් සහ මට ආදරය කරන තව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තවදුරටත් දේශපාලන හෝ ජාතික ගැටලු සම්බන්ධ කිසිදු පෝස්ටුවක් සිංහල භාෂාවෙන් පලනොකිරීමට තීරණය කලෙමි.
පියෙක් ලෙස මගේ දරුපවුලේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වීමට මා බැඳී සිටිමි. දැනුවත්ව මගේ දූදරුවන්ගේ ජීවිත අනතුරේ හැලීමට මට කිසිදු උවමනාවක් නැත.

(මට ජාතිවාදියා කියන අයට මීට පෙර අභියෝගයක් එල්ල කලෙමි. ඒ පසුගිය අවුරුදු 10 තුල මුහුණු පොතේ මගේ පෝස්ටුවක මා ජාතිවාදී වෛරී ප්‍රකාෂයක් සිදුකල එක් අවස්ථාවක් හෝ පෙන්වන ලෙසය. එම අභියෝගය තවදුරටත් වලංගු වන බව මතක් කරමින් මා නිහඬ වෙමි.

ඒ අප්‍රේල් 3 වන දිනය. පසුව රම්සි රාසික් 2020 අප්‍රේල් 9 වන දින මහනුවර කටුගස්තොට නගරයට ඔබ්බෙන් පිහිටි පොල්ගස්දෙනිය හි පිහිටි සිය නිවසේදී රහස් පොලීසියේ නිලදාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු සිවිල් හා දේශපාලන අයීතිවාසිකම් පිළිබද ජාතියන්තර සම්මුතිය (ICCPR) සහ සයිබර් (Cyber) අපරාධ නීති උල්ලංඝණය කොට ඇති බවට පවසමින් රහස් පොලීසිය කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව එදා සිට මේ සටහන ලියවෙන මොහොත දක්වා රම්සි රක්ෂිත බන්ධානරගතව සිටියි.

රම්සි කුඩා කල සිටම ආතරයිටිස් (Arthritis) හා කකුල් වල සුව කළ නොහැකි වණයකින් පීඩා විඳ තිබු අතර ඒ වෙනුවෙන් වසර 35 ක් තිස්සේ බෙහෙත් ලබාගෙන ඇති නිසා එය ඔහුගේ වකුගඩු, අක්මාව හා හෘදයට අතුරු ආබාධ ඇති කර තිබෙන අතර, පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා විට, ඔහු රූමැටොලෝජි ( Rheumatology )සම්බන්ධ වෛද්‍ය වරයකු සහ වෛද්‍ය මහාචාර්යවරයෙකුගේ උපදෙස් මත අප්‍රේල් මස මුලදී අල්ට්රා සවුන්ඩ් (ultra sound scan) පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබී ඇත.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1 ශ්‍රේණියේ පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ රම්සි තම සේවා කාලය අවසන් වීමට පෙර විශ්‍රාම ලබාගෙන ඇත්තේ ද ඔහුගේ සෞඛ්‍ය තත්වය දුර්වල වීම හේතු කොට ගෙනය. කෙසේ වෙතත් දැන් කොවිඩ් තත්වය හමුවේම ඔහු අතිශය ජිවිත අවධානමක් සහිතව දින 100 ක් පසු කොට තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුලුව භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ICCPR පනත අවභාවිතා කරමින් දිගින් දිගටම නිදහස් ලේඛකයින්, මතධාරීන් අත් අඩංගුවට ගැනීමේ අත්තොනෝමතික ක්‍රියාවලියට එරෙහිව විරෝධය පළ කොට ඇතත් එය දිගින් දිගටම යට යමින් තිබේ.

අන්තවාදය වපුරමින් බඩ පිනුම් ගහන, මිනිසුන්ගේ දේපල විනාශ කරන්නට ප්‍රසිද්ධියේම උල් පන්දම් දුන් මධුමාධව අරවින්දට මැතිවරණය සඳහා තරග වදින්නට අපේක්ෂකත්වය ලැබෙද්දී, තවමත් ගමින් ගමට ජාතිවාදය විකුණමින් ඒ මතින් ඡන්ද සිගමනේ යෙදෙද්දී, ජාතිවාදය පරාජය කිරීම වෙනුවෙන් මතවාදීව වෙහෙස විය යුතු බව ලියු රම්සි දින 100 කටත් වඩා සිර ගත කොට තිබේ.

ඉතින් අප සිටින්නේ කුමන සමාජයකද? ඒ ගැන කතා කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත. රම්සි ගොඩ නගන්නට සිහින දුටු සමාජය නිද්‍රාශීලිව තිබේ. ඒ මිනිසුන්ගේ හඬ මුඛ වාඩම් බැඳ නිහඬ කොට තිබේ.

වැඩිදුර කියවන්න

ජාතිවාදයට එරෙහි වූ අරගලයක් වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහනකට රම්සි රාසික් අසාධාරණ ලෙස අත් අඩංගුවට ගැනීම

‘කවුද ඔය කියන රම්සි රසික්’ රම්සි ලිව්ව දේවල් වලින් රම්සි හොයමු?

#COVID19 අතරතුර රම්සි රසීක් [ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහස, වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය පුවත් ]

“භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කර කඩිනමින් රම්සි රාසික්ව නිදහස් කොට, සුළු ජනයා අගතියට පත්කිරිම හා නිහඬ කිරිම වෙනුවට ප්‍රගතිශීලී ලෙස නෛතික රාමුන් ක්‍රියාත්මක කරන්න”-විමුක්ති ව්‍යාපාරය-

වසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය

‘නිදහස් අදහස්වලට ‘ඔවුන්’ ඒ තරම් බය ඇයි?’ [ප්‍රකාශනයේ නිදහස සහ රම්සි]

ඉෂාරා ධනසේකර | Ishara Danasekara