iMAGE: Vikalpa

සාමාන්‍යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා, එදින රාත්‍රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත. කිසියම් හදිසි වැඩක් ඇත්නම් බිරිඳ අමතා ඒ බව දැනුම් දීම ඔහුගේ පුරුද්දකි. එහෙත් එදින එවැනි ඇමතුමක් වත් ලැබී තිබුණේ නැත. අසාමාන්‍ය ලෙස ජංගම දුරකථනය ද එදින ක්‍රියා විරහිතව තිබුණි. කිසිදු තොරතුරක් නොමැතිව කාලය ගත වී යන හෙයින් ආතතිය ද බිඳෙන් බිඳ වැඩිවෙමින් තිබේ. හිත මිතුරන්, සැමියාගේ සමඟ එකට වැඩ කරන අය මේ සියල්ලන්ගෙන්ම ඈ ඔහු ගැන ඒ වන විටත් විමසා අවසන්ය. ජංගම දුරකථනයේ චාජර් එක නොමැතිව එය ක්‍රියා විරහිතව ඇද්දැයි ඈ අවසානයේ සිතුවේ තම හිත සනසා ගැනීමටය. එහෙත් යටි සිත ඈට නිරන්තරයෙන් වද දෙමින් තිබුණි. දොරට කන් දිහමින්, නිතර නිතර ගෙදර දොර ඇර බැලිමෙනුත්, නැවත නැවත ජංගම දුරකථනයට අමතමින් සිටියදීම ඊළඟ දිනය උදා වී තිබුණි. පසුදා උදෑසන 9 පසුවීමෙන් පසුවත් සැමියා නිවසට නොපැමිණි හෙයින් ඈ වහා හිතවතෙකු සමඟ එදින උදෑසන 10.30 ට පමණ හෝමාගම පොලිසිය වෙත යන්නේ තම සැමියාගේ නොපැමිණීම පිලිබඳ පැමිණිලි කරන්නටය. එහෙත් පැය දෙකක පමණ කාලයක් කල් මරමින්,පැමිණිල්ල භාර නොගන්නා පොලිසිය අවසානයේ එදින දහවල් 12.20 ට පමණ, කොන්දේසි සහිතව පැමිණිල්ල භාර ගනියි.

එදින සිට අද දක්වාම, අතුරුදහන්ව ඇති තම තම සැමියාව සෙවීමට ආරම්භ කළ සන්ධ්‍යා එක්නැළිගොඩ නම් වූ ඇගේ අරගලය පසුගිය සැප්තැම්බර් 29 (2020) වන දින කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවති නඩු වාරයට සහභාගී වන විටත් වසර 10 කට වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. තම ස්වාමි පුරුෂයාට සිදු වුයේ කුමක්ද? ඔහුව පැහැර ගන්නා ලද්දේ කා විසින්ද යන්න ඒ අනුව විමසමින් මෙම වසර 10 පුරා ඈ යුක්තිය සොයා ගන්නා අරමුණව ඇතිව ඈ කොපමණ දුරක් ගමන් කළා දැයි එකී ගමනාන්තයන් සැළකිල්ලට ගනිමින් කිලෝමීටර් වලින් මැන සටහන් කිරීමට සංසන්ධනාත්මකව රූප සටහන් ආධාරක ලෙස යොදා ගනිමින්  උත්සාහ ගෙන තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ (අභ්‍යන්තර) හා ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ ගමන් වාර වල දුර මැන බැලීම සඳහා google maps සහ free maps tools භාවිතා කොට තිබේ.

ඒ අනුව අධිකරණ (හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය, අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය) යන ඒවාද, රාජ්‍ය ආයතන (පොලිස් ස්ථාන , හමුදා මූලස්ථානය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව) යන ඒවාද මාධ්‍ය හමු, උද්ඝෝෂණ, ප්‍රදර්ශන,ආගමික ස්ථාන, විදේශ ගමන්, (මානව හිමිකම් කොමිසම, ප්‍රදර්ශන,සම්මාන) වෙත ඈ විසින් මෙම වසර 10 තුළ ගමන් කොට ඇති දුර ගණනය කොට ඇත. සන්ධ්‍යා එක්නැළිගොඩ නම් ඈ විසින් ඒ අනුව යුක්තිය ළඟා කර ගැනීම සඳහා මේ වසර 10 ඇතුළත 411,220 km ක දුරක් ගමන් කොට තිබේ. මෙය ඈගේ මතකය අනුව ඈ විසින් බෙදා ගන්නා ලද කරුණු අනුව සකස් කළ ආසන්නතම ගණනය කිරීමකි. මෙම දුර ප්‍රමාණය මී ට වඩා වැඩි විය හැකි බව ඈ පවසයි.

ඒ අනුව මෙහිදී සන්ධ්‍යා මෙතෙක් ගමන් කළ 411,220 km දුර හා ඒ හා බැඳී තොරතුරු පහත රූපමය සටහන් ඔස්සේ පැහැදිලි කිරීමට යම් උත්සාහයක් ගෙන තිබේ.

සෙල්වරාජා රාජසේකර් | Selvaraja Rajasegar

 

සංස්කාරක සටහන : සෙල්වරාජා රාජසේකර්, අප සහෝදර දෙමළ භාෂිත වෙබ් අඩවිය වන Maatram වෙබ් අඩවියේ සංස්කාරක වරයාය. ඔහු විසින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් ලබා දෙන ලද තොරතුරු අනුව මුල්වරට දෙමළ භාෂාවෙන් නිර්මාණය කරන ලද රූප සටහන් පෙළ සහ මෙහි මුඛ්‍ය සටහන සිංහල භාෂාවට විකල්ප වෙබ් අඩවිය විසින් අනුවර්තනය කිරීමෙන් අනතුරුව මෙසේ පළවේ.

Maatram වෙබ් අඩවියේ පළවූ මෙහි මුල් දෙමළ මුඛ්‍ය සටහන සහ රූප සටහන් පෙළ වෙත

Groundviews වෙබ් අඩවියේ පළවූ මෙහි ඉංග්‍රීසි භාෂා මුඛ්‍ය සටහන සහ රූප සටහන් පෙළ වෙත