iMage: BBC

2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි.

ඉන් කියැවෙන්නේ “අරගලය තියෙන වීදියට දැන් එන්න” වැනි අරුතකි.

එරට සතුටු කදුළු වැගිරෙන සිනහසෙන ගැහැණු පසුගිය 30වනදා ලොව සෑම අන්තර් ජාතික ජනමාධ්‍ය මුල් පිටු අල්ලා ගත්හ.

නීත්‍යානුකූල සහ සෞඛ්‍ය ආරක්ෂිත ගබ්සා අයිතිය ඉල්ලා එරට ගැහැණූ කිහිප දෙනෙකු මෙයට තිස් වසරකට පෙර තැබූ පා සටහන් ලක්ෂ සංඛ්‍යාත වී, එමහිමයෙන් පසුගිය 30දා ආජන්ටීනියානු සෙනෙට් සභාව නීති කෙටුම්පතට අවසාන ජයග්‍රහණය ලබා දුන්නාය. අති බහුතර කතෝලික රටක්වීත් එරට ජනයා සිය රටෙහි ස්ත්‍රීන්ගේ මෙම අයිතිය පිටුපස සිට ගත්හ. පල්ලිය පනතට විරුද්ධ වී පැරදුණි.

මෙයට පෙර සමස්ත ලතින් ඇමෙරිකාවෙහිම මෙම අයිතිය තිබුණේ කියුබාවෙහි සහ උරුගුවේහි පමණකි.

මෙම දිනාගැනීමෙන් පසු වීදිබට ආජන්ටීනාවෙහි ගැහැණුන්ගේ ජායාරූපවලින් පෙන්වන්නේ සිය අරගලය වෙනුවෙන් වූ අත්‍යන්ත ආත්මීය බැදීමයි. සිනසෙන සහ හඩන ඒ මුහුණු අපට කියන්නේ අරගලයක් ජය ගැනීමට නම් එය ආත්මීය ප්‍රකාශණයක් බවට පත් විය යුතු බවයි.

ස්ත්‍රියගේ අයිතීන් පිරිමින් සහ පිරිමි ආගමික නායකයින් විසින් තීරණය කරනු ලබන අපේ වැනි බොහෝ රටවල ස්ත්‍රීහු රහසිගත සහ අනාරක්ෂික ගබ්සා කිරිම්හි ගොදුරු බවට පත්වෙති. එය ලොව පුරාම පවත්නා දරුණුතම විශම සැළකීමක එක් පැතිකඩක් පමණි.

2020 මා ගැහුණුන්ගේ වසර ලෙස හදුන්වන්නේ ඒ් ගෙවී ගිය දින 365 ස්ත්‍රීන් විසින් සිය අයිතිවාසිකම් සහ සමානත්මතාවයේ ලාංජනය නොමැකෙන පරිදි පෟතුවි තලයෙහි සටහන් කරන ලද නිසාය.

ආජන්ටීනාවෙහි වීරවික්‍රමාන්විතයට දින කිහිපයක් තිබියදී අපේ අසල්වැසි ඉන්දියාවෙහි කේරළයෙන් අසන්නට ලැබුණේ තවත් දිරිමත් පුවතකි. එනම් එම ප්‍රාන්තයේ විශාලකම නගර සභාව වන තිරුවාන්තපුරම්හි නගාරාධිපතිනය බවට විසිඑක් හැවිරිදි යෙෘවනියක වන ආර්යා රාජේන්ද්‍රන් තේරී පත්වීමයි. ඇය නියෝජනය කරන්නේ ප්‍රායෝගික අර්ථයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන ඉන්දීය මාක්ස්-මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයයි. ඇය සිය පියාගේ අඩි පාරේ යමින් පක්ෂයේ ළමා අංශයට බැදී ඇත්තේ පස්වැනි වියෙහිදී ය. පක්ෂය ලද පසුබෑම් මැද පවා ඇය අත නොහැර සමාජ සාධාරණත්වයේ දේශපාලන ක්‍රියාකාරිත්වායෙහි යෙදී සිටියේය. උසස් විද්‍යා උපාධියට ඉගෙන ගන්නා තමාගෙන් අධ්‍යාපනය අත නොහරින ලෙස ජනයා කරන ලද ඉල්ලීම එළෙසම පිළිගන්නා බවත් ඇය කියා සිටියාය.

අතනෑර සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමත් අධ්‍යාපන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන යෑමත් අනාගත ස්ත්‍රී නායකත්වයක පෙර නිමිත්තකි.

එයට පෙර කේරලයෙන් තවත් ස්ත්‍රියක මතුවී ලෝකයට පහන් තරුවක් මෙන් වූවාය. ඒ ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමැතිනිය වූ ශයිලාජාය. ඇය සිය ප්‍රාන්තයේ කොවිඩ් ගෝලීය වසංගතයේ මුල් වටය සාර්ථක ලෙස පාලනය කර ගත්තේ යුද්ධ හමුදා කැදවීමෙන් නොව සිවිල් සමාජය සහ සිවිල් සේවකයින් බලසතු කිරීම මගිනි.

සිය ප්‍රාන්තයෙහි වසංගතය සමඟ සටන් කිරීමට ඇය දැරූ උත්සාහය අගය කරමින් 2020 එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වන ලෙස ඇයට ආරාධනා ලැබුණි. බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත ඇයව හැදින්වුයේ “කොරොන වයිරස් ඝාතනය කරන්නිය” සහ “රොක් ස්ටාර් සෞඛ්‍ය ඇමතිනිය” කියාය. පරසිදු වෝග් සඟරාව ඇය “වෝග් රණශූරයෙකු” ලෙස නිරූපණය කරන ලදී. ප්‍රොස්පෙක්ට් නම් බ්‍රිතාන්‍ය සඟරාව 2020 දී ලෝකයේ වඩාත්ම බලගතු කාන්තාවක් ලෙස ෂයිලාජා නම් කරන ලදී.

2020 වසරෙහි තීරණාත්මක ලක්ෂනය වුයේ ගෝලීය කොවිඩ් වසංගතයයි. එම වසර අර්ථ දැක්වෙනු ඇති සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රපංචයද එයම වේ.

ගෝලීය කොවිඩ් වසංගතයෙහි ප්‍රථම පැතිරීම පාලනය කිරීමෙහි ලා ලෝකයට ආදර්ශ සැපයූ රාජ්‍යයන් අතර ස්ත්‍රීන් විසින් නායකත්වය හෙබවූ රටවල් කැපි පෙනුනි.

ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් කලින්ම ස්ථාවරයක් ගත් අතර මෙය ජනගහනයෙන් 70% ක් දක්වා ආසාදනය විය හැකි වසංගතයක් බව පවසා රට අඟුල් දැම්මාය. කොවිඩ් මර්දන එන්නත හැකි කෙටිම කාලයක් තුල සියලූ රට වැසියනට ලබා දීමට අද ඇය මූලිකත්වය දෙයි.

පළමුව සහ වේගවත්ව පියවර ගත් රාජ්‍ය නායිකාවක් ලෙස අතරින් තායිවානයේ ට්සායි ඉන්–වෙන් නමක් දිනා ගත්තේය. තායිවානය ගෝලීය වසංගතයේ දෙවන වටයට අසු නොවූ තරම්ය.

නවසීලන්තයේ ජැසින්ඩා ආර්ඩන් ඉක්මනින්ම ගෝලීය වසංගතය පාලනය කිරීමට ලබා දුන් නායකත්වය අද ලොව පුරාම පිළිගැනීමට ලක්ව තිබේ. නවසීලන්තය ගෝලීය වසංගතයේ දෙවන වටයද ඉතා හොදින් පාලනය කර ගැනීමට සමත් විය. ඇය නායකත්වය පිළිබඳ ගෝලීය සංකේතයකි.

අගමැතිනි කත්‍රින් යාකොබ්ස්ටූටර්ගේ නායකත්වය යටතේ අයිස්ලන්තය සිය සියලුම පුරවැසියන්ට නොමිලේ කොවිඩ් වයිරස පරීක්ෂණ ලබා දෙමින් ලෝකයට ආදර්ශයක් සැපයූවාය.

නෝර්වේ අගමැතිනි අර්න සොර්බරග් ගොලීය වසංගතය සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත්තා පමණක් නොව තම රටේ දරුවන් සමඟ රූපවාහිනිය හරහා කෙලින්ම ඒ පිළිබඳ කතා බහ කළාය.

ස්ත්‍රී නායකත්වයන් සහිත රටවල් ගෝලීය වසංගතය පාලනය කිරීමේහි ලා පෙන්වා ලූ එක් කැපි පෙනන ලක්ෂනයක් වූයේ නිර්මානශීලී සහ මානුෂික ප්‍රවිශ්ඨයයි.

මේ සියල්ලටමත් වඩා ලෝකය පුරාම කොවිඩ් ගෝලීය වසංගතය සමඟ එදිනෙදා සටන් වැදීසිටි විශාලතම ප්‍රජාව වූයේ ස්ත්‍රීන්ය. ඒ සාත්තු සේවිකාවන් වශයෙනි. ලොව පුරා සාත්තු සේවිකාවන්ගෙන් සියයට 70-90 දක්වා සිටින්නේ ස්ත්‍රීන්ය. මේ ස්ත්‍රීන්ගේ අමිල මෙහෙය අගයන විවිධාකාර උත්සව 2020 වසරෙහි ලොව පුරාම පැවැතුණි. එයම පමණක් වුවත් 2020 ගැහැණුන්ගේ වසර ලෙස ලිවීමට ප්‍රමාණවත්ය.

2020 වසරෙහිදී මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ පෙරමුණු බල ඇනි බවට පත් වීමට රටවල් ගණනාවකදීම ස්ත්‍රීහු සමත් වූහ.

පසුගිය මාස හය පුරා තවම අතනෑර කෙරීගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය සදහා බෙලරුසියානු ජන අරගලයේ පෙරමුණෙහි ගමන් කරන්නේ එරට ස්ත්‍රීන්ය. ස්වෙට්ලානා ත්සකනෙට්ස්කෙයා එරට විපක්ෂයේ නායිකාවයි. දරුණු පොලිස් මර්දනයන්ට මේ ස්ත්‍රීන් මුහුණ දුන්නේ සුදු රෝස මල් රැගෙන සාමකාමීව පා ගමනේ යෙදීමෙනි.

සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමට පැමිණෙන මුහුණ වසා ගත් පොලිස් නිලධාරීන් ඉදිරියට ගොස් ඔවුන්ගේ මුහුණු ආවරණ බලයෙන් ඉරා දැමූ එක් යෞවනියක “මුන්ගේ මුහුණූ වීඩියෝ කරගෙන රටටම පෙන්පල්ලා” යැයි කෑ ගැසුවේ අත්අඩංඟුවට පත්වන බව දැන දැනමය. එවැනි වීර කාව්‍යයන් ලියූ බෙලරුසියානු ස්ත්‍රීන් බොහෝ වෙත්. ඔවුන් අදත් මේ දැනුත් හිරි වැටෙන සිතල නොතකා වීදියේ සටන්පාඨ කියමින් ගමන් ගන්නවා ඇත.

2000 වසර පුරාමත් ලතින් ඇමෙරිකාවෙහි චිලි දේශයෙහි සිසු සිසුවියෝ සිය අයිතීන් ඉල්ලා සම සමව සටන් වැද සිටියහ. 1973 සැල්වදෝර් අයන්දේගේ සමාජවාදී ආන්ඩුව පෙරළා දෑමූ හමුදා නායක අගස්තීනෝ පිනොචේ විසින් පිහිටුවන ලද ව්‍යවස්ථාව අහෝසිකර නව ව්‍යවස්ථාවක් පිහිටුවීමට චිලී වැසියෝ 2020 ඔක්තෝබරයේදී ජනමත විචාරනයකින් තීරණය කළහ. මේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්හි ස්ත්‍රී සහභාගිත්වය ඉදිරියට ගෙන යමින් ලොව කොතැනකවක් නොමැති තරමේ ජයක් ලැබිමට එරට ස්ත්‍රීහු සමත් වූහ. එනම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හරි අඩක් ස්ත්‍රීන් විය යුතු බවයි! ඒකාධිපති පිනෝචේගේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටියේ ස්ත්‍රීන් දෙදෙනෙක් පමණි. වත්මන් ශ්‍රී ලංකා ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙහි ඇත්තේ එක් ස්ත්‍රියකි.

2020 වසර පුරා තායිලන්තයේ සිට හොංකොං දක්වාද ඉරානයේ සිට පෝලන්තය දක්වාද මානව ගරුත්වය රැක ගැනීමේ අරගල ස්ත්‍රීන් විසින් පණ පොවන ලදී.

2020 ප්‍රථම වතාවට ලෝකයේ බලගතුම රාජ්‍යය වන ඇමෙරිකාවෙහි උප ජනාධිපති ධුරය කමලා හැරිස් නම් ස්ත්‍රියට හිමි වූවාය. ඇය විසින් සිය උපදේශක කමිටුවට පත් කර ගත්තේද ස්ත්‍රීන්ම පමණි.

ස්කොට්ලන්තය සිය රටෙහි සියළුම ස්ත්‍රීන්ට මාසික ඔසප්වීම සදහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා යනාදිය නොමිලයේ දීමට යෝජනා සම්මත කළ ප්‍රථම රට බවට පත්විය. 2021දී තව බොහෝ රටවල් මෙම ප්‍රශංසනීය පිළිවෙත අනුගමනය කරනු අපට දැකිය හැකිවනු ඇත. මේ වනාහී අනාගතයේ සුභ ලකුණුය.

ඇෆ්ගනිස්ථානයේ, මවගේ නම දරුවන්ගේ උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට 2020 වසරෙහි නීති සම්මත කළාය. මේ තාක් මවගේ නම් එරට උප්පැන්න සහතිකවල තිබුණේ නැත.

පාපන්දු ක්‍රීඩිකාවකටද ක්‍රීඩකයින්ට හා සමාන දීමනා ගෙවීමට බ්‍රසීලය සහ සියරා ලියොනය තීරණය කරමින් දැනටමත් එම පියවර රැගෙන ඇති ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නොර්වේ සහ නවසීලන්තය සමග එක්විය.

මෙම සටහන ලියන අතරවාරයෙහි මා වෙත වට්ස්අප් හරහා පින්තූර දෙකක් ලැබුණි. එකක් ශ්‍රී ලංකාවෙනි. වීඩියෝවක් වූ අනෙක විලියෙනි.

ලංකාවෙන් ලද පින්තූරය දෙහිවල හරහා යන ත්‍රී රෝද රථයකි. එහි පිටුපස විශාල වර්ණවත් අකුරින් මෙසේ ලියා තිබේ: “ඇඟට හිරවූ දුහුලු සළු ඇද. පෙන්වයි නොපෙන්විය යුතු තැන් පවා මහමඟ. අනේ මෙහෙම ගැහැණු ගොඩයි. අපට මොකද අම්ම ගහයි.” ස්ත්‍රී අසංවර බව ගැන තවත් හෑලි එහි ලියා තිබේ.

මට ලැබුණු අනෙක් වීඩියොව කලාකාමී තරුණියන් කණ්ඩායමක් ස්ත්‍රින්ට එරෙහි ප්‍රචන්ඩත්වයට විරුද්ධව වීදි රංගනයකි. එය රිද්මයද හැඩයද මන බදී. කෑගසති. උඩ පනිති. වැළද ගනිති. ගයති. නටති. ඇසට සතුටු කදුළු ගෙනෙයි. එහි පෙනෙන්නේ ඔවුන් ඇද සිටින ඇදුම් නොව සටන්කාමීත්වයි. අයිතිය උදසා හඩ නැගීමයි.

වෙනසක මහත!

2020 ස්ත්‍රීන්ගේ වසර වන්නේ ඔවුන් ලද ජයග්‍රහණයන් නිසා පමණක්ම නොව ඉහත කී ත්‍රීරෝද සංස්කෘතික පොලීසිවලට එරෙහිව ලොව ගැහැණුන් විසින් කරන ලද සහ කරමින් සිටින අභීත අරගලද නිසාය.

ඔවුන් ගැන නොලියා මේ සටහන අවසන් කරන්නේ තවත් සතියක් ළඟ ළඟම එනු ඇති බව සිහියට ගනිමිනි.

2020ට ජයවේවා!

මානව නිදහස සඳහා අරගලය අතනෑර ඉදිරියට!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya