ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද?

සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන් කිරීමට ලක් වූ මිනිසුන්ට ඇති වේදනාව අපිරිමිතයි. ඔවුන් සෑම දිනකම හුස්ම ගන්නේ තම ආදරණීයයා කොහේද කෙසේ සිටිනවාදැයි තැවෙමින්. ඔවුන්ගේ අවසන් වදන් සිහි කරමින්. ඔවුන් සමග වූ අතීත මතක මාත්‍ර ස්මරණය කරමින්. ඒ වේදනාව නොදැනෙන සමාජයක් මනුෂ්‍යත්වයෙන් බිහි වූ සමාජයක් නොවේ. බලහත්කාරි අතුරුදහන් කිරිමට ලක් වූ තම පුරවැසියන් පිළිබඳ ‘සත්‍ය’ හෙළි කර ‘යුක්තිය’ ඉටු කිරීමට අසමත් රාජ්‍යයක් තවමත් ශිෂ්ටත්වය අත්පත් කරගත් රාජ්‍යයක් නොවේ. අතුරුදහන් වූවන් පිළිබද, ‘සත්‍ය’ සහ ‘යුක්තිය’ ඉටු කිරීමට බල කරමින් ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් සිය තවත් එක් ආරම්භයක් LAST WORDS නමින් වන ක්‍රියාවළිය මෙසේ අන්තර්ජාල අවකාශය තුළට මුදා හරිමු!

අතුරුදහන් කිරීම් අතුරුදහන් නොකරමු!

මාධ්‍යවේදී, ප්‍රගීත් එක්නැලිගොඩ මේ දූපතේ දී අතුරුදහන් කරන්නේ 2010 ජනවාරි 24වනදා, එනම් අදට හරියටම වසර 11කට පෙරය. මාධ්‍යවේදී ප්‍රගීත් සොයාගැනීම සදහා එදවස සිට මේ දක්වා ජාතික මෙන්ම ජාත්‍යන්තර ලෙසත් විවිද අන්දමේ මැදිහත්වීම් සිදු විය. ඒ අතර ප්‍රගීත් ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ නම් දිරිය ගැහැණිය විසින් සිය ආදරණිය සැමියා සොයාගැනීම සදහා කරමින් ඇති කැපකිරිම, වෙහෙස ඉතාමත් විශාලය. නමුත් තවමත් ප්‍රගීත් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා යැයි කියනු ලැබූ කිසිදු ආණ්ඩුවකට මේ දක්වා නොහැකි වී තිබේ. නමුත් සන්ධ්‍යා ඇතුලු ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද ප්‍රගීත් ට යුක්තිය ඉටු කිරීම සදහා මේ දක්වාද විවිද අන්දමේ මැදිහත් වීම් කරමින් ඇත. නමුත් තවමත් ප්‍රගීත් සම්බන්ධයෙන් සත්‍ය සහ යුක්තිය පේන තෙක් මානයකවත් නැති සේයකි.

එවැනි තත්ත්වයක් තුළ ඉහත පළකරන ලද්දේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ 2010 ජනවාරියේ දී, ඇය සමග කිවූ අවසන් මතකයයි. අතුරුදහන් කිරීමට පෙර ඇයත් සමග බෙදාගත් ආදරණීය, උණුසුම් ‘අවසන් වචන’ සමුදායයි. ඒ මතකය මෙළෙස අප විසින් පළ කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව ‘සත්‍ය’ සහ ‘යුක්තිය’ වෙනුවෙනි.

මෙහිදී ‘අවසන් වචන’ වලින් පමණක් යුක්තිය ඉටු නොවීම හෝ ඉටුවීම වෙනම අදහසක්. නමුත් අපිට පුලුවන් සංවේදී අදහස් හරහා, අතුරුදහන් වීම් වලට විරුද්ධව, යුක්තිය වෙනුවෙන් වන සමාජ සහකම්පනයක් මතු කිරීම සදහා යම් වෑයමක් දරන්නට. එම සංවේදී මතක වචන හා සම්මුඛ වන මොහොතක් කියන්නේම වෙනත් අදහසක් තබා අපට පැන යාමට බැරි සංවේදී මොහොතක්. සාමූහිකත්වය පිලිබඳ, සහකම්පනය පිළිබදව තමන්ගේ වගකීම නැවත නැවතත් තම මුහුණටම අල්ලා පෙන්වන මොහොතක්. අපි ඒ මොහොත අද සිට ඉදිරියට ඔබට සම්මුඛ කරමු. ඒ LAST WORDS නමින් වන පළමු සටහන මෙසේ ඔබ හමුවේ තබමිනි!

මතකයන් මරා දැමිය නොහැක!

©VIKALPA