“…මිස් මම කථා කරන්නනේ..! පොළිසියේ…. රාළහාමි. මට පොඩි උදව්වක් අවශ්‍යයි. ඔෆිස් එකට ආවොත් මුණ ගැහෙන්න පුළුවන්ද?.”

මම එම අවස්ථාවේ කාර්යාලයෙන් පිටත සිටි බැවින් මා පැමිණීමට ප‍්‍රමාද වන බවත්, එය හදිසි අවශ්‍යතාවයක් දැයි විමසා සිටියෙමි.
“ඔව් මිස් මගේ සීමාවේ එක බොඩිමක් නිරෝධායනයට දාලා, දැන් දවස් දෙකක් වෙනවා. ඒකේ ඉන්නවා මේසන් වැඩට යන, මෑන් පවර් වැඩ කරන, දරුවන් ඉන්න සේවකයෝ ටිකක්. ඒ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතිව ඉන්නේ. අපට ඉහලින් කියලා තියෙන්නේ, අපේ සීමාව තුළ සිදු වන මෙවැනි නිරෝධායනය වන ස්ථාන වල ප‍්‍රශ්න මොන ක‍්‍රමයකින් හරි විසදන්න කියලා. මිස්ලා පසු ගිය ටිකේ ආධාර දුන්න නිසා මෙතනට උදව්වක් ගන්න පුළුවන්ද කියල බලන්න කථා කලේ.”

“ඔව් අපි පහු ගිය ටිකේ, අපේ සේවකයින්ට උදව් කළා. අපේ රාජකාරිය මෙවැනි ආධාර දෙන එකනම් නෙමෙයි. රජය හා අනෙකුත් වගකිව යුතු පාර්ශවයන් මෙම ප‍්‍රශ්න සදහා උත්තර සොයන නිසි ක‍්‍රම වෙදයක් සකස් කර ගන්න කල් සමාජ වගකීමක් හැටියට තමයි අපි ඒක කලේ”. යැයි මා එම නිළධාරියා ට මා පැවසුවෙමි.

වර්ථමාන ආණ්ඩුව තුළ රාජ්‍යය සේවය මොන තරම් අවතක්සේරුවට ලක් කර ඇත්දැයි යන්න මේ ප‍්‍රශ්ණය තුළ ඔප්පු උනා.

පැය දෙකකට පමණ පසු ආයතනයට ගොඩ වැදුනු එම නිළධාරී මහතා එතුමාගේ අවශ්‍යතාවය පිලිබද වැඩි විස්තර අප හා බෙදාහදා ගත්හ.

“ඒක තමයි මිස් රජය පැත්තෙන් ඒක අපට පවරල තියෙන්නේ. නමුත් කිසිම ප‍්‍රතිපාදනක් ඒකට නැහැ. වගකීම විතරක් භාර දීලා. අපට කියනවා කවුරු හරි ධානපතියන් හොයලා මේ ප‍්‍රශ්න විසදන්න කියල. අපි ඉතින් මේ වෙනුවෙන් යමක් කළ හැකියි කියලා හිතෙන මිනිස්සු ලගට ගිහින් උදව් ඉල්ලනවා. දැන් අපට මේ නිසා රාජකාරිය හරියට කර ගන්නත් බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු උදව් කරන්නේ මේක අපට කරන උදව්වක් හැටියට. ඊට පස්සේ ඒ මිනිස්සු රාජකාරී මට්ටමේ දේවල් අපෙන් ඉල්ලනවා. ඇත්තටම දැන් නම් රස්සාවත් එපා වෙලා තියෙන්නේ”.

“අනික් පැත්තෙන් මේ සේවකයන් වැරදිලා හරි කෝල් කරලා ඉහලට කිව්වෝත් අපට කන්න නෑ කියල මම ඉවරයි. ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ. ඉතිං අපට සිද්ධ වෙලා තියෙනවා, මේ දේවල් කාගෙන් හරි හොයලා දෙන්න”.

ඇත්ත වශයෙන්ම මෙම නිළධාරීන් කෙතරම් අපහසුවකට පත් වී ඇත්දැයි එම කතාවලින් ඉතා පැහැදිලිව පෙනෙත අතර එම කාලය තුළ, ග‍්‍රාම නිළධාරීවරුන් මුහුණ දෙන්නේද එවැනිම තත්වයකටය.

පසුගිය කාලය තුළ මෙම ප‍්‍රදේ්ශයේ ග‍්‍රාම නිළධාරීන් හැර, අපහාසයට, අවමානයට හා බැනුම් ඇසු තවත් වෙනත් පුද්ගලයන් නැති තරම්ය. රජය විසින් ප‍්‍රදේශයේ පදිංචි කරුවන්ට රුපියල් 5000 ක මුදල් ආධාරයක් දුන් අතර තාවකාලිකව පදිංචි කරුවන්ට මුදල් ලබා දීමට, ප‍්‍රථිපාදන වෙන් කිරීම රජය විසින් පැහැර හැරීය නමුත්, රාජ්‍ය මාධ්‍යන් හරහා එම මුදල සියල්ලන්ටම ලබා දෙන බව ට ප‍්‍රචාරය කරන ලදි. එහිදී නේවාසිනයින්ගේ දෝෂාරෝපනය කෙලින් ම යොමු වූයේ ග‍්‍රාම නිළධාරීන්ටය. ඉන් අනතුරුව නිරෝධායනයට ලක් වන පවුල් සදහාද රුපියල් 10,000 ක වියළි සලාක ඇතුළු ආධාර ලබා දෙන බවට රජය විසින් ප‍්‍රචාරය කළ අතර, එය ලබා දුන්නේද ස්ථීර පදිංචි කරුවන්ට පමණි. එම ක‍්‍රියාවලිය තුල ද මෙම නිළධාරීන් ගුටි නොකා 99 න් බේරුණ අවස්ථා එමටය. එපමණක් නොව, මෙම අසරණභාවයට පන්ව සිටින නේවාසිකයන්ගේ තොරතුරු සහිත පොරම පුරවන්නට රජය විසින් මෙම නිලධාරීන්ට විටින් විට පැවරීම තුළ නේවාසිකයින් සැක උපදවා ගත්තේ මෙම පෝරම පුරවා මුදල් ග‍්‍රාම නිළධාරීන් ගසා කෑ බවටය. මේ පිලිබදව ග‍්‍රාම නිළධාරීන් ඉතා අසරණ භාවයෙන් අප හා තොරතුරු බෙදා හදා ගත් අවස්ථා ද එමටය.

පහල මටිටමින් මිනිසුන් හා ගැටෙන මෙම රාජ්‍ය සේවකයින් ඉතා අසරණභාවයට හා හෑල්ලූ කිරීමේ වැඩ පිළිවෙක් හරහා රජය විසින් සිදු කරන්නේ කුමක්දැයි ඉතා ප‍්‍රශ්න සහගතය.

එමෙන්ම, මෙසේ කම්කරු පන්තිය මත සිදු වන පාන්තික රැවටීම, වෙනස් කොට සැළකීම, හා හෑල්ලූවට ලක් කීරීම සදහා රාජ්‍ය නිළධාරීන් යොදා ගැනීමත් ඒ තුළ රාජ්‍යය නිළධාරීන් අවභාවිතා කිරීමත් අතිශය ශෝචනීය තත්වයකි.

අවසානයට අපට අසන්නට ඇත්තේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මෙයද කියාය.

අශීලා දංදෙණිය | Ashila Dandeniya