මෙවර ජාතන්තර කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්ගේ හුදෙක් මුළු මහත් සමාජයම සමාජ, ආර්ථික හා දේශපාළන වශයෙන් බරපතල කඩා වැටීමකට ලක් වු ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළයි.

එක් අතකින් මීට වසරකට පමණ ඉහතින් ආර්ම්භව මේ දක්වාත් අප මුහුණ දෙමින් සිටින කොරෝනා ව්‍යවසන තත්වය තුළ, වඩාත් අසරණ තත්ත්වයට, හා හිංසනයට ලක් වීමට සිදු වූයේ ස්ත‍්‍රියටයි. පවුලේ ආදායම් මාර්ග අහිමිවූ පසුබිමක් තුල සීමාවන් ඉක්මවා පවුලේ බර කරට ගෙන දරුවන්ද කර පින්නා ගනිමින් පාරට බැසීමට සිදු වූයේ කාන්තාවටයි. එසේ දුක්විද පවුල රුකීමට නොහැකි අවස්ථාවල ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වයට ලක්වීමටත්, සමාජයෙන් අවමන් වීදීමටත් සිදු වූයේ කාන්තාවටයි. පොදුවේ ගත්කල පවුලේ වගකීම වැඩි වශයෙන් පැවරුනේ කාන්තාව වෙතයි.

මෙහිදී දරුවන්ගේ පෝෂනය, අධ්‍යාපනය පිලිබද මානසික පීඩනයටද වැඩි වශයෙන් මුහුණ දෙන්නේත් ඒ සදහා උර දෙන්නේත් ඇයයි. මෙවන් පසුබිමක් තුල රැකියා අහිමි කිරීෙමිදී වැඩි වශයෙන් රැකියා කප්පාදුවට ලක් කරනු ලැබුවේ ද කාන්තාවන්ගේ රැකියාවනුයි.

මෙවන් පසුබිමක අප සමරනු ලබන කාන්තා දින වැඩසටහන් ගමන් කළ යුත්තේ කුමන දිසාවකටද යන්න බරපතල ප‍්‍රශ්ණයකි.

එක් අතකින් රජය කාන්තා දින සතියක් ප‍්‍රකාශයට පත් කර ඇත. මාර්තු 08 වන දින ”අම්මාවරුනේ” යනුවෙන් නිදහස් චතුරස‍්‍රයේදීත් 09 වන දින ”දියණිය” යනුවෙන් සුහුරුපාය 02 වන මහලේදීත්, 10 වන දින ”ව්‍යවසායක ඇගැයුම” ලෙස මීගමුව නගර සභා ශාලාවේදීත්, 11 වන දින ”දිරිය ජනනී” නමින් රාජගිරිය වෘත්තීය පුහුණු අධිකාරීයේදීත්, 12 වන දින ”ඥාණ ප‍්‍රදීප” යනුවෙන් සෙත්සිරීපාය 06 වැනි මහලේදීත් 13 වන දින ”අප පළමු පාසල මවි කුසයි” යනුවෙන් උතුරු කළුතර අශෝකාරාමයේදීත්, මාර්තු 14 වන දින ”මාතෘ වන්දනා” යනුවෙන් අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදීත් මෙසේ සැමරුම් උත්සව සංවිධානය කර ඇති බව වාර්ථා වෙයි.

කාන්තා හා ළමා අමාත්‍යාංශය ලෙස, අමාත්‍යාංශයක් නම් කරමින් මෙතෙක් ඒ වෙනුවෙන් පැවති කැබිනටි අමාත්‍යය ධුරයද ඉවත් කර ඇති පසුබිමක, කාන්තාවන් උදෙසා නිසි ගෞරවයක් ලැබෙන පරිදී, ඔවුන්ගේ ඇත්ත ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය වන පරිදී, ඔවුන් ඇගයීමට ලක් නොකිරීම විමතියට කරුණක් නොවේ.

අප සියළු දෙනා දන්නා පරිදි ලංකාවේ සමස්ථ ජනගහනයෙන් වැඩි කොටස කාන්තාවන් වේ. ඡන්ද දායකයින්ගෙන් අති බහුතරය කාන්තාවන් වේ. අධ්‍යාපනය තුළ විවධ පරාසයන් ගත්කල ඉහල ප‍්‍රථිශතයක් කාන්තාවන් නියෝජනය කරයි. නමුත් මේ වන විට සෑම ක්ෂේත‍්‍රයකම ඉහල තීරකයින් පිරිමින් බවට පත් වූ පසුබිමක කාන්තා ප‍්‍රශ්ණ මුළුමනින්ම අමතක කර දමන තත්වයක් නිර්මාණය වීම අහම්බයක් නොවේ.

එක් අතකින් මැද පෙරදිග සේවයේ නිරත කාන්තාවන් තම රටට පැමිණීමට අවශ්‍ය මුදල් සොයා ගන්නට ලිංගික සේවයේ නිරත වන්නට සිදු වී ඇති බව වාර්ථා වේ. එසේ උපයන මුදල් මංකොල්ල කන්නට වර්ථමාන රජයට කිසිම හිරිකිතයක් නැත. එක් අතකින් නිදහස් වෙළද කළාප කම්කරුවන් කුසට අහරක් නොමැතිව පාළකයන්ගේ දැඩි සූරා කෑමට ලක් වෙමින් දහදුක් විදියි. ඔවුන්ට ශරීර කෘත්‍යය කිරීමටවත් විනාඩියක් වැය නොකොට ඒවාද හිරකරගනිමින් උපයන මුදලින් සුර සැප විදින්නට පාලකයින්ට විලිලැඡ්චාවක් නැත. අනෙක් අතින් ගන්කල තේ දළු නෙළන කාන්තාවන්, රොටී කෑල්ලකින්, කහට උගුරකින් ජීවිතය සරි කර ගනිමින් උපයන මුදලින් සැප වාහන භුක්ති විදින්නට පාළකයින්ට කිසිදු අවුලක් නැත. අනෙක් අතින් අද ක්ෂුද්‍ර මූළ්‍ය ණය උගුලේ හිරවුනු 24 ලක්ෂ තිස්අට දහසකට වැඩි කාන්තාවන් පිරිසක් මේ වන විට පොළොන්නරුව ප‍්‍රදේශයේ අඛංඩ උපවාසයකට වාඩි ලා ගෙන හිදී. මේවා ඔවුන්ගේ ප‍්‍රශ්ණ නොවන බව පෙන්වමින් කාන්තා දින සැමරුමි සතියක්ද, ඒ අලලා සංදර්ශන විගඩමක්ද පෙන්වීමට රජය සැලසුමි කර ඇත.

මෙසේ පොදුවේ ගත් කළ සෑම කේෂ්ත‍්‍රයකම පාහේ දුක් විදින ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ළංඝනය වන පසුබිමක කාන්තා අයිතීන් සුරක්ෂිත වූ වටාපිටාවක් අපේක්ෂා කිරීම, ඇත්ත වශයෙන්ම හාස්‍යයට කරුණකි.

අශීලා දංදෙනිය | Ashila Dandeniya