කොළඹ වරායට ආසන්නව මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ ශාකවලට අතිශයින්ම අහිතකර අම්ලයන්, රසායනික ද්‍රව්‍ය සහ ගින්නෙන් දැවී ගිය විවිධ කොටස් මුහුදට එක් වීම නිසා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වු පාරිසරික විනාශයක් සිදුවෙමින් පවතින බව මීගමුව පුරවැසි එකමුතුව තහවුරු කරයි.

මීගමුව මුහුදු තීරයේ නිරීක්‍ෂණයන් ට අනුව, මුහුදු තීරයේ ජලය අවපැහැ ගැන් වී ඇති අතර මුහුදෙන් හමන සුළගේ මින් පෙර විඳ නැති දුගඳක් වහනය වෙමින් පවතින අතර පිරිසිදු කිරීමට අපහසු තරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු වෙරළේ ගොඩගැසෙමින් පවතින බව මීගමුව පුරවැසි එකමුතුව ප්‍රකාශ කරයි.

පරිසරවේදීන් සහ සාගර විශේෂඥයින් මෙම විනාශය සම්බන්ධයෙන් සිදුකර ඇති නිරීක්‍ෂණ සහ අදහස් හුවා දක්වන මීගමුව පුරවැසි එකමුතුව, මින් සිදුවිය හැකි විනාශය මෙතෙකැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය සාගර ජලයට, මත්ස්‍ය සම්පතට, ජලජ ශාක සහ කොරල් පරවලට මහා විනාශයක් ඇති කරන බවත්, නැවෙන් මුහුදට එකතු වෙන කිසිදු භාණ්ඩයක් ස්පර්ශ නොකරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය ජනතාවට අනතුරු අගවා ඇත්තේ මේ තුළ අධික විස සහිත රසායනික ද්‍රව්‍ය රැදී තිබිය හැකි බැවින් බවත් යැයි සඳහන් කරයි.

මේ වන විටත් මුහුදේ මසුන් මිය ගොස් ජලය මතු පිට පාවෙමින් වෙරළට ගොඩගසාගෙන ගෙන එන අතර ඒවා තුළ නුහුරු ද්‍රව්‍ය රැදී ඇති බව නිරීක්‍ෂණය කළ හැකි බව ප්‍රකාශ කරන ඕව්හු, රජය ධීවරයින්ට මෙම මුහුදු ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර මෙම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසටද අනතුරු අගවා ඇති බව සඳහන් කරයි.

මෙම අති විනාශය හේතුවෙන්, කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව කබලෙන් ලිපටම ඇද වැටී ඇති බව මීගමුව පුරවැසි එකමුතුව අවධාරණය කරයි.

මෙම නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර සිටම එහි තිබූ බහාළුම්වලින් රසායනික ද්‍රව්‍ය වහනය වෙමින් පැවති බැවින් හදිසි ගොඩබෑමක් සදහා කටාර් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති අතර එම රටවල් එය ප්‍රතික්‍ෂ්ප කර ඇති අතර නියත වශයෙන්ම අවධානමක් පවතින බව දැන දැනම මෙම බහාළුම් නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම පිළිබදව නිසි බලධාරීන් අවසර දුන්නේද? අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්, පෙර සූදානම හා උපකරණ නොමැති අවස්ථාවක මෙසේ අවසර දුන්නේ කුමන පදනමකින්ද යන්නද මීගමු පුරවැසි එකතුව ප්‍රශ්න කරයි.

”පෙර සූදානම පිළිබදව අවබෝධයකින් කටයුතු කළේ නම් මේ වන විට සිදු වී සහ සිදු වෙමින් පවතින විනාශය වලක්වා ගත හැකිව තිබු බව මීගමුව පුරවැසි එකතුවේ අදහසයි. එසේම මීට මාස ගණනාවකට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී මෙවැනි අනතුරක් සිදු විය. මේ වන විට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ආසන්නයේ අති විශාල නෞකා ප්‍රමාණයක් එහා මෙහා ගමන් කරන නාවුක කේන්ද්‍රයක් ලෙසද නම්කර ඇති අතර මෙවැනි අනතුරුවලට මුහුණ දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත්තේ මන්දැයි යන ප්‍රශ්නයද මතු කරමු.”

මෙම මහා අනතුර නිසා වායු දූෂණය, සාගර දූෂණය මෙන් ම ගොඩබිම ද දූෂණයට පත්වෙන අතර දරුණු සෞඛ්‍යය ගැටලූ සමග ආපදා තත්ත්වයක් ඇති විය හැකි බව ප්‍රකාශ කරන ඔව්හු, සාගරයේ සිදුවන මෙවැනි අනතුරු පිළිබදව නිත්‍යානුකූලව ක්‍රියාත්මක විය හැකි සාගරය හා බැදුණු ජාත්‍යන්තර සම්මුති ගණනාවක් ඇතත් ශ්‍රී ලංකා රජය මේ සම්මුති බොහොමයක් අනුමත කර නොමැති බැවින් අවම වශයෙන් වන්දි ලබා ගැනීමේ ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ගයට පිවිසීමට ඉඩ ඇහිරී ඇති බව මේ පිලිබද අදහස් දක්වන පරිසර වේදීන් සදහන් කරන බව මීගමු පුරවැසි එකතුව සඳහන් කරයි.

මේ පිළිබදව උනන්දුවක් දක්වන පරිසර සංවිධාන සහ පුද්ගලයින් සමග නිශ්චිත නීතිමය සහ ප්‍රජා සහභාගිත්ව ක්‍රියා මාර්ගයන්ට යොමු වීමට අදහස් කරන බව සඳහන් කරන මීගමුව පුරවැසි එකතුව, රජයේ සහ අදාළ ආයතන සහ බලධාරීන් විසින් වහා ක්‍රියාත්මක කළයුතු බවට අවධාරණය කර සිටින කරුණු 08ක් ඉදිරිපත් කරයි.

1. මේ මහා විනාශය නිසා තමන්ගේ එදිනෙදා ජීවන වෘත්තියේ නිරත වීමට නොහැකිව ආදායම් අහිමිව පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන ලබා දීමට වහාම පියවර ගැනීම.

2. පරිසරයට සිදුව ඇති හානිය පිලිබදව සත්‍ය හෙලිදරවු කිරීමට රජය පියවර ගත යුතුය.

3. ශ්‍රී ලංකාව තුළ පවතින පහසුකම් සහ සම්පත් ප‍්‍රමාණවත් නොවන්නේනම් ජාත්‍යන්තර සහය ලබාගෙන හෝ මේ සිදුවෙමින් විනාශය නතර කිරීමට වහ වහා කටයුතු කිරීම.

4. මුහුදු තීරය ඔස්සේ පැතිරෙමින් තිබෙන විනාශකාරී අප ද්‍රව්‍ය මීගමු කලපුවට සහ මුහුදට සම්බන්ධව ඇති අනෙකුත් මිරිදිය ජලාශ, ගං`ගා සහ ඇළ මාර්ගවලට කාන්දු වීම නතර කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම.

5. විද්‍යාත්මක පදනමක් මත ඇති වී ඇති පාරිසරික, ආර්ථික සහ සාමාජීය විනාශය සහ දූෂණය පිළිබදව අධ්‍යයනය කර හානිය අවම කිරීමට පියවර ගැනීම සහ මෙම තත්වයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු ඕනෑම කණ්ඩායමකින් හෝ පුද්ගලයින්ගෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම.

6. මේ වන තෙක් ශ්‍රී ලංකා රජය වගකීමෙන් බැදී නොමැති සාගරය හා බැදුණු සාගර සම්මුති පිළිබදව අධ්‍යයනයක නිරත වී හැකි ඉක්මනින් එම සම්මුති අපරානුමත කිරීම සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.

7. ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි අනතුරු පිළිබදව නිසි අධ්‍යයනයක් තුළින් එවැනි අනතුරු වළක්වා ගැනීමට සහ ඇති විය හැකි විනාශය අවම කර ගැනීමට නිසි පෙර සූදානම් යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

8. මෙම බහාළුම් පැටවූ නෞකාවේ පැවති අවධානම පිළිබදව අවධානය යොමු නොකර හා අවදානම වලක්වාලීමට නිසි යාන්ත්‍රණයක් හා ධාරිතාවයක් නොමැතිව එය ශ්‍රී ලංකාවේ මුහුදු සිමාවට ඇතුළුවීමට අවසරය ලබා දීම පිළිබදව ස්වාධීන පුළුල් පරීක්‍ෂණයක් පවත්වා මේ සදහා වගකිව යුතු සියලූම පාර්ශ්ව සහ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒම.

(වැඩිදුර තොරතුරු සඳහා අමතන්න : හර්මන් කුමාර (0773184532) හෝ අරුණ ශාන්ත නෝනිස් (0715347403)