iMage edit and infographics; VIKALPA.ORG

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් ට ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට අවසර දීමට බළධාරීන් විසින් නියෝග කරන ලද්දේ පසුගිය අගෝස්තු 04වන දාය.

අවුරුදු 26ක් වයසැති අහ්නාෆ් ජසීම්, මන්නාරම් දිස්ත්‍රික්කයේ ඈත ගම්මානයක් වන සිලාවතුර ග්‍රාමයේ මුස්ලිම් කවියෙකි. අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, 2017 ජූනි මාසයේ දී ලියා පලකළ ‘නවරසම් (நவரசம்)’ පද්‍ය සංග්‍රහය ගැන සහ අහ්නාෆ් විසින් පුද්ගලයින්ව මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදි ක්‍රියා සඳහා යොමු කිරීම කළ බවට චෝදනා කරමිනි.

2020 මැයි 16 දා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමා මුදාහරින ලෙස අහ්නාෆ් ජසිම් කවියා ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය අගෝස්තු 4දා කැඳවූ අවස්ථාවේදී අහ්නාෆ් ජසීම් ට, ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට නියෝගය ලබා දුන්නේ පෙත්සම සලකා බැලු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින, නීතීඥ සංජය විල්සන් ජයසේකර ඇතුලු නීතිඥයින් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසකි.

පහත පළවන්නේ, අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනුනු 2020 මැයි 16 දින සිට ඔහු සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලියේ Timeline සටහනයි.(රූ සටහන විශාලකර බැලීම සදහා එය මත ‘ක්ලික්’ කරන්න)

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු

විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද

සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද

අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද

අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු”

– අහ්නාෆ් ජසීම්ගේ නවරසම් (හැඟීම් නවයක්) ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයෙ උපුටාගත් කොටස්වල පරිවර්තනයකි. ‘අහ්නාෆ් ජසීම් | නිහඬ කළ කවියා’ කියවන්න සම්පූර්ණ ලිපිය

ජාතික මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සහ පුද්ගලයින් මේ දක්වාද, අහ්නාෆ් ජසීම් ට යුක්තිය, සාධාරණත්වය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික දෙමළ මහාචාර්යවරයකු වන සහ ප්‍රවීණ හා කීර්තිමත් භාෂා ශාස්ත්‍රඥයකු වන එම්.ඒ.නූහ්මාන් ප්‍රකාශ කරන්නේ “මෙම කවි වල අන්තවාදය පිළිබඳ කිසිවක් මට හමුනොවේ. මෙම එකතුවෙහි අන්තවාදයට, ප්‍රචණ්ඩත්වයට හා යුද්ධයට එරෙහිව කවි කිහිපයක් තිබේ. කවියා ආගමික සදාචාරය, මානවවාදය, ආදරය සහ සාමකාමී ජීවිතයක් පිළිබඳ වඩාත් සැළකිලිමත් වන බව පෙනේ.” Read in full