ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා සිටියත්, ඒ පිළිබදව සාධනීය පරීක්ෂනයක් පවත්වා ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට තවමත් ලංකාවේ කිසිදු බලධාරියෙක් සමත්ව නැත.

මෙසේ ඝාතනයට ලක් වූයේ මනෝහරන් රාගිහර්(1985/09/22,) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/04/07)දන්ගතු​​රෛයි සිවනාන්ද 1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985 09/16 ) යන සිසුන් 5 දෙනා ය. ඒ 2006 වර්ෂයේ ජනවාරි 2 වැනිදා ය. ත්‍රිකුණාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී ඔවුන් ඝාතනය කරනු ලැබීය.

ඝාතනය කළ සිසුන් සිහි කර ත්‍රීකුණාමලයේ ගාන්ධි වටරවුම අසල පහන් දැල්වීම ඊයේ(02)ද සිදු වූයේ ඝාතනය වූ සිසුන්ගේ සමීපතමයින්ගේ සහභාගීත්වයෙනි.Image: Lakmal Baduge

ඇම්නෙස්ට් ජාත්‍යන්තර සංවිධානය, සමඟ 2012 අගෝස්තුවේ දී, අදහස් දැක්වා සිටි ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා ඇත්තේ සිය පුත්‍රයා ඝාතනය කිරීමෙන් පසු පැමිණෙන නත්තල සහ අලුත් අවුරුදු උත්සව සමයන් තමන්ට සහ පවුලේ සැමට ඉතා දුෂ්කර කාල සීමාවන් බවයි. “මගේ පුත්‍රයා ඝාතනය කළ ඝාතකයන්, තවමත් ශ්‍රී ලංකාවට වී ඉතාම නිදහසේ සිටිනවා. මම, මගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සංවිධාන සමග එකතුව උත්සාහ දරන්නේ මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීමට. එය පමණයි එකම සැනසීම මට තිබෙන”

“ඔවුන් මගේ ප්‍රත්‍රයා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළ සිරුර. එම දර්ශණය මාව දැඩි කම්පනයට පත් කලා. ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා. එය ​වෛද්‍ය වාර්තාවේ පවා ඒ බව ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. මෙම ඝාතනයේ පළමු සාක්ෂිය මම. එය සිදුකරන ලැබු​වේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් බව ඉතා පැහැදිලියි”

“මෙම ඝාතනයෙන් පස්සේ මට සහ මගේ අනෙක් දරුවන්ට දිගින් දිගටම ජීවිත තර්ජන පැමිණියා. මට තවදුරටත් ලංකාව තුළ ජීවත්වීමේ හැකියාවක් නෑ. මට මගේ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධව කටයුතු කරන්න උවමනායි. එය මට ඇති අයිතියක්. නමුත් මට ලංකාව තුළ සිට එම අයිතිය වෙනුවෙන් කටයුතු කළ නොහැකියි. ලංකාව තුළ කිසිදු මානව හිමිකමක් සුරක්ෂිත නෑ. එම නිසයි මම සහ මගේ පවුල ලංකාවෙන් පිටවුනේ.”

“මට විශ්වාසයක් නෑ, ශ්‍රී ලංකා අධිකරණය පිළිබඳව, නමුත් මම විශ්වාස කරනවා ජාත්‍යන්තර අධිකරණයකදී අනිවාර්යයෙන්ම මගේ පුත්‍රයාට යුක්තිය ඉටුවෙයි කියලා.” යනුවෙන් ඔහු පවසි සිටී.
( උපුටා ගැනීම – Ragihar Manoharan, Sri Lanka – Write for Rights | ඇම්නෙස්ට් ජාත්‍යන්තරය නිෂ්පාදනය කළ විඩියෝවෙන්)

වෛද්‍ය මනෝහරන් එතැන් සිට ජීවිත තර්ජන හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.

2012 මාර්තු ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයින් මෙම ශිෂ්‍ය ඝාතනය ගැන පරීක්ෂණ නැවත ආරම්භකරන බවට එකළ මාධ්‍ය වාර්තා කර සිටියේ ය.

කෙසේ නමුත්, වත්මන් අගමැති, එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාවේද මෙම සිසු ඝාතනය පිළිබදව සදහන් වුවත් අද දක්වා බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක කිසිවෙකුටවත් මෙම සිසු ඝාතකයින් නීතිය ඉදිරියට පැමිණ වීමට හැකියාවක් ලැබී නැත්තේ ඇයි?

මේ එම උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාවේ(LLRC) සදහන් වන සටහනේ සිංහල පරිවර්තනයයි.

අතීත පරීක්ෂණ කොමිසම්වල වාර්තා පිළිබඳ පසු විපරම් ක්‍රියාව

9.120 “2005 අගෝස්තු මාසයේ සිට පැන නගින බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කෙරෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා සහ විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ, නිර්දේශ, විශේෂයෙන් ම 2006 ජනවාරි මාසයේ දී ත්‍රීකුණාමලයේ දී සිදු වුණු සිසුන් 5 දෙනෙකුගේ සහ මරණය සහ 2006 අගෝස්තු මාසයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ සේවකයන් 17 දෙනෙකුගේ මරණය පිළිබඳ සිදුවීම්වලට සම්බන්ධ වැරදිකරුවන් පිළිබඳව තවදුර පරීක්ෂණ පැවැත්වීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යැයි කොමිසම දැඩි ලෙස නිර්දේශ කර සිටී. එවැනි පියවරක් නීතියේ රජැයීමට ගරු කරන බව සහතික කරන බලගතු සංඥාවක් යවනු ඇති අතර, එය සමාදාන ක්‍රියාවලියට දායක වනු ඇත.

##

#Justice4theTrinco5