රාජන් රාජ්කුමාරිගේ මරණය, වැලිකඩ පොලිසියේ ඇගේ මරණය සිදුවන අවස්ථාවේදී සේවයේ යෙදී සිටි නිළධාරින් කිහිපදෙනෙක් කළ ඝාතනයක් බව කේ. පී. එස්. හර්ෂන්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (අංක 4) 2023.08.25 ලබාදුන් නියෝගයේ දැක්වේ. ඒ අනුව මරණයට හේතුව “මොට ආයුධයකින් සහ/හෝ බලයකින් මාංශපේෂීන්ට හානි සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශරීර අභ්‍යන්තරයට සිදුවූ අධික රුධිර වහනය සහ කම්පනය වීමක්..” ලෙස එම නියෝගය දක්වයි.

ඒ අනුව, පසුගිය අගෝස්තු 25 වන දින දක්වා පැමිණිලි පාර්ශවය (වැලිකඩ පොලිස් ස්ථානය) සහ අගතියට පත් පාර්ශවය අතර රාජ්කුමාරිගේ සිදුවීම හුදු මරණයක්ද එසේත් නැතිනම් ඝාතනයක්ද යන කරුණ පැවති විවාදය ද අවසන් විය. රාජ්කුමාරි ඝාතනයකින් මිය ගිය බවට ගරු මහේස්ත්‍රාත්වරයා නිගමනය කරන්නේ ප්‍රධාන කරුණු හතරක් මත ය.

1. මියගිය රාජ්කුමාරිගේ මෘතදේහය නිරීක්ෂණය කිරීමේදී නිරීක්ෂණය වූ කරුණු:

2023.05.12 දින අතිරේක මහේස්ත්‍රාත් කේ. පී. එස් හර්ෂන් පස්වරු 1.35ට පොලිස් මෘත ශරීරාගාරය වෙත යන අතර මෘත ශරීරය නිරීක්ෂණය කිරීමේ සටහන යොදයි. එම සටහනේ දක්වා ඇති කරුණු කිහිපයක් මෙසේ ය:

“මරණකාරිය….බ්ලවුසයක් ඇද ඇති අතර එය වම් පසින් කපා ඇති බව නිරීක්ෂණය වේ….බ්‍රෙෂියරයක් මෘත ශරීරය තැම්පත් කොට ඇති ට්‍රොලිය මත ඇත….මරණකාරියගේ වම් අතෙහි ඉහළ පිටත සම්පූර්ණයෙන්ම දම් පැහැ ගැන්වී ඇති අතර පහළ බාහුවෙහි කලු පැහැයට හුරු දම් පැහැයකින් නිරීක්ෂණය වේ.

දකුණු අතෙහි ද එලෙසම ඉහළ බාහුව දම් පැහැ ගැන්වී ඇති අතර, යට කොටස ද කලු සහ තද දම් පැහැයෙන් නිරීක්ෂණය වේ…. මරණකාරියගේ දෙපාවල පහළ කොටස කලු පැහැ ගැන්වී ඇති බව නිරීක්ෂණය වේ”.

2. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති මුල් අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු:

වැලිකඩ පොලිස් ස්ථානාධිපති 2023.05.12 දින ඉදිරිපත් කරන වරදක් විමර්ශනය කිරීමේ වාර්තාවේ (B 91776/04/23 ) 2023.05.11 දින සුධර්මා නෙත්තිකුමාර යන අය කළ පැමිණිල්ල විභාග කළ බවත් නිවසේ සේවයේ සිටි කුමාරි සහ අනෙක් සේවිකාවට නිවස භාර දී 2023.03.26 දින ඕස්ට්‍රේලියාවට සංචාරයක් ගිය බවත් ආපසු පැමිණ බැලීමේදී රන්භාණ්ඩ අත්බෑගයක් සොරාගෙන තිබූ බවත්, ඒ වන විට කුමාරි යන අය නිවස හැරගොස් ඇති බවටත් පැමිණිලි කර තිබෙන බව සදහන් වේ. පසුව ලද තොරතුරකට අනුව බොරැල්ල බස් නැවතුම්පොළේදී ආර්. රාජ්කුමාරි නැමති කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන පැමිණීමෙන් පසු පපුවේ අමාරුව සැදීම හේතුවෙන් කොළඹ ජාතික රොහලට පැය.18.39ට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවට කොළඹ ජාතික රෝහලේ පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන්, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනගත් බවත් එම වාර්තාවේ සඳහන් වේ.

2023.05.12 බී වාර්තාවේ දැක්වෙන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොලඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය යන ලද බවයි. 2023.05.23 ඉදිරිපත් කළ බී වාර්තාවේ සදහන් වන්නේ මුල් බී වාර්තාව සකස් කිරීමේදී වැරදීමකින් බොරැල්ල බස් නැවතුම්පොලේදී අත්අඩංගුවට ගත් බවට සටහන්ව ඇති අතර, අත්අඩංගුවට ගත් නිවැරදි ස්ථානය අංක 134/එ, කොටා පාර, බොරැල්ල බවයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිතර වෙනස් වන ස්ථාවරය ප්‍රශ්න කළ අතර සමස්ත සිදුවීම පුරාම මතු වූ ප්‍රශ්න කිහිපයක් ඉස්මතු කළේය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවටට ගැනීමේදී අත්අඩංගුවට ගත් ස්ථානය, අත්අඩංගුවට ගත් නිළධාරීන්ගේ නම් හා නිලයන්, වේලාව ආදිය පොලිස් පොතේ සදහන් කරයි. මෙම සිදුවීමේදී රාජ්කුමාරි කුමන හෝ ස්ථානයකින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළ ද ඒ පිළිබද පොලිස් පොතේ වාර්තාවක් හමු නොවේ. 2023.05.11 රාජ්කුමාරි අත්අඩංගුවට ගෙන මිය යන තෙක් සහ ඇගේ සැමියා වන සෙල්ලදුරේ යේසුරාජා 2023.05.14 දින ඇගේ මෘත දේහය ජාතික රෝහලේ හදුනාගැනීම දක්වා වූ සිදුවීම්වල කටඋත්තරයක් ගෙන නැත. යේසුරාජා ඇය මියයාම පැය කිහිපයකට පෙරත් දුරකථනයෙන් රාජ්කුමාරි සමඟ කතා කර තිබේ. රාජ්කුමාරි අත්අඩංගුවට ගන්නේ පොලිස් පැමිණිල්ලක් නැතිවය. එසේම පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ මරණය සිදුවීමෙන් පසුව ය. මරණයෙන් පසු පොලිස් නිළධාරින් විසින් රු. 10,000/=ක් මරණ කටයුතු සඳහා ලබා දෙයි. එසේම සුදර්මා නෙත්තිකුමාර යන අයගේ නිවසේ දර්ශන ලබාගැනීමට CIDට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද සිදුවේ.

3. අධිකරණ වෛද්‍ය නිළධාරී රවීන්ද්‍ර සමරනායක මහතාගේ 2023.06.01 දිනැති 22727/RS/RS දරණ මරණ පරීක්ෂණ වාර්තාවේ අන්තර්ගත කරුණු:

අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට පදනම සපයන්නේ අධිකරණ වෛද්‍යවරයා විසින් සපයන ලද වාර්තාවයි. එහි අදහස් හා මත තීරුවේ මෙසේ සඳහන්ව තිබේ. “මොට ආයුධයකින් කළ පහරදීම් නිසා ඇතිවූ බහුවිධ තැලීම් හා විසරණය වීම් නිරීක්ෂණය වේ. මොට ආයුධයකින් නැවත නැවත පහරදීම නිසා ඇතිවන තුවාල රටාවක් නිරීක්ෂණය වේ”. (සිංහල පරිවර්තනය)

4. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති විසින් වැඩිදුර වාර්තාවන් මගින් ඉදිරිපත් කරන ලද කරුණු සහ මරණ පරීක්ෂණ සාක්ෂි මගින් අනාවරණය වූ කරුණු:

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් දිසානායක 2023.05.22 දින බී වාර්තාවෙන් දන්වන්නේ සුධර්මා නෙත්තිකුමාර යන අය විසින් වැලිකඩ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි රාජන් රාජ්කුමාරි යන අය වැලිකඩ පොලිස් ස්ථානයේ සිටියදී මියගොස් ඇති බවත් එම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරගෙන සිදුකරන ලෙසට 2023.05.20 දින පොලිස්පතිතුමා නියෝග කර තිබෙන බවයි.

මේ සියලු කරුණු අනුව රාජ්කුමාරි මරාදමන ලද්දේ වැලිකඩ පොලිස් ස්ථානය තුළදී එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් බව පැහැදිළි ය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්-අංක 04 එය අපරාධයක් බවත් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් විමර්ශන නිළධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව වැලිකඩ පොලිසියේ ඒ වන විට වැඩබලන පොලිස් ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් දැනට අත්අඩංගුවට ගෙන තිබේ. 2023 සැප්තැම්බර් 18 දින සැකකරුවන් හදුනා ගැනීමට කොළඹ අංක 09 මහේස්ත්‍රාත් අධිකරණයේදී හදුනාගැනීමේ පෙරට්ටුව පැවති අතර එහිදී මහේන්ද්‍රන් සුරේශ්, රාජ්කුමාරි සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවන බ්‍රෝකර්වරයා විසින් රාජ්කුමාරිට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු හදුනාගෙන තිබේ. රාජ්කුමාරී සමඟ සුරේෂ්ව ද 2023 මැයි 11 දින පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට ද පොලීසිය අමානුෂික ආකාරයෙන් පහර දී තිබුණි.

රාජන් රාජ්කුමාරි ඝාතනය, ඒ ආශ්‍රිත විශේෂ සිදුවීම් හා අධිකරණ ක්‍රියාමාර්ග දැක්වෙන සටහනක් පහතින් දැක්වේ.

[*මෙම ලිපිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 91776/04/23 දරණ නඩුවේ සම්පූර්ණ නඩු වාර්තාව මත පදනම්ව සකස් කර තිබේ. ලිපිය සකස් කිරීමේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතීඥ සේනක පෙරේරා සහ නීතීඥ ජයරත්නරාජා ලබාදුන් සහයෝගය කතුවරයා කෘතඥපූර්වකව මතක් කර සිටී.]

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva