iMage: Numberslka

සියලු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙත,

මා, සියලුම මානව අයිතිවාසිකම් ප්‍රමුඛත්වයේ ලා සලකන, මෙන්ම විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එම සියලු අයිතිවාසිකම්වල පදනම ලෙස සලකන, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්දනය කිරීමට හැකි පමණ වෙහෙසෙන ලාංකික පුරවැසියෙක්මි. එම කෙටි හැදින්වීම පදනම් කර ගනිමින් මේ ලිපිය පාර්ලිමේන්තුවේ සියලු මංත්‍රීවරුන් වෙත මෙසේ ලියමි.

‘Online Safety’ නමින් සදහන් කරමින් පසුගිය දා ගැසට් කරන ලද පනත් කෙටුම්පත අද(23) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනූනි. එම විවාදය හෙටත්(24) පැවත්වෙන අතර ඉන් පසු ඡන්ද විමසීමට නියමිත බව ඔබ දැනටමත් දන්නා කරුණකි. කෙසේ නමුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය දක්වන බව විපක්ෂය ප්‍රකාශ කළ අතර, ඉන්පසුව කතානායකවරයා විසින් පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වූ බවත් එම ඡන්ද විමසීමේදී, විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් ලැබුණී. මෙය කියවන ඔබ 83 ගොඩේද 50 ගොඩේද කියා මා දන්නේ නැත. නමුත් ඔබ 83 ගොඩ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් නම්, කෙටියෙන්ම කියන්නට ඇත්තේ ඔබේ කටත් වසා ගෙන, ඔබ නියෝජනය කරන ජනතාවගේ කටවලුත් වැසීමට ඔබ යම් පමණකට දැනට දායක වෙමින් ඇති බවය. එය හෙට තව දුරටත් තහවරු වනු ඇති.

කෙසේ නමුත්, එම පනත් කෙටුම්පත ඔබ සියලු දෙනා දැනටමත් අඩු වැඩි වශයෙන් කියවා ඇතැයි මා උපකල්පනය කරමි. එසේ වුවත් එම පනත් කෙටුම්පතේ ඔබ විසින් අවධානයට ලක්කල යුතු මූළික කරුණු කිහිපයක් පමණක් මේ අවසාන මොහොතේත් පළමුව සදහන් කරමි.

විශේෂයෙන් පනත් කෙටුමපතෙහි 3A මගින් දක්වා ඇති පැතිරුණු සහ නොපැහැදිලි අර්ථකතන සහිත පුළුල් පරාසයකට විහිදුනු වරදවල් දක්වා ඇත. එබැවින් ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ගෙන් බැහැරටම විහිදේ. මෙය අතිශයින් භායානක බව ඔබලාට අමුතුවෙන් කිව යුතු නොවේ. අතරමැදියන් සම්බන්දයෙන් වූ පුළුල් අර්තදැක්වීම්ද තවත් කරුණකි. අවදානම් සහගත බව සහ ක්‍රියාකාරීත්වයේ ස්වාභාවය සලකමින් සේවා පිළිබද විමසනු වෙනුවට පොදුවේ පුළුල් පරාසයක විහිදෙන අතරමැදියන් ගෙනහැර දක්වා ඇත. මෙම තත්ත්වය සියලු අන්තර්ජාල සේවාවන් පුරා පැතිරෙන අධිනියාමන තත්ත්වයකට මග පාදනු ලබයි. බ්ලොග්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා ඇතුලු සන්නිවේදන වේදිකා සියල්ලටම සහ ඒවා භාවිතා කරන්නන්ටද බලපෑමක් එල්ල කරනු ඇත.

එසේම පනත් කෙටුම්පතේ 3වන කොටස මගින් සාපරාධි වගකීමක් වන ‘තහණම් ප්‍රකාශන සන්නිවේදනය’ සම්බන්ධයෙන් අන්තර්ජාල වේදිකාවල අතරමැදියෙක් ට අදාළව දඩ මුදල් සහ වසර 5 සිට 20දක්වා වූ දඩුවමක් යෝජනා කරනු ඇත. ව්‍යාජ ප්‍රකාශනයක් වැනි නීති විරෝධී අන්තර්ජාල අන්තර්ගතයක් ‘සාපරාධීකරණයට’ ලක් කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමානුපාතික නොවන අකාරයට සීමා කිරීමක් වනු ඇත. එසේම තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, “තහනම් ප්‍රකාශය” පිළිබදව පනත් කෙටුම්පතේ පැහැදිලි නිර්වචනයක් නොමැති අතර, අදාළ බළධාරීන්ට විසම්මුතිය යටපත් කිරීමට එයින් පහසු දොරක් විවර කරනු ඇත. මෙය කොතරම් භයානක තත්ත්වකට මග පාදනු ඇතිද?

එසේම මෙම පනත් කෙටුම්පත තිබෙන ලෙසම ඔබලා විසින් සම්මත කර ගත හොත්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට සහ ආර්ථික වර්ධනය උත්පාදනය කිරීමට ඉමහත් විභවයක් ඇති ක්ෂේත්‍රයක් වන Online රැකියා/ Online ආර්ථික උත්පාදනයන් සඳහා ඇති මාර්ග කෙරෙහි ද අහිතකර බලපෑමක් එල්ල කරනු ඇත. මෙම තත්ත්වය තුළ අදහස් ප්‍රකාශ කිරීම යටපත් කිරීම/ මර්දනය කිරීම තුළින් අපේ සියලු මිනිසුන්ගේ සියලු මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බව විශේෂයෙන් ඔබ වැනි පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. ඒ එහි ඇති අත්‍යවශ්‍ය වටිනාකම ඔබලා හොදින්ම දන්නා බැවිනි.

විශේෂයෙන් පනත් කෙටුම්පත විසින් යෝජනා කර ඇති “ඔන්ලයින් ආරක්ෂාව සදහා වන කොමිසම” ට ලබා දී ඇති බලය සම්බන්ධයෙන්ද ඔබලා විසින් වඩාත් ගැඹුරු ලෙස කල්පනා කළ යුතුය. එහිදී අදාළ කොමිසම විසින් අනුමත කළ නොහැකි යැයි ඔවුන් විසින් ‘සිතන’ අන්තර්ගතයන් පරීශීලකයෙක් විසින් අන්තර්ජාල පද්ධතීන්ට එකතු කිරීමේදී එම පරීශීලකයන්ගේ අනන්‍යතාවය හෙළි කරන ලෙස අතරමැදි සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටිය හැක. සංවේදී තොරතුරු රැස් කිරීමට සහ හෙළි කිරීමට සහ ක්‍රියාශීලී අධීක්ෂණය කිරීමට අන්තර්ජාල අවශ්‍ය විය හැකිය. මෙයින් සිදුවන්නේ එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩපන කිරීමකි. එසේම මිනිසුන්ගේ පුද්ගලිකත්වය සහ නිදහස් අදහස් ප්‍රකාශනයට මෙයින් අතිශය දරුණු බලපෑමක් එල්ල වනු ඇත. බියකරුම තත්ත්වය නම්, උසාවි නියෝගයකින් තොරව අන්තර්ජාල අන්තර්ගතයන් ඉවත් කිරීම සඳහා නිවේදන සහ නිර්දේශ නිකුත් කිරීමට කොමිෂන් සභාවට ඇති බලය මගින් ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය වීම මෙන්ම සේවා සපයන්නන් සහ අවසන් පරිශීලකයින්ට බලපෑම් ඇතිවිය හැක.
නැවතත් සදහන් කරන්නේ නම්, විශේෂයෙන් මෙවැනි දේශීය නීතියක් සැකසීමේදී, ජාත්‍යන්තර නීතිය, දත්ත ආරක්ෂා කිරීමේ මූලධර්ම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයන් පෝෂනය කිරීමට අනුබල දෙන වටිනාකම් අන්තර්ගත වන ලෙස සකස් විය යුතුය. නමුත් සමස්තයක් ලෙස මෙම කෙටුම්පත එම ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් කිසිවක් නියෝජනය කරන්නේ නැත.

මහජන ආරක්ෂක ඇමති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙසේ කී බව ද ඔබට මතක ඇති,

මෙම පනත ගෙන එන එන්නේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් යැයි පවසමින් යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කළේය.

ඒවා නම්,

2023 ට අදාළව අන්තර්ජාලය මඟින් කළ වැරදි පිළිබඳ පැමිණිලි 8000 වැඩි
ඒ අතර ලිංගික හිරිහැර කිරීම් – 669ක්
නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම – 506ක්

නිරුවත් ඡායාරූප 100,000 ට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍යවල සංසරණය වී ඇතැයි ද ඇමතිවරයා පැවසු බව ඔබට මතක ඇති, එසේම ඔහු මෙසේ ද පවසා තිබිණි

– අපහාස කිරීම් පිළිබඳ පැමිණිලි – 697
– සයිබර් හිරිහැර පිළිබඳ පැමිණිලි -1961ක්
– අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් – 34ක්
– ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධි – 88
– මුදල් වංචා කිරීම් – 457ක්
– පරිගණක දත්ත සොරකම් කිරීම් – 547ක්

දැන් ඇමතිවරයා විසින් ඉහත කී පැමිණිලිවලට විසදුම්/ සහන/ සහය / ක්‍රියාමාර්ග ගැනීමට අලුත් නීතියක් අවශ්‍ය වන්නේ නැත. එයට හේතුව සෘජුව සහ පැහැදිලිවම කිවහොත්, දැනට රටේ ක්‍රියාත්මක වන බොහෝමයක් නීතිවලින් අදාළ තත්ත්වයන්ට ක්‍රියාමාර්ග ගත හැකිය. ඒවා නම්,

– දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286(අ), 286 (ආ), සහ 360 (ආ)
– 1927 අංක 04 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත
– 1956 අංක 48 දරන ළමා හා යෞවන (හානිකර ප්‍රකාශන) ආඥා පනත
– 2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරිම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත
– 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත
– 2022 අංක 09 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත

දැන් ඔබට තේරෙනවා ඇති, ඇමතිවරයාම සදහන් කරන තත්ත්වයන්ට අලුත් නීතියක් අවශ්‍ය නොවන බවත්, ඇමතිවරයා විසින් මේ පනත මෙසේ හදුන්වා දෙන්නේ අන් කිසිවක් නිසා නොව විසම්මුතික අදහස් මර්දනය කිරීම පිණිස පමණක්ම බවත්, තවද ආණ්ඩුව අකමැති, කිසිදු තොරතුරක් ජනතාවට ලගා වීම වළක්වනු පණිස බවත්, ආණ්ඩුවට එරෙහි විවේචන ආරම්භ වන තැන්හීම මර්දනය කිරීමත් මූලික අරමුණු බවත්ය.

එබැවින් මෙම පනත් කෙටුම්පත මෙලෙසම හෙට(24) පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සදහා ඔබේ ඡන්දය ලබා දුනහොත් ඔබ විසින් සිදුකරනු ලබන්නේ කිසිදු දිනක නිවැරදි කළ නොහැකි දුෂඨ ක්‍රියාවක් බව මතක් කර සිටිමි. එසේම ඔබ විසින් පනත් කෙටුම්පත් සම්මත කිරීමට ඔබේ ඡන්දය සහ දායකත්වය ලබා දුනහොත්, ඔබ ජනතා ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසීම වලක්වනු බැරිය.

ජනතා ද්‍රෝහියෙක් ද? ජනතා ප්‍රේමියෙක් ද? යන්න හෙට(24) ජනතාව තීරණය කරනු ඇත.

ස්තූතියි

වසන්ත බණ්ඩාර | Wasantha Bandara