iMage/Video:vikalpa.org/Sampath Samarakoon

2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ සිය ගණනකට ජීවිත අහිමි කළ, දහස් ගණනක් වේදනාවට පත්කළ” ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 5ක් පසුගිය අප්‍රේල් 21 දා සනිටුහන් කළේය. මෙම ප්‍රහාරය සමස්ත ශ්‍රී ලාංකිකයින්ම බියෙන් සළිත කළ අතර, රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය.

කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කිංග්ස්බරි සහ ශැංග්‍රිල්ලා හෝටලය මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් සහ දෙමටගොඩ නිවාස සංකීර්ණය ට මෙම ප්‍රහාරයන් එල්ල විය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් 273(?) දෙනෙක් ඝාතනය වී 500කට අධික පිරිසක් සිය ජීවිත කාලයම ඇදන් මත ගෙවා දැමීමට සිදුව තිබේ. (බෝම්බ ප්‍රහාරවලින් කොපමණ ප්‍රමාණයක් ඝාතනය වූවා දැයි තවමත් නිශ්චිත අගයක් ප්‍රකාශ කිරීමට ලංකාවේ 2019 දා සිට පත්වූ කිසිදු ආණ්ඩුවකට නොහැකි වී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව පිළිබදව වාර්තාවල දක්වා ඇති සංඛ්‍යා එකිනෙකට පරස්පර බව පසුගිය(19) දා අනාවරණය වූයේ ‘යුක්තිය නැතිව වසර 5 ක්’ මැයෙන්, සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) පර්යේෂණ කණ්ඩායම විසින් වාර්තාවක් එළිදැක්වීමේදී ය.)

ඒ පිළිබදව මාධ්‍යවේදී ශාලික විමලසේන විසින් සමාජය හා සාමයික කේන්ද්‍රයේ(CSR) වාර්තාව උපුටා දක්වමින් සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබද දක්වා ඇති කෙටි සටහන උපුටා දක්වමු.

බලය වෙනුවෙන් වූ ඝාතක මෙහෙයුම : පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණනවත් නොදත් අපි!

* ජනාධිපති කොමිෂන් වාර්තාවේ එක් පරිච්ඡේදයක 276කි. තවත් පරිච්ඡේදයක 271කි.
* මලල්ගොඩ කමිටු වාර්තාවේ 259කි.
* හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහි පෞද්ගලික නඩුවේ 315කි.
* පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ 217කි.
* හේමසිරි ප්‍රනාන්දු නඩුවේ 268කි.
* ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 200කට අධික ය.
මූලාශ්‍රය –
යුක්තිය නැතිව වසර 5ක් : CSR පර්‍යේෂණ කණ්ඩායම පෙරේදා (19) එළිදැක්වූ වාර්තාව.

(උපුටා ගැනීම අවසන්)

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයේ සුල මුල සෙවීම සදහා පැවති ආණ්ඩු විසින්, බැලූ බැල්මටම දේශපාලන උනන්දුවක්, ඕනෑකමක් නොමැති ඇතැම් ක්‍රියාමාර්ග ගත්ත ද ඒ කිසිම උත්සහයකට හෝ මතයකට වසර 5ක් ගත වෙන විටත් පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වී තිබේ.

ඒ ඇයි? අප විමසිය යුත්තේ එයයි.

“මෙම ප්‍රහාරය දේශපාලන උවමනාව මත සැලසුම්කර සිදු කළ ඉතා නින්දිත ක්‍රියාවක්”

ප්‍රහාරයෙන් වසර 5ක් ගතවූ පසුගිය අප්‍රේල් 21 දින මීගමුව දේවස්ථානවල දේව මෙහෙයන් පැවත්වූ අතර අවසාන දේව මෙහෙය පවත්වන ලද්දේ කටුවාපිටිය දේවස්ථානයේදීය. මීගමුව මාරිස්ටෙලා විදුහලේ සිට දහස් ගණනක් මිනිසුන් සිය සමීපතමයන්ගේ ඡායාරූපද සහිතව කටුවාපිටිය දේවස්ථානය එක්විය. එහිදී ඔවුන්ගේ එක් ඉල්ලීමක් වූයේ ‘යුක්තිය සහ සාධාරණත්වය ලබා දෙන ලෙසය. කෙසේ නමුත් මාරිස්ටෙලා විදුහලේ සිට පාගමනින් දහස් ගණනක් ජනයා කටුවාපිටිය දේවස්ථානයට පැමිණෙන අතරමග(කටුවාපිටිය හංදිය) “මීගමු පුරවැසි කමිටුව” ඇතුලු සිවිල් සංවිධාන ගණනාවක් විසින් නිහඩ විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන අදහස් වූයේ “මෙම ප්‍රහාරය දේශපාලන උවමනාව මත සැලසුම්කර සිදු කළ ඉතා නින්දිත ක්‍රියාවක්” බවයි.

“අපි, මෙම ප්‍රහාරය දේශපාලන උවමනාව මත සැලසුම්කර සිදු කළ ඉතා නින්දිත ක්‍රියාවක් බව ප්‍රකාශ කරමින්, සාධාරණත්වය සහ යුක්තිය අප ඉල්ලා සිටින්නේ නැවත බලය ලබා ගැනීම හෝ බලයේ රැදී සිටිමට අනාගතයේ දී ද මෙවැනි ක්‍රියාවක් නැවත සිදුවිම වළැක්විමටයි.

අප පොදු මහජනතාවට කියා සිටින්නේ,

අසාධාරණත්වයට, අයුක්තියට විරුද්ධව පෙනී සිටිමට ඔබ ක්‍රියා නොකරන්නේ නම්, එම අයුක්තිය සහ අසාධාරණත්වය කවදා හෝ ඔබගේ දොරටත් තට්ටු කළ හැකි බවයි. මෙම පාස්කු දින ප්‍රහාරයෙන් ඔබට හෝ ඔබගේ පවුල්වල කිසිවෙකුටම හානියක් සිදු නොවුවා විය හැකිය. නමුත් ශ්‍රී ලංකාව වසර 20 කට 30 කට වරක් ඝාතන සහ අතුරුදහන් කරවීම සිදුකරන සංස්කෘතියකට හිමිකම්පාන රටක් හැටියට නැවත මෙවැන්නක් සිදුවිම වැළැක්වීම සඳහා මැදිහත් වන්න, දායක වන්න.

සෑම මසකම 21 වන දින 4-00 සිට 5-00 දක්වා මිගමු බාල්දි හංදියේදී පැවැත්වෙන විරෝධතාවයට එක්වන්න.” එහිදී මීගමු පුරවැසි කමිටුව විසින් බෙදාහරින ලද පත්‍රිකාවක සදහන් විය.

එම පත්‍රිකාවේ තවදුරටත් “පොදු ඉල්ලීම්’ ලෙස සදහන් වූයේ,

පොදු ඉල්ලීම්

– නීතිපති වෙනුවට අවම ලෙස මෙම නඩු පවත්වා ගැනීම සඳහා වූ ස්වාධින නඩු පවරන්නෙකු සහ වෙනම කාර්යාලයක් පිහිටු විය යුතුයි.

– පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගැනීම.

– නිශ්චිත සාධාරණ කාලයක් තුළ දී නඩු අවසන් කිරීමට සැලසුම් කළ යුතුයි.

– අවම ලෙස අධිකරණ නියෝග සහ කොමිසම් නිර්දේශ පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම (චූදිතයන්ව මෙම කටයුතුවලින් ඈත් කර තැඛීම සහ ඔවුන්ට උසස්විම් ලබා නොදීම)

– සියලුම පරික්ෂණ විනිවිදව සිදුකිරිම සහ සියලු වාර්තා මහජනතාව අතට පත්කිරීම

අප පසුගි කාලය පුරාම කිවූ සහ ලියූ පරිදි, සිදුකර ඇති අපරාධවලට යුක්තිය නොලැබෙන තාක්කල් ප්‍රචණ්ඩත්වය පිළිබද තර්ජනය රටක් ඉදිරියේ හැමදාමත් තිබේ. එබැවින් සියලු වින්දිතයන්ට සත්‍ය සහ යුක්තිය අත්‍යවශ්‍යය.

##

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ දේවමෙහෙය


අප්‍රේල් 21 ඝාතනය වූවන්ගෙන් කොටසක් මිහිදන් කර ඇති කටුවාපිටිය සොහොන් භූමිය



දහස් ගණනක් ජනතාවගේ සහභාගීත්වයෙන් මාරිස්ටෙලා විදුහලේ පැවති රැස්වීම



කතෝලික දේවස්ථානවල සංවිධානයෙන් මාරිස්ටෙලා විදුහලේ සිට කටුවාපිටිය දේවස්ථානයට පාගමනක්!


‘යුක්තිය සහ සාධාරණත්වය’ ඉල්ලා ‘මීගමු පුරවැසි කමිටුව’ ඇතුලු සිවිල් සංවිධාන විසින් සංවිධානය කළ නිහඩ විරෝධතාවය