Main iMage: WikeMedia

මහාචාර්ය සිවතම්බි

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි

අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 43වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි කළේය. යාපනයට පමණක් නොව අපගේ කලාපයටම ඇය අහිමි කළේය. සමස්ත ශ්‍රී ලංකාවේම දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස අවුරුදු 50 ට ආසන්න කාලයක් වැඩුණු ඇය අවසානයේ හිතාමතාම සිදුකල ගින්නකට නසන්නට හැකි වේ යැයි කිසිවෙක් නොසිතන්නට ඇත. නමුත් වර්ගවාදය කරපින්නා ගත් චින්තනයකට කළ නොහැකි කිසිවක් නැතිවා වැනිය. එයට හොඳම උදාහරණය දැවී අළු වූ ඇයයි. සමහර විට උතුරට දැනෙන්නට රිදවීමට, එදා ගිනි තැබුවෝ කල්පනා කරන්නට ඇත. නමුත් එය උතුරට පමණක් නොව සමස්ත ලංකාවටම, ලෝකයටම දැනුනි. එසේ කියන්නේ, ඉන්පසුව සිදු වූ බොහෝ දේවල් වලට ඇයගේ ගින්න එක් හේතුවක් වූ නිසාය. යාපනයට ඇය අහිමි වීමත් සමග සමස්ත ලංකාවට සාමය අහිමි වීම ආරම්භ විය. එය හුදෙක් පුස්තකාල ගොඩනැගිල්ලක් ගිනි තැබීමක් නොව ලාංකීය සංහිඳියාවට ගිනි තැබීමක් විය. එදා ඇයගෙන් ඇරඹි ගින්න ඉන්පසු ලැව් ගින්නක් බවට පත් විය. ගිනි ගන්නා කාලය වන විට, හුදෙක් පුස්තකාලයක් පමණක් නොව ජනතාවගේ බුද්ධිමය පුජා භූමියක් බවට ඇය පත් වී තිබිණි. ගිනි තබා වසර 43ක් ගත වන මේ මොහොතේ, නැවතත් අප ඒ බුද්ධිමය පූජා භූමියේ ඉතිහාසය මෙසේ සටහන් කරමු.

යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනය අසල ගොඩනැගුණු මේ සුවිශාල ගොඩනැගිල්ල 1935 වර්ෂයේ කේ. එම්. වෙල්ලප්පාගේ අදහසකට අනුව පෞද්ගලිකව ආරම්භ වූවකි. මුලින්ම මෙය හැඳින්වූයේ Jaffna Library Movement යන නමිනි. 1949 දී පුස්තකාලය යාපනය නගර සභාවට පවරා ගැණීමෙන් අනතුරුව ලෝකයේ විවිධ රටවලින් ගැනෙන ආධාර වලින් යාපනය පුස්තකාලය ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කෙරිණ. මේ පිටුපස එවකට යාපනයේ නගරාධිපතිව සිටි සෑම් කනකසාමි මහතා විය. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ ප්‍රකට කරවමින්, පසුව මෙම පුස්තකාලය මහල් තුනකින් යුක්තව, මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ආචාර්ය එස්.ආර්.රාමනාදන්ගේ අතින් නිර්මාණය විය. 1959 ඔක්තෝම්බර් මස 07 වන දින යාපනයේ පුරපති ඇල්ෆඩ් දොරේ අප්පා අතින්, යාපනය මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල විවෘත වූ අතර මෙය යාපනයේ ජනතාවගේ භක්තිමත් පූජා භූමියක් විය. පෙරදිග ලියැවුණු අතිශයින්ම දුර්ලභ පොත්පත් රාශියක් මෙම පුස්තකාලය දරා සිටීම එයට හේතුවක් වන්නට ඇත. යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ, තරුණ තරුණියන්ගේ බුද්ධිය ප්‍රභාමත් කිරීමට යාපනය පුස්තකාලයෙන් සිදු වූ මෙහෙය අපමණය.

1977 දී යාපනයේ තිබූ American Centre නැමැති පුස්තකාලය වසා දැමීමත් සමග එහි සංරක්ෂණය වූ තවත් පොත් රාශියක් යාපනය මහජන පුස්තකාලය සතු විය. තම ස්වර්ණමය යුගය පසුකරමින් සිටියදී එක්වරම දැවී අළු වී යාමට යාපනය පුස්තකාලයට සිදු විය. එදා Jaffna Library Movement ලෙස පුස්තකාලය ආරම්භ වෙද්දීම, අනික් පැත්තෙන් වර්ගවාදය ආරම්භ විය. පුස්තකාලය වර්ධනය වූ වේගයටම වර්ගවාදය ද වැඩෙන්නට විය. යාපනය පුස්තකාලය වැඩුනේ, රාජ්‍ය භාෂා පනත, විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණය, 1972, 1978 ව්‍යවස්ථා ඔස්සේ වර්ගවාදය වර්ධනය වූ දේශපාලන පසුබිමකය. අවසානයේ හරියටම 1981 මැයි 30 වෙනිදා වර්ගවාදය පුස්තකාලයට අභිමුඛ විය.

පසු කාලයක යුද්ධයෙන් හති වැටුණු යුගයක නැවත වතාවක් යාපනය පුස්තකාලය යලි ගොඩ නැගීම ආරම්භ විය. ඒ 1998 දීය. සමහර විට ඒ වන විට අවුරුදු ගණනාවක් පුරා පසුකරමින් තිබූ යුද්ධයේ වේදනාවන් විසින් නැවතත් යාපනය පුස්තකාලය ගැන සිතන්නට මග පෑදුවා විය හැකිය. එදා පටන් අද දක්වා ක්‍රම ක්‍රමයෙන් පුස්තකාලය නැවතත් නැගිටිමින් සිටියි. අළුතින් ප්‍රතිසංස්කරණය වූ ඇය අද වන විට පොත් ලක්ෂයකට වඩා දරා ගෙන සිටී. නැවතත් ඇය යාපනයේ බුද්ධිමය ප්‍රජාවට ආමන්ත්‍රණය කරමින් සිටියි. පාඨකයන් 30000කට අධික ප්‍රමාණයකුත්, නිත්‍ය සාමාජිකයන් 2200කුත් මේ වන විට ඇයගේ සේවය ලබා ඇත. දේශීය බුද්ධිමතුන් පමණක් නොව විදේශීය ලේඛකයන්, විශ්ලේෂකයන්, පර්යේෂකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දැනුම් පිපාසාව සංසිඳවා ගැනීමට ඇය වෙත පිය මනිති. ඇය නැවත වැඩෙමින් සිටියි.

අද අප පසු කරන්නේ දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කළ යුද්ධය අවසන් වී 15වන වර්ෂයයි. දකුණ තවමත් ඒ ම්ලේච්ඡත්වය විජයග්‍රහණයක් ලෙස සමරමින් සිටියි. යුද්ධයේදී උතුරට පැමිණි භට පිරිස් තවමත් උතුරේම නැවතී බලා සිටියි. ආණ්ඩුව යුද්ධයෙන් ඉගෙනගත් පාඩම් වාර්තාවන්ට පමණක් සීමා කරගෙන සිටින සේයකි. උතුර, යුක්තිය සහ නිදහස ලැබෙන තෙක් බලා සිටියි.

විශිෂ්ට මිනිසෙක් වූ මහාචාර්ය කේ. සිවතම්බි, මේ අපරාධය ගැන මෙසේ කීවේය ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’

[වසර 7කට පෙර යාපනය පුස්තකාලය ගිණිතැබීම ගැන vikalpa.org විසින් සැකසූ වීඩියෝවක්!]