මරණ දඬුවම සහ එහි මානුෂීය අර්බුදය: විමර්ශණාත්මක බැල්මක්
මරණ දඬුවම යනු ලෝකයේ බොහෝ රටවල යුක්තිය සහ දඬුවම පිළිබඳ දැඩි විවාදයට තුඩු දෙන සහ තුඩු දී තිබෙන මාතෘකාවකි. එය බරපතල අපරාධවලට විසඳුමක් ලෙස ඇතැමුන් විසින් සලකන අතර, ඒ පිළිබද දත්ත සහ තොරතුරු ඇසුරින් මෙන්ම ශිෂ්ට තත්ත්වයක සිට ගැඹුරින් සලකා බලන තවත් පිරිසක් එය මානව හිමිකම්වලට එරෙහි දැඩි තර්ජනයක් ලෙස සලකයි. මෙම ලිපිය තුළින් මරණ දඬුවමේ ස්වභාවය, එහි මානුෂීය අර්බුද, ජාත්‍යන්තර මතයන්, සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ විස්තරාත්මකව ගවේෂණය කිරීමට උත්සහා කරයි.
මරණ දඬුවමේ ස්වභාවය සහ ඉතිහාසය
මරණ දඬුවම යනු රාජ්‍යය විසින් නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කිරීමයි. එය ඓතිහාසිකව මිනීමැරුම් වැනි අපරාධයන්, රාජද්‍රෝහී ක්‍රියා, හෝ ත්‍රස්තවාදය වැනි බරපතල අපරාධ සඳහා යොදා ගෙන ඇත. පුරාණ රෝමයේ සිට ආරම්භ වූ නීති සංග්‍රහය දක්වා පැවති අතර, 2023 වන විට රටවල් කිහිපයක් පණක් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි. චීනය – (මරණ දඩුවම් බහුලව ක්‍රියාත්මක කරන රටකි. නමුත් නිශ්චිත සංඛ්‍යාලේඛන රහසිගතව තබාගෙන ඇත.) සෞදි අරාබියා – (සෞදි අරාබිය මරණ දඩුවම් බහුලව භාවිතා කරන රටකි, විශේෂයෙන් මිනීමැරුම්, මත්ද්‍රව්‍ය අපරාධ, සහ රාජද්‍රෝහී ක්‍රියා සඳහා එය භාවිතා කරයි.) ඉරාකය, ඊජිප්තුව, උතුරු කොරියාව (උතුරු කොරියාව ද මරණ දඩුවම් ක්‍රියාත්මක කරන රටකි, නමුත් එහි සංඛ්‍යා සහ ක්‍රියාවලිය රහස්‍ය ලෙස තබා ඇත. (here | here | here). මෙහි දක්වන රටවල්වල ක්‍රියාත්මක කරන මරණ දඬුවම පිළිබද විමසීමේදී එම රටවල් පිළිබද වන ‘මානව හිමිකම් තත්ත්වයන්’ ද සැලකිල්ලට ගන්නා ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. උදාහරණයකට චීනය සලකා බලන්න. ඔවුන්ගේ මාධ්‍ය නිදහස ඇතුලු මානව හිමිකම් පිලිබද තත්ත්වයන් ඇත්තේ ඉතාමත් පහළ මට්ටමකය.
කෙසේ වුවද, මරණ දඬුවම ආපසු හැරවිය නොහැකි දඬුවමක් වීම නිසා, එහි සදාචාරාත්මක හා මානුෂීය ගැටලු බරපතල ලෙස ඉස්මතු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ(Michelle Bachelet) 2021දී ප්‍රකාශ කළේ, “මරණ දඬුවම යනු මානව ජීවිතයේ අගයට එරෙහි ක්‍රියාවකි. එය අපරාධ වැළැක්වීම සදහා ඵලදායී බවට සාක්ෂි නැත” යනුවෙනි. “මරණ දඬුවම යනු මූලික මානව හිමිකම් සහ ගෞරවයෙහි මූලධර්මයන්ට නොගැලපෙන ක්‍රියාවකි.” ඇය තවදුරටත් පවසයි. (here | here | here)
එහි මානුෂීය අර්බුදයේ පැතිකඩයන්
මරණ දඬුවමේ මානුෂීය අර්බුදය, එහි ක්‍රියාත්මක වීමේදී දක්නට ලැබෙන අසමානතා, වැරදි නඩු තීන්දු, සහ වධහිංසා ආදී කරුණු තුළින් පැහැදිලි වේ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ 2023 වාර්තාවට අනුව, 2022දී ලොව පුරා මරණ දඬුවම් 883ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් බහුතරය ඉරානය (576), සෞදි අරාබිය (196), සහ ඊජිප්තුව (24) යන රටවලින් වාර්තා වී ඇත. (here) මෙම සංඛ්‍යාලේඛන පෙන්වන්නේ මරණ දඬුවම බොහෝ විට දේශපාලන විරුද්ධවාදීන් හෝ සංඛ්‍යාවෙන් සුළුතර කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් භාවිතා වන බවයි.(ඉහත රටවලට අනුව)
වැරදි නඩු තීන්දු ද මෙහි ඉතාමත් බරපතල ගැටලුවකි. එක්සත් ජනපදයේ “Innocence Project” විසින් හෙළි කර ඇත්තේ, 1973 සිට මරණ දඬුවමට නියම වූ නිර්දෝශී පුද්ගලයින් අවම වශයෙන් 200කට වැඩි සංඛ්‍යාවක් DNA සාක්ෂි හෝ වෙනත් ක්‍රම මගින් නිදහස් කර ඇති බවයි. (https://innocenceproject.org/innocence-and-the-death-penalty/). මෙයින් පෙනෙන්නේ, නීති පද්ධතියේ දෝෂ නිසා නිර්දෝශී ජීවිත අහිමි වීමේ අවදානමක් මේ දඬුවම් ක්‍රමය තුළ ඇති බවයි. එසේම, මරණ දඬුවමට ලක්වන අය “මරණ පේළියේ” වසර ගණනක් ගත කරන අතර, මෙය මානසික වධහිංසාවක් ලෙස සලකනු ලබයි. මානව හිමිකම් නීතිඥයෙකු වන බ්‍රයන් ස්ටීවන්සන් පවසා ඇත්තේ, “මරණ දඬුවම යනු ජීවිතය අහිමි කිරීම පමණක් නොව, ඒ සඳහා බලා සිටින කාලය තුළ මිනිසුන්ට කුරිරු ලෙස වධ දීමකි” යනුවෙනි (https://eji.org/issues/death-penalty/”>here).
ජාත්‍යන්තර ප්‍රතිචාර සහ ස්ථාවරයන්
මානව හිමිකම් පිළිබද දැඩිව ක්‍රියාකරන ජාත්‍යන්තර ප්‍රජාව මරණ දඬුවමට එරෙහිව වැඩෙන විරෝධයක් පෙන්වයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2007 සිට “මරණ දඬුවම අත්හිටුවීම” පිළිබඳ යෝජනා සම්මත කර ඇති අතර, 2022 වන විට රටවල් 170කට වැඩි ගණනක් එය සම්පූර්ණයෙන් හෝ ප්‍රායෝගිකව අහෝසි කර ඇත. යුරෝපා සංගමය (EU) එහි සාමාජික රටවලින් මරණ දඬුවම තහනම් කර ඇති අතර, එය “මානව ගරුත්වයට එරෙහි ප්‍රහාරයක්” ලෙස හඳුන්වයි.
ඒත් සමගම ලොව පුරා ප්‍රකට පුද්ගලයින්ද මෙයට එරෙහිව හඬ නගා ඇත. ඒ අතුරින්, මාර්ටින් ලූතර් කිං ජූනියර් (Martin Luther King Jr.) විසින් පැවසූ පහත සඳහන් වාක්‍යය ඔහුගේ මානව හිමිකම් සහ සාධාරණත්වය පිළිබඳ දැක්ම පිළිබිඹු කරයි:
“මම හිතනවා දෙවියන් වහන්සේ කිසිම අපරාධයකට මරණ දඬුවම අනුමත කරන්නේ නැහැ කියලා, එයට බලාත්කාරකම් කිරීමත් ඝාතනයත් ඇතුළත් වෙනවා. මරණ දඬුවම නූතන අපරාධ විද්‍යාවේ හොඳම විනිශ්චයටත්, ඊටත් වඩා දෙවියන් වහන්සේගේ ස්වභාවයේ උත්තරීතර ආදරයේ ප්‍රකාශනයටත් එරෙහි වෙනවා.”
මෙය ඔහුගේ 1958 දී ඇලබාමාවේ ජෙරමියා රීව්ස්ගේ විදුලි පුටුවේදී මරණයට පත් කිරීමට විරෝධය පළ කරමින් පැවසූ අදහස්වල කොටසකි. here (මෙය එක්සත් ජනපදයේ Equal Justice Initiative වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු මත පදනම් වන අතර, මාර්ටින් ලූතර් කිං ජූනියර්ගේ මරණ දඩුවමට විරුද්ධත්වය ගැන විස්තර කරයි.)
මහත්මා ගාන්ධි මරණ දඬුවමට එරෙහිව තම අදහස් ප්‍රකාශ කළ අතර, ඔහුගේ අහිංසාවාදී (non-violence) දර්ශනය මත පදනම්ව එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ සිතුවිලිවලට අනුව, ජීවිතය අහිමි කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි අතර, එය පළිගැනීමේ ක්‍රියාවක් ලෙස සැලකුණි. ඔහුගේ ප්‍රකාශිත අදහස් අතුරින් මරණ දඬුවම සම්බන්ධයෙන් පහත වාක්‍යය ඉතා ප්‍රකටය.
“ඇසකට ඇසක් ගත්තොත් සම්පූර්ණයෙන්ම ලෝකය අන්ධ වනු ඇත.”
(https://www.mkgandhi.org/articles/gandhi-and-death-penalty.html මෙම වෙබ් අඩවිය මහාත්මා ගාන්ධිගේ සාහිත්‍යය සහ ලේඛන පදනම් කරගෙන ඔහුගේ මරණ දඬුවමට එරෙහි අදහස් සාරාංශ කරයි. “Young India” හි 1925 පෙබරවාරි 4 දින ලිපියකින් ඔහු මෙම ස්ථාවරය වඩාත් පැහැදිලි කර ඇත.)
ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ අභියෝග
ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නීතිමය වශයෙන් පවතින නමුත්, 1976 සිට ක්‍රියාත්මක කර නැත.(ව්‍යවහාරිකව එය ක්‍රියාත්මක වන්නේ නැහැ, සහ එය අහෝසි කිරීමටත් තවමත් නීතිමය පියවරක් ගෙන නැත.) ලෝකයේ ප්‍රකට මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට අවධාරණය කර ඇත්තේ, මරණ දඬුවම නැවත හඳුන්වාදීමෙන් වැළකී, එය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පියවර ගැනීමෙන් රට තුළ මානව හිමිකම් ප්‍රවර්දනයට රාජ්‍ය දක්වන දායකත්වය පිළිඹිබු කරන ලෙසයි.
මැදින් පුර පසොලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාධියාමි’. (පෝස්ටරය 2019 පෙබරවාරි 27 දා, කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල අලවා තිබූ පෝස්ටරයක් – ක්ෂමා සංවිධානය /https://shorturl.at/AwN7C)
අපරාධ වැළැක්වීමට එහි බලපෑම: දත්ත සහිත විශ්ලේෂණය
මරණ දඬුවම අපරාධ අඩු කරන බවට ඇතැමුන් තර්ක කළත්, දත්ත හා පර්යේෂණ මගින් එය පිළිතුරක් නොවන බව තහවුරු වේ. එක්සත් ජාතීන්ගේ අපරාධ හා යුක්තිය පිළිබඳ කාර්යාලයේ (UNODC) 2019 වාර්තාවක දැක්වෙන්නේ, “මරණ දඬුවම භාවිත නොකරන රටවල අපරාධ අනුපාතයන් මරණ දඬුවම භාවිත කරන රටවලට වඩා වැඩි යයි පෙන්වන සාක්ෂි නැත” යනුවෙනි. (here). උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ මරණ දඬුවම අහෝසි කළ ප්‍රාන්ත (උදා: මිචිගන්, 1846 සිට) සහ තවමත් භාවිත කරන ප්‍රාන්ත (උදා: ටෙක්සාස්) අතර මිනීමැරුම් අනුපාත සංසන්දනය කිරීමේදී, 2020දී ටෙක්සාස්හි මිනීමැරුම් අනුපාතය ලක්ෂයකට 6.6ක් වූ අතර, මිචිගන්හි එය 5.7ක් විය (FBI Uniform Crime Reports, 2020 here).
එසේම, “Journal of Empirical Legal Studies” හි 2012 පර්යේෂණයකට අනුව, මරණ දඬුවම භාවිත කරන රටවල් සහ නොකරන රටවල් අතර මිනීමැරුම් අනුපාතවල සැලකිය යුතු වෙනසක් නොපෙන්වයි. (here). උදාහරණයක් ලෙස, කැනඩාව 1976දී මරණ දඬුවම අහෝසි කළ පසු, එහි මිනීමැරුම් අනුපාතය 1975දී ලක්ෂයකට 3.09 සිට 1985 වන විට 2.41 දක්වා පහත වැටුණි (Statistics Canada – https://www.statcan.gc.ca”>here).
මීට අමතරව, “The Lancet” සඟරාවේ 2006 පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, මරණ දඬුවමට වඩා ජීවිතාන්ත සිරදඩුවම් හෝ පුනරුත්ථාපන වැඩසටහන් අපරාධ අඩු කිරීමට වඩා ඵලදායී බවයි. (here). එක්සත් ජනපදයේ ටෙක්සාස් හි 1990-2000 කාලය තුළ මරණ දඬුවම් 200කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ නමුත්, මිනීමැරුම් අනුපාතයේ සැලකිය යුතු අඩුවීමක් නොවූ බවත්, ඒ හා සමගාමීව මරණ දඬුවම අහෝසි කළ විස්කොන්සින්හි අපරාධ අනුපාත ස්ථාවරව පැවති බවත් දත්ත පෙන්වයි. මේ අනුව, මරණ දඬුවම අපරාධ වැළැක්වීමට ඵලදායී පිළිතුරක් නොවන බව සංඛ්‍යාලේඛන සහිතව තහවුරු වේ.
අපරාධ වැළැක්වීමේ බලාපොරොත්තුව
මරණ දඬුවමෙන් බරපතල අපරාධ (උදා: ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්) අඩු කිරීමට හැකියාවක් ඇතැයි සමහරුන් තුළ ‘විශ්වාසයක්’ තිබෙන බව ප්‍රසිද්ධ කරුණක්ය. නමුත් මෙහි ඇති බලපෑම විශේෂයෙන් පශ්චාත් යුද සමාජයක ඔප්පු වී නැත. උදාහරණයක් ලෙස, ඉරාකයේ හෝ ඇෆ්ගනිස්තානයේ මරණ දඬුවම පනවා තිබුණත් අපරාධ අඩු වූයේ නැත. ඉහතින් සාකච්ඡා කල පරිදි අනිකුත් සමාජයන්ගේ ද තත්ත්වය එසේමය.
කම්පනයේ (Trauma) උත්සන්න වීමත් තවත් දරුණු තත්ත්වයක්, යුද්ධයෙන් පසු ඇතැම් ජනතාව PTSD (Post-Traumatic Stress Disorder) වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව නොරහසකි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් එම භීතිය සහ කම්පනය තවත් උග්‍ර වීමට තිබෙන හැකියාව අධිකයි. විශේෂයෙන්ම දණ්ඩනය ප්‍රසිද්ධියේ සිදු කරනවා නම් එය තවත් උග්‍ර විය හැකිය. උදාහරණයක් ලෙස, ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය යටතේ (1990… ) ප්‍රසිද්ධියේ එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීම ජනතාවගේ මානසික සෞඛ්‍යයට තදින් බල පෑ බව පර්යේෂකයින්ගේ මතය වී ඇත.
අපරාධකරුවන්ගේ පවුල්වලට සිදුවන බලපෑම අනෙක් තත්ත්වයයි. මරණ දඬුවමට ලක්වන අයගේ පවුල්වලට දෙවන වරට කම්පනයක් (secondary trauma) ඇති වීමත්, එයින් සමාජය පිළිබද ඔවුන් තුළ තව තවත් වෛරී ආකල්පයක් ඇති වීමත් විය හැකිය. මෙය සමාජයක යහ-පැවැත්මට හානිදායක විය හැකිය.
වැරදි තීන්දුවල අවදානම නැවත නැවත් මතක් කිරීමකි. විශේෂයෙන් යුද්ධයෙන් පසු නීති පද්ධති බොහෝ විට දුර්වලයි.—විනිසුරුවන්ට පුහුණුව අවමයි – ඇතැම් තත්ත්වයන් නිසා සාක්ෂි විකෘති විය හැකියි – සහ දූෂණය බහුලයි. මෙවැනි තත්ත්වයකදී වැරදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වීමේ (wrongful execution) අවදානම ඉතා ඉහළයි. උදාහරණයක් ලෙස, ඉරාකයේ 2003-2011 කාලයේ මරණ දඩුවම නියම වූවන්ගෙන් බොහෝ දෙනෙක්ට සාධාරණ නඩු විභාගයක් සදහා අවස්ථාව නොලැබුණු බව HRW වාර්තා කරයි. (here).
මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය අනෙක් ප්‍රධානතම කලාපයයි. යුද්ධයෙන් පසු සමාජයක ජීවිතයේ අගය යළි තහවුරු කිරීම ඉතාමත් ම වැදගත් කොටසකි. නමුත් මරණ දඬුවම් පැමිණවීමෙන්, රාජ්‍යය විසින්ම ‘ජීවිත අහිමි කිරීම’ මානව හිමිකම්වලට දැඩි තර්ජනයක් බව ඔබ නොසිතන්නේද?
මරණ දඬුවමෙන් පශ්චාත් යුද සමාජයකට ඇතිවන අනිටු විපාක බහුතරයක් දිගුකාලීනව සමාජයේ ස්ථාවරත්වයට, මානසික සෞඛ්‍යයට, සහ ජාත්‍යන්තර සබඳතාවලට හානිකරනු ලබයි. එය අපරාධ වැළැක්වීමට බලාපොරොත්තු වුවත්, එවැනි බලපෑමක් සාක්ෂි මගින් තහවුරු වී නැත. විශේෂයෙන්ම දුර්වල නීති පද්ධතියක් තුළ එය සංකීර්ණ විය හැකිය. ඒ වෙනුවට, සංහිඳියාව, පුනරුත්ථාපනය, සහ අධ්‍යාපනය වැනි ‘විකල්ප’ ක්‍රියාමාර්ග යුද්ධයෙන් පසු සමාජයකට වඩා යහපත් ඉදිරිගාමී පියවරයන් ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් සිදුවිය හැකි අනිටු විපාක පිළිබද තවදුරටත්…,
නිර්දෝෂී පුද්ගලයින්ට දඬුවම ලැබීමේ අවදානම
අප ඉහතින් සදහන් කළ පරිදි මරණ දඬුවම යනු ආපසු හැරවිය නොහැකි දඬුවමකි. නීතිමය ක්‍රියාවලියේ දෝෂ, ව්‍යාජ සාක්ෂි, හෝ අසම්පූර්ණ විමර්ශන හේතුවෙන් නිර්දෝෂී පුද්ගලයෙකු මරණ දණ්ඩනයට පත්විය හැකිය. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ‘මරණ දඬුවම’ ඉල්ලා සිටින අය අවම ලෙස මේ පිළිබද නැවත ගැඹුරින් සලකා බැලිය යුතය.
උදාහරණයක් ලෙස ගතහොත්, එක්සත් ජනපදයේ කැමරන් ටොඩ් විලිංහැම් (Cameron Todd Willingham), 1992දී ගින්නකින් තම දරුවන් තිදෙනා මරා දැමූ බවට චෝදනා ලැබූ අතර, 2004දී ඔහුව මරණ දඬුවමට ලක් කරන ලදී. නමුත් පසුකාලීන විමර්ශනවලින් පෙනී ගියේ ගින්න අනතුරක් බවත්, ඔහු නිර්දෝෂී බවත්ය. මෙවැනි සිදුවීම් මරණ දඬුවමේ භයානකකම පෙන්වනවා නොවේද? (ඉහතින් සාකච්ඡා කළ පරිදි, සංඛ්‍යාලේඛන ලෙස, “Innocence Project” වාර්තා අනුව, 1973 සිට මරණ දඬුවමට නියම වූ අයගෙන් 190කට වඩා වැඩි පිරිසක් පසුව නිදහස් කර ඇති අතර, ඔවුන් නිර්දෝෂී බව තහවුරු වී තිබේ)
මානව හිමිකම් උල්ලංඝනය සහ සදාචාරාත්මක ගැටලු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 3 වන වගන්තිය පවසන්නේ “සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමේ අයිතිය ඇත” යනුවෙනි. මරණ දඬුවම මෙම අයිතිය කඩ කරන බව Amnesty International වැනි සංවිධාන පෙන්වා දෙයි.
එසේම සමාජීය බලපෑමක් ලෙසද මෙය සාකච්ඡා වෙයි. රජයකට තම පුරවැසියෙකුගේ ජීවිතය අහිමි කිරීමේ බලය ලබා දීම, ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමේ ආදර්ශයක් ලෙස සමාජයට බලපෑ හැකිය. මෙය දිගුකාලීනව සමාජයේ සාධාරණත්වය, සමාජ විශ්වාසයන් සහ දයාව පිළිබඳ අවබෝධයට දැඩි ලෙස හානි කරනු ලබයි..
අපරාධ වැළැක්වීමට බලපෑමක් නොමැති වීම
මරණ දඬුවම අපරාධ අඩු කරන බවට ප්‍රබල සාක්ෂි නොමැත. බොහෝ අපරාධකරුවන් එවැනි ක්‍රියාවලට පෙළඹෙන්නේ තාර්කිකව තීරණ ගැනීමකින් නොව, චිත්තවේගී මොහොතකදී හෝ මානසික ආතතියකදීය.(ලංකාවේ බොහෝ අපරාධයන්ට යුද්ධයට සෘජුව සම්බන්ධ සොල්දාදුවන් ඇතුලු ඒ හා සම්බන්ධිත පිරිස් සම්බන්ධ යැයි වාර්තාවීම දැන් සුළභය. මේ පිළිබද ඉතාමත් කල්පනාකාරී වීමත්, මනෝ-සාමාජීය ලෙස ඒ පිළිබදව විමසීමත් අත්‍යවශ්‍ය නොවේද?) ඉහතින් ප්‍රකාශ කළ පරිදි – උදාහරණයක් ෙලස, එක්සත් ජනපදයේ ටෙක්සාස් වැනි මරණ දඬුවම තිබෙන ප්‍රාන්තවල මිනීමැරුම් අනුපාතය (2020දී ජනගහනය ලක්ෂයකට 6.6) මිචිගන් වැනි මරණ දඬුවම නැති ප්‍රාන්තවලට (ජනගහනය ලක්ෂයකට 5.7) වඩා ඉහළය. මෙයින් පෙනෙන්නේ මරණ දඬුවම තිබීමෙන් අපරාධ අඩුවීමක් සිදු නොවන බවයි.
මානසික හා සමාජීය බලපෑම්
මරණ දඩුවමට ලක්වන පුද්ගලයාට පමණක් නොව, ඔවුන්ගේ පවුල්වලට, මිතුරන්ට සහ සමාජයට දැඩි මානසික පීඩනයක් මේ තුළින් ඇතිවීමය වැළැක්විය නොහැකිය. උදාහරණයක් ලෙස ගතහොත් “Death Row Syndrome” ලෙස හඳුන්වන මානසික තත්ත්වය, මරණය බලා සිටින අයට දිගුකාලීන බලාපොරොත්තු සුන්වීමක් සහ තීව්‍ර ආතතියක් ඇති කරයි. මෙය ඔවුන්ගේ පවුල්වලටත් බලපාන බව විශේෂඥයින්ගේ මතයයි. එසේම, මරණ දඬුවම ක්‍රියාත්මක කරන නිලධාරීන්ට (උදා: එල්ලුම්කරුවන්ට) පවා දැඩි මානසික බලපෑම් ඇති වන බව වාර්තා වී තිබේ.
ආර්ථික වියදම්
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම බොහෝ විට ජීවිතාන්තය දක්වා සිරදඩුවමකට වඩා මිල අධිකය. නීතිමය ක්‍රියාවලිය, අභියාචනා, සහ විශේෂ රැඳවුම් පහසුකම් මේ සඳහා හේතු වේ. උදාහරණයක්, කැලිෆෝනියාවේ 2016 වාර්තාවකට අනුව, එක් මරණ දඩුවමක් සඳහා ඩොලර් මිලියන 1-3ක් පමණ වැය වන අතර, ජීවිතාන්ත සිරදඩුවමකට ඩොලර් ලක්ෂ 1කටත් අඩු වියදමක් දැරේ.
මරණ දඬුවමෙන් නිර්දෝෂී ජීවිත අහිමි වීම, මානව හිමිකම් උල්ලංඝනය, අපරාධ වැළැක්වීමට බලපෑමක් නොවීම, මානසික හා සමාජීය හානි, සහ ආර්ථික වියදම් වැනි අනිටු විපාක රැසක් ඇති විය හැකිය.
මරණ දඬුවම වෙනුවට සාර්ථක විකල්ප ක්‍රම
මරණ දඬුවම අහෝසි කළ රටවල් විවිධ විකල්ප ක්‍රම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඒවා අපරාධ වැළැක්වීමට සහ යුක්තිය ඉටු කිරීමට ඵලදායී ලෙස දායක වී ඇත. මෙම විකල්ප ක්‍රම ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන අතර, ප්‍රචණ්ඩත්වයේ චක්‍රය වෙනුවට එය පුනරුත්ථාපනය හා සමාජ ආරක්ෂාව ප්‍රවර්ධනය කරයි.
1. ජීවිතාන්තය දක්වා සිරදඬුවම (LWOP):
එක්සත් ජනපදයේ මරණ දඬුවම අහෝසි කළ ප්‍රාන්තවල, බරපතල අපරාධකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම ලබා දී ඇත. මිචිගන් ප්‍රාන්තය 1846දී මරණ දඬුවම අහෝසි කළ අතර, LWOP භාවිතයෙන් අපරාධකරුවන් සමාජයෙන් වෙන් කිරීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් සිදු කර ඇත. 2020දී මිචිගන්හි මිනීමැරුම් අනුපාතය ලක්ෂයකට 5.7ක් වූ අතර, එය මරණ දඬුවම භාවිත කරන ටෙක්සාස් (6.6) ට වඩා අඩු විය. මෙයින් පෙන්නුම් කරන්නේ LWOP මගින් මරණ දඬුවමකින් තොරව ද අපරාධකරුවන් පාලනය කළ හැකි බවයි.
[Death Penalty Information Center – Sentencing Alternatives](here)
2. පුනරුත්ථාපන වැඩසටහන්:
නෝර්වේ වැනි රටවල් මරණ දඬුවම වෙනුවට පුනරුත්ථාපනය මත පදනම් වූ සිරදඩුවම් ක්‍රමයක් භාවිත කරයි. 2011දී ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ ඇන්ඩර්ස් බ්‍රේවික්, 77 දෙනෙකු ඝාතනය කළ නමුත්, ඔහුට උපරිම වසර 21ක සිර දඬුවමක් පමණක් නියම විය. නෝර්වේහි සිරකරුවන්ට අධ්‍යාපනය, රැකියා පුහුණුව, සහ මානසික සෞඛ්‍ය සේවා ලබා දෙන අතර, එයින් අපරාධ ද අවම මට්ටමකට ගෙන ඒමට හැකි වූ බව ඇතැම් වාර්තා පෙන්වා දෙයි.[Penal Reform International – Alternatives to the Death Penalty](here)
3. ප්‍රජා පොලිස් සේවය සහ අපරාධ වැළැක්වීම:
එක්සත් රාජධානිය 1965දී මරණ දඬුවම අහෝසි කළ අතර, ප්‍රජා පොලිස් සේවය (community policing) සහ තාක්ෂණික මෙවලම් යොදාගනිමින් අපරාධ වැළැක්වීමේ ක්‍රම ශක්තිමත් කළේය. CCTV, Digital surveillance(මෙහි සීමාවන් පිළිබද මානව හිමිකම් අර්තයෙන් කතිකාවක් ඇති බව අවධාරණය කරගන්න) ඇතුලු නව ක්‍රම සහ සමාජ සුබසාධන වැඩසටහන් හරහා අපරාධ අනුපාතය අඩු කර ඇත. 2020දී එංගලන්තයේ සහ වේල්සයේ මිනීමැරුම් අනුපාතය ලක්ෂයකට 1.1ක් පමණ වූ අතර, එය මරණ දඬුවම භාවිත කරන රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩුය. [Amnesty International – Death Penalty Alternatives](here)
4. වන්දි ගෙවීම සහ යුක්තිය:
දකුණු අප්‍රිකාව මරණ දඬුවම 1995දී අහෝසි කළ පසු, වන්දි ගෙවීමේ යුක්ති ක්‍රමය (restorative justice) හඳුන්වා දුන්නේය. මෙහිදී අපරාධකරුවන් සහ වින්දිතයන් අතර සංවාද පවත්වා, පුනරුත්ථාපනය සහ සමාජ පිළිගැනීම ප්‍රවර්ධනය කිරීමට ගත් ප්‍රයත්නය නම් කළ හැකියි. මෙම ක්‍රමය මගින් ප්‍රචණ්ඩත්වය අඩු කිරීමටත්, සමාජ සංහිඳියාව ඇති කිරීමටත් හැකි වී ඇත.[The Advocates for Human Rights – Restorative Justice](here)
මෙම විකල්ප ක්‍රම මගින් මරණ දඩුවමකින් තොරව අපරාධ වැළැක්වීම, යුක්තිය ඉටු කිරීම, සහ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සිදුකළ හැකි බව ලෝකයේ බොහෝ රටවල් ඔප්පු කර ඇත. එය ශ්‍රී ලංකාවේ මේ දිනවල දැඩි කතා බහකට ලක්වී ඇති ස්ත්‍රීයක් ලිංගික අපරාධයකට ලක්කිරීමේ සිදුවීම පදනම් කර ගිනිමින් ඇතැම් පිරිස් විසින් නැවත වරක් සාකච්ඡාවට ලක් කරන ‘මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය’ යන කතිකාව පිළිබදව නැවත හැරී බැලීමකට උපකාරී වනු ඇත.
කෙසේ නමුත්,
මරණ දඬුවම යනු යුක්තිය, සදාචාරය, සහ මානුෂ්‍යත්වය අතර සංකීර්ණ ගැටුමකි. එහි මානුෂීය පිරිවැය—වැරදි නඩු, අසමානතා, සහ වධහිංසා—අතිමහත් වන අතර, එය අපරාධ වැළැක්වීමට ඵලදායී බවට දත්ත-තොරතුරු ඇතුලත් සාක්ෂි දුර්වලය. දත්ත මගින් තහවුරු වන පරිදි, මරණ දඩුවම අපරාධ අනුපාත අඩු කිරීමට සෘජු බලපෑමක් නොකරන අතර, එයට වඩා පුනරුත්ථාපනය හෝ විකල්ප දඬුවම් වඩා ඵලදායී වන බවයි. ජාත්‍යන්තර සංවිධාන සහ විශේෂඥ පුද්ගලයින්ගේ මතයන්ට අනුව, මරණ දඬුවම අහෝසි කිරීම මගින් සමාජයක ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ආරක්ෂා කළ හැකිය. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකම ‘ජීවිතයට ඇති ගරුත්වය’ තහවුරු කිරීම මූලික වගකීමක් ලෙස සැලකීමත්, විශේෂයෙන් ශිෂ්ට සමාජයකට අවශ්‍ය සරු පසක් සකස් කිරීමත් මේ සදහා ඇති තවත් එක් පදනම් විසදුමක් ලෙස දැක්විය හැකිය.
ලංකාව තුළ සිදුකරන බොහෝ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ගේ ස්වාභාවය නිරීක්ෂණය කිරීමේදී කරුණු කිහිපයක් පැහැදිලිව දැකගත හැකිය. ඉන් ප්‍රධාන එකක් නම්, ඔවුන් දීර්ගකාලීන්ව යුද ගැටුමට සෘජුවම සම්බන්ධ වී ඇති පුද්ගලයින් වීමය. එම තත්ත්වය පැහැදිලි කර ගැනීමේදී යුද්ධයේදී ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස භාවිතා වුණු රටවල එම හැසිරීම පශ්චාත් යුද කාලයේත් පැවතීමට තිබෙන හැකියාව වැඩි විය හැකිය.(ලංකාවේ යුද්ධය අවසන් සමයේ, ඉසිප්‍රියා වැනි බොහෝ ස්ත්‍රීන් ලිංගික අපයෝජනයට ලක්කිරීම එක් උදාහරණයක් පමණි.) එබැවින් අප මේ දිනවල සාකච්ඡා කරන ආසන්නම සිදුවීම සැලකුවිටත් එම තත්ත්වය නිරීක්ෂණය කළ හැකියි. එබැවින් එම සංකීර්ණ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ආණ්ඩුවක ප්‍රමුඛ වගකීමක්ද වන බව අමතක නොකල යුතුයි.
කෙසේ නමුත්, සියලු ස්ත්‍රීන් ඇතුලු සියලු පුරවැසියන්ට ආරක්ෂිත පරිසරයක් ගොඩනැගිය හැකි වන්නේ ආපසු හැරවිය නොහැකි දඬුවමක් වන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් නොව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන කාර්යක්ෂම නීති පද්ධතියක්, මානව හිමිකම් ප්‍රවර්දනය කරන ශිෂ්ට සමාජයක් වෙනුවෙන් – ආණ්ඩුව, ජනමාධ්‍ය, සිවිල් සමාජය, පුරවැසියන් සෑම ස්ථරයකම ගොඩනගන මානව හිමිකම් කේන්ද්‍රීය, වඩායහපත් සිතිවිලි සහ වැඩවලින් පමණි.
දකුණු අප්‍රිකාවේ ප්‍රකට ආගමික නායකයෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වූ ඩෙස්මන්ඩ් ටූටූ (Desmond Tutu) විසින් මරණ දඬුවම පිළිබදව, දක්වන ලද අදහසකින් ලිපිය දැනට අවසාන කරමි. “මරණ දඬුවම යනු මිනිස් ජීවිතයට ගරු කිරීමට එරෙහි කුරිරු, අමානුෂික සහ පහත් ක්‍රියාවකි. එය සමාජයක උසස් බව මනින්නේ නැත.” here
සම්පත් සමරකෝන් | Sampath Samarakoon
[මෙම ලිපිය සකස්කරන ලද්දේ දේශීය මෙන්ම අන්තර්ජාතික සංවිධාන විසින් නිකුත් කරන ලද වාර්තා, අදහස්, ලිපි පදනම් කරගෙන වන අතර එහි උපුටා ගැනීම්වලට අදාළ ලිංක් ලිපියේ ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු ඒ හරහා ඔබට ලබා ගත හැකිය. එසේම අදාළ විෂය සම්බන්දයෙන් අන්තර්ජාතික සම්මන්ත්‍රන, සාකච්ඡා ඇතුලු ස්ථානයන් හී මතුකල අදහස් සහ පර්යේණයන්ගේ තොරතුරු ද මේ සදහා පාදක කර ගෙන ඇත.]