iMage: tradebrains.in

“ඉරාන-ඊශ්‍රායල ගැටුම රුසියාව හා එක්සත් ජනපදය එක්ව මැදිහත්වීමකින් නවතාලිය හැකිය. එහෙත්, එය උත්සන්න වුවහොත්, ගෝලීය භූ-දේශපාලනික තත්ත්වය—පැරිස් සිට මොස්කව් දක්වා—වෙනස් වනු ඇත. යුද්ධය නවතාලීම, සිවිල් ජනතාවගේ ජීවිත රැකගැනීමට හා කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ඇති එකම මාර්ගයයි.” – අට්ලන්ටික් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික Mark N. Katz (here)

අතිශය විනාශකාරී ගැටුම් තත්ත්වයක් හෝ යුදමය තත්ත්වයක් ‘අවසන් කිරීම’ නොව, සිදුකළ යුත්තේ ‘නවතා දැමීමයි’. මෙය යුද්ධයේ විනාශකාරී බව හා එය වළක්වා ගැනීමේ හදිසි අවශ්‍යතාව අප සියලු දෙනාගේ ඇස් ඉදිරිපිට සිදුවන විනාශයෙන් පිළිබිඹු කරනු ඇත. 2025 ජුනි මාසයේ ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවූ බිහිසුණු ගැටුම, මිනිස් ජීවිත, සමාජ ආර්ථිකය, හා ජාත්‍යන්තර ස්ථාවරත්වයට එල්ල කරන තර්ජනය ගැන අපට බරපතල අනතුරු ඇඟවීමක් සිදුකරයි.

ඉරානය-ඊශ්‍රායල ගැටුම: ගැටුමේ බිහිසුණු යථාර්ථය ශිෂ්ටත්වයේ ගැටලුව

2025 ජුනි 13 වන දින ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක, මිලිටරි ඉලක්ක, හා ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරමින් එල්ල කළ විශාල ගුවන් ප්‍රහාරයත් සමඟ ඉරාන-ඊශ්‍රායල ගැටුම බිහිසුණු යුද්ධයක් බවට පරිවර්තනය වී ඇත. එයින් ඉරානයේ Natanz න්‍යෂ්ටික ආයතනයට හානි වූ අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ නිලධාරීන්, ඇතුළුව ජනරාල් හොසේන් සලාමි හා මොහොමඩ් බාගේරි, මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය වූහ. ඉරානයේ ප්‍රතිප්‍රහාරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා හයිෆා වැනි නගරවලට මිසයිල ප්‍රහාර එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ජීවිත හා යටිතල පහසුකම්වලට බරපතල හානි සිදුවිය. දෙරටේම සිවිල් වැසියන් ඝාතනයට ලක්වීමට අමතරව ඉන්ධන ගබඩා, නිවාස ඇතුලු දේපල මෙන්ම හා රූපවාහිනී මධ්‍යස්ථාන වැනි ස්ථාන මෙහි ඉලක්ක වීම, මෙම යුද්ධයේ විනාශකාරී බව තවදුරටත් අපට පෙන්වයි.

මානවීය ඛේදවාචකය

මෙම ගැටුමේ සැබෑ බර සිවිල් වැසියන් මත පැටවී තිබීම අතිශය ඛේදජනකය. ටෙහෙරාන්හි නිවාස ගොඩනැගිලි බිඳ වැටීම, හයිෆා හා ටෙල් අවිව්හි ගිනිගන්නා ගොඩනැගිලි, හා දෙපාර්ශවයේම අහිංසක ජනතාවගේ මරණ, මිනිස් ජීවිතවලට සිදුවන හානිය ගැන හද කකියන යථාර්ථයක් වී තිබේ. ඉරාන ජනතාව, තම ආණ්ඩුවෙන් ආරක්ෂාවක් නොලැබීම ගැන කෝපයෙන් හා බියෙන් පසුවන බව, ඉරාන ඉතිහාසඥවරියක වන Kelly J. Shannon පවසයි: “ඉරාන ජනතාව තම රජයේ අනාවරණයක් නොමැතිකම ගැන කෝපයෙන් පසුවෙති. ඊශ්‍රායල ප්‍රහාරවලින් නිවාස බිඳ වැටුණු අතර, ජනතාවට ආරක්ෂිත ස්ථාන ඉතාමත් අවමය.” (here)

ඊශ්‍රායලයේ, Bat Yam හි Shem නම් 29 හැවිරිදි පුද්ගලයකු පවසන්නේ, “මෙය බිහිසුණු ය. ජනතාවගේ ජීවිත හා දේපල ඇස් ඉදිරියේ අහිමි වී යයි.” මෙම යුද්ධයේ බිහිසුණු බව, එය සිවිල් වැසියන්ගේ ජීවිත විනාශ කරන ආකාරය යුද්ධයේ සෘජු බලවතුන්ට කිසිදු අදහසක් නැති සේයකි.(here)

“මම ඉස්ලාමීය ජනරජයට හා උත්තරීතර නායකයාට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එහෙත්, මෙම යුද්ධය මගේ රටේ ජනතාවට ජීවිත හා යටිතල පහසුකම් විනාශ කරයි. ඊශ්‍රායලයේ ප්‍රහාර මානව හිමිකම් හා සාමය සඳහා අප ඉල්ලූ ජීවිතයේ ප්‍රතිවිරුද්ධයයි. යුද්ධය නතර කර, ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න.” ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනී Sepideh Qolian (here)

ජාත්‍යන්තර ප්‍රතිචාර හා යුද්ධයේ භූ-දේශපාලනික බලපෑම

ජාත්‍යන්තර ප්‍රජාව මෙම ගැටුම පිළිබඳ පිල් කිහිපයකට බෙදී ඇත. එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය දෙන බව පවසමින්, ඉරානයට එරෙහිව තර්ජන එල්ල කළ ද, ඔහු යුද්ධයකට එක්සත් ජනපදය ඇද ගැනීමට අකමැති බවක් පෙන්වයි. “ඉරානය හා ඊශ්‍රායලය ගිවිසුමකට එළඹිය යුතු ය,” යි ඔහු Truth Social හි පවසා ඇත. එහෙත්, ඉරාන විදේශ ඇමති Abbas Araqchi පවසන්නේ, “ඊශ්‍රායලය ප්‍රහාර නතර කළහොත් පමණක් අපි ගිවිසුමකට එළඹෙන්නෙමු.” කෙසේ නමුත් මේ විනාශය වැළැක්වීමට මෙයිට වඩා වැඩ කොටසක් සිදුකිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට වගකිමක් ඇති බවට බොහෝ විශ්ලේක්ෂකයන් පෙන්වා දෙයි. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු මානව අයිතිවාසිකම් පිළිබද සංවේදී බවක් දක්වන සංවිධාන මන්දගාමී තත්ත්වයක පසුවීමෙන් ඇතිවීමට නියමිත දැවැන්ත විනාශය වළක්වා ගැනීමට නොහැකි වනු ඇති බවට විචාරක මතය වී තිබේ. (here) / here)

යුද්ධය නවතාලීමේ ආයාචනය

“අවසන් කිරීම” යනු යුද්ධයක ජයග්‍රාහකයකු තීරණය කිරීමට ඉඩ දෙන බව අඟවයි; එහෙත්, මෙම යුද්ධයේ ජයග්‍රාහකයන් කිසිකලක බිහි නොවේ. ඇතිවෙමින් ඇත්තේ දැනුවත්වම විනාශයට පත්වන ජනතාව පමණි. ජනතාව පමණක් නොවේ, මහපොළව, සතා සිව්පාවා ඇතලු සමස්ත පරිසර පද්ධතියටම දැවැන්ත විනාශයක් අත්කර දෙමින් තිබේ. යුද්ධය “නවතාලීම” යනු, මිනිස් ජීවිත රැකගැනීමට, ආර්ථික විනාශය වළක්වා ගැනීමට, හා ජාත්‍යන්තර ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ගත යුතු එකම මාර්ගයයි. University of Pennsylvania හි Farah N. Jan පවසන්නේ, “ඊශ්‍රායලයේ ප්‍රහාර, ඉරානය සිය න්‍යෂ්ටික ආයුධ කරා යාමට තවත් තල්ලුවක් විය හැකි බව” යි. මෙය “threshold war” එකක් ලෙස හඳුන්වන ඔහු, එය ගෝලීය න්‍යෂ්ටික තර්ජනයකට මඟ පාදන බවත් අනතුරු ඇඟවයි. (here)

G7 රාජ්‍ය සමූහය සහ ප්‍රතිචාර

2025 ජුනි 16-17 කැනඩාවේ Kananaskis හි පැවති G7 රැස්වීමේදී, G7 නායකයන් (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, “ඊශ්‍රායලයට ස්වයං ආරක්ෂාව සඳහා අයිතියක් ඇත” යනුවෙන් ප්‍රකාශ කළහ. මෙම ප්‍රකාශය දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි සංවාදයට බදුන් වී ඇත. යුද්ධය නැවැත්වීමට උත්සහා කිරීම වෙනුවට G7 බලවත් රාජ්‍යන් එක් පාර්ශවයක් අනියමින් හෝ සෘජුව නියෝජනය කිරීම දනවන ප්‍රකාශ සිදුකිරීම අතිශය ලෝකයටම අතිශය දරුණු ප්‍රතිඵල ගෙන දිය හැකි බව විචාරකයින් පෙන්වා දෙයි. G7 විසින් ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජු යුද විරාමයක් ඉල්ලා නොසිටීම ද බරපතල ලෙස මේ වන විට සාකච්ඡාවට බදුන් වී ඇත. (here)

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, G7 රැස්වීමෙන් මුලින්ම ඉවත්ව ගිය අතර, ඔහු මැද පෙරදිග තත්ත්වය හේතුවෙන් වොෂින්ටනයට යාමට අවශ්‍ය බව පවසා ඇති බව මාධ්‍ය වාර්තා කළේය.. එහෙත්, ඔහු ඉරාන ජනතාවට “ටෙහ්රාන් හැර යන ලෙස” කළ ප්‍රකාශ පිළිබද එක්සත් ජනපදයේ මිලිටරි සම්බන්ධතාවක් ගැන සැක මතු කළේය.(here)

අතිශය බිහිසුනු මෙම ගැටුම, ‘අවසන් කිරීමට’ නොව ‘නවතා දැමීමට’ බලපෑම් කිරීමට මේ වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) ට හෝ G7වැනි බලවත් ඒකකවලට ඇති සීමාව මේ වන විට පෙන්වමින් තිබේ. විශේෂයෙන් බෙදීම් හා භූ-දේශපාලනික උවමනාවන් එම ඒකමතිකත්වයට බාධා කරමින් ඇත. මෙය ලෝකයටම අතිශය දරුණු ලෙස බලපාන මානව ඛේදවාචකයක් ඉදිරියේ ශිෂ්ටත්වය පිළිබද ගැටලුවක් නොවේද?

ඉරානයේ හා ඊශ්‍රායලයේ ජනතාව, තම ජීවිත, පවුල්, හා අනාගතය බිඳ වැටෙනු සියැසින්ම බලා සිටිති. වේදනා විදිති. මේ සියවස තුළ සිදුකරන දරුණුම අපරාධයක ගොදුරු බවට පත්ව සිටිති. යුද්ධයේ ගිනිදළු, තෙල් මිල ඉහළ යාම, හා ගෝලීය ආර්ථික අස්ථාවරත්වය, මුළු ලෝකයටම බලපාමින් තවදුරටත් ඒ අපරාධයන් සිදුකරමින් ඇත. එබැවින් “අවසන් කිරීම” නොව, “නවතාලීම” දැන්ම නවතාලීම යනු මිනිස් හදවත් එක්කරන, ජීවිත රැකගන්නා, හා යුක්තිය සහ නිදහස උදෙසා කැපවන තීරණයකි. ජාත්‍යන්තර ප්‍රජාව, රාජ්‍ය නායකයන්, හා සිවිල් සමාජය එක්ව, මෙම යුද්ධය නවතාලීමට රාජ්‍යතාන්ත්‍රික, මානවීය, හා දේශපාලන උත්සාහයන් ගත යුතු ය.

එබැවින් ‘අවසන් කිරීම’ නොව ‘නවතාලීම’ එකම විසදුමයි. එය ලංකාවේ 2009 මැයි 18න් ‘යුද්ධය අවසන් කළා යැයි’ ශ්‍රී ලංකා ආණ්ඩුව නිළ වශයෙන් සිදුකළ ප්‍රකාශයෙන් වුවද පහසුවෙන් තේරුම් ගත හැකිය.

“ඉරාන ජනතාව තම රජයෙන් ආරක්ෂාවක් නොමැතිකම ගැන කෝපයෙන් හා බියෙන් පසුවෙති. ඊශ්‍රායල ප්‍රහාරවලින් නිවාස බිඳ වැටුණු අතර, ජනතාවට ආරක්ෂිත ස්ථාන නැත. මෙම යුද්ධය නවතාලන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි, මන්ද එය ජනතාවගේ ජීවිත හා බලාපොරොත්තු බිඳ දමයි.” ඉරාන ඉතිහාසඥ Kelly J. Shannon

(ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඇසුරින් සකස්කරන ලදි.)