iMage: Sundayobserver

2019 මැයි 17 වන දින හසලක පොලිස් වසම තුළ ධර්ම චක්‍රයේ නිරූපණයක් ලෙස ‘වැරදි’ ලෙස අර්ථකථනය කරන ලද ‘නැවක සුක්කානමක’ රුවක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි පවසමින් 47 හැවිරිදි අබ්දුල් රහීම් මසාහිනා අත්අඩංගුවට ගැනීමත්, රඳවා තබා ගැනීමත් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ පුද්ගලික නිදහස පිළිබඳ ගැඹුරු සංවාදයකට මග පෑදූ සිදුවීමකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2025 ජූලි 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතිශය වැදගත් තීන්දුව, රාජ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකාරකම් හි සීමාවන් සහ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම යළි තහවුරු කළේය.

සිදුවීමේ පසුබිම

2019 මැයි මාසයේදී, හසලක, කොළොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසාහිනා ඇඳ සිටි ඇඳුමේ ධර්ම චක්‍රයේ සංකේතයක් ඇතැයි, ශ්‍රී ලංකා පොලීසිය විසින් හිතාමතාම (සිංහල බෞද්ධ ජාතීවාදී උන්මත්තකයින්ගේ උසී ගැන්වීම් ද ඇතුලත්ව) ‘වැරදි’ ලෙස හඳුනාගනිමින් ඇයව හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නමුත් ඇය ඇඳ සිටියේ නැවක සුක්කානමක් සහිත ඇඳුමකි. (ඒ බව එම කාලය තුළ දීම අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේය) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ එවකට හසලක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත විසිනි.

එහිදී, ඇයට එරෙහිව බුදුදහමට අපහාස කිරීමේ චෝදනාව එල්ල කළ අතර, එය ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග සංවේදී සමාජ-දේශපාලන තත්ත්වය තුළ බරපතළ චෝදනාවක් බවට පත්විය. අබ්දුල් රහීම් මසාහිනා, තමන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සිදුවූයේ සාධාරණ හේතුවකින් තොරව බවත්, එමඟින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළාය. ඇයගේ ඉල්ලීම වූයේ, මෙම ක්‍රියාවලිය තුළින් ඇයට සිදුවූ අසාධාරණය විභාග කර තීන්දුවක් ලබාදෙන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විනිසුරු යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, ඊයේ(2025 ජූලි 30) දින ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, හසලක පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් අබ්දුල් රහීම් මසාහිනාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව, අධිකරණය විසින් පහත නියෝග ලබාදෙන ලදී:

වන්දි ගෙවීම: එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වූ චන්දන නිශාන්ත විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් රුපියල් 30,000.00ක වන්දි මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු අතර, මෙම මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ පොලිස් සාමූහික අරමුදලේ මුදල් භාවිත නොකළ යුතු බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතුය.

නව චක්‍රලේඛයක් නිකුත් කිරීම: එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳ පැහැදිලි චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව පොලිස් ස්ථානවලට නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නියම කෙරිණි.

සිදුවීමේ සමාජීය හා නෛතික බලපෑම

මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය තුළ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එය රාජ්‍ය බලධාරීන්, විශේෂයෙන් පොලීසිය, සිය බලතල භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත්, ඒවා භාවිතයේදී පුද්ගලික නිදහස හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් යළි අවධාරණය කරයි.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් තවදුරටත් පැහැදිලි වන්නේ, එවැනි චෝදනා එල්ල කිරීමට පෙර පුළුල් හා සාධාරණ විමර්ශනයක් අවශ්‍ය බවත්, එසේ නොකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකට හේතු විය හැකි බවත්ය. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ පුද්ගලික නිදහස හා ආගමික සංවේදීතාවයන් අතර සමබරතාවයක් ඇති කිරීමේ අවශ්‍යතාව තවත් ඉස්මතු කරයි. එමෙන්ම, පොලිස් බලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි විනිවිදබාවයක් සහ පක්ෂග්‍රාහීත්වයකින් තොරව මහජනයා සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් මතුවෙයි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව ආගම, ආගමික සංඛේත සහ පොලීසිය තමන්ගේ ලැදියාවන් මත, පක්ෂග්‍රාහීත්වය පදනම්ව මහජනයා, විශේෂයෙන් සංඛ්‍යාවෙන් සුලුතර ජනයා පීඩාවට පත්කිරීම සදහා ඇතැම් නීති භාවිතා කිරීම යම් පමණකට හෝ වළක්වා ගැනීමට
පූර්වාදර්ශයක් සපයයි.

අසාධාරණයේ වසර හයක්: රාජ්‍යයේ හා පොලීසිය විධිමත් සමාව ඉල්ලීමක් සිදුකළ යුතුය

නැවක සුක්කානමක රුවක් සහිත ඇඳුමක් පැළඳ සිටි, 47 හැවිරිදි අබ්දුල් රහීම් මසාහිනාට හසලක පොලීසියෙන් සිදු වූ අත්අඩංගුව සහ රඳවා ගැනීම, ඇයගේ ජීවිතයට හා පවුලට ගැඹුරු තුවාලයක් සලකුණු කළේය. මෙම සිදුවීම, ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොව, ඇයගේ ගෞරවය, ආත්මාභිමානය සහ සමාජ ජීවිතයට එල්ල වූ බිහිසුණු පහරකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මඟින් ඇයට රුපියල් 30,000ක වන්දියක් හිමි වුවද, එය ඇයට සහ ඇගේ පවුලට වසර හයකට ආසන්න කාලයක් තුළ එල්ල වුනු මානසික, සමාජීය හා ආර්ථික වේදනාව සුව කිරීමට ප්‍රමාණවත්ද? අබ්දුල් රහීම් මසාහිනා, එක්තරා ආකාරයකින්, ඇයවත් නොදැනුවත්ව ජාතිවාදී උම්මත්තකාමීන්ගේ චෝදනාවකට ගොදුරු වූවාය. ඇය පැළඳ සිටි ඇඳුම, බුදු දහමට අපහාසයක් ලෙස හිතාමතාම ‘වැරදි’ ලෙස අර්ථකතනය කරමින්, ඇයව සමාජය තුළ අපකීර්තියට හා ලැජ්ජාවට පත් කළේය. ඇයගේ පවුල, විශේෂයෙන් ඇගේ දරුවන්, මවකට එල්ල වූ මෙම අසාධාරණයේ බර උසුලන්නට ඇත. මුස්ලිම් කාන්තාවක ලෙස, ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධ සමාජය තුළ ජීවත් වන ඇයට, මෙම සිදුවීම ඇගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයට එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් ලෙසද දැනෙන්නට ඇත. වසර හයක කාලයක්, ඇය මෙම බරපතල අසාධාරණයේ සෙවනැල්ල යටතේ ජීවත් වූවාය. අත්අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ භීතිය, සමාජයේ ඇතැමුන්ගේ බැහැර කිරීම්, ආගමික අපහාස චෝදනාවේ බර—මේ සියල්ල ඇයගේ මානසික සෞඛ්‍යයට හා පවුලේ එකමුතුකමට බලපෑම් කරන්නට ඇත. මෙවැනි අත්දැකීමකින් පසු, රුපියල් 30,000ක වන්දි මුදලක්, එම වේදනාවේ ගැඹුර හා බර සමඟ සැසඳිය හැකිද?

මුදල්මය වන්දියකට එහා ගිය, සමාජීය හා ආගමික සංහිඳියාව තුළින් ඇයට හා ඇගේ පවුලට සත්‍ය වශයෙන්ම සාධාරණයක් ඉටු කළ හැකිද? මෙම අසාධාරණයට ලක්වූවාට හිමිවිය යුත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඔස්සේ ලබාදුන් මූල්‍යමය වන්දියට වඩා ගැඹුරු දෙයකි—එනම්, රාජ්‍යයේ හා පොලීසියේ විධිමත් සමාව ඉල්ලීමකි.

එවැනි සමාව ඉල්ලීමක්, අබ්දුල් රහීම් මසාහිනාට හා ඇගේ පවුලට ඔවුන්ගේ ගෞරවය යළි තහවුරු කිරීමටත්, සමාජය තුළ ඔවුන්ට එල්ල වූ ලැජ්ජාව හා අපකීර්තිය මකා දැමීමටත් හේතුවනු ඇත.

එය, ශ්‍රී ලංකාවේ බහුසංස්කෘතික හා බහුආගමික සමාජය තුළ, එකිනෙකාගේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍යයට ඇති බව යළි තහවුරු කරන සංකේතාත්මක ක්‍රියාවක් වනු ඇත. පොලීසිය හෝ රාජ්‍ය බලධාරීන් විසින් මෙවැනි සමාව ඉල්ලීමක් සිදුකිරීම, අබ්දුල් රහීම් මසාහිනාට පමණක් නොව, ආගමික හෝ සංස්කෘතික විවිධත්වය හේතුවෙන් අසාධාරණයට ලක්වන සියලු දෙනාටම සාධාරණය ඉටු කිරීමේ පණිවිඩයක් වනු ඇත.

(මෙම අතිශය වැදගත් තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයටත්, මෙම නඩුවේ වින්දිතයා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පුලස්ති හේවාමාන්න ඇතුලු ඔහුගේ නීතිඥ කණ්ඩායමට අපගේ ගෞරවය).

2019 ‘විකල්ප’ වාර්තාකරනය

මේ සිදුවීම පිළිබද සොයාබැලීම සදහා අප 2019 මැයි මාසයේ හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ ඇගේ නිවස බලා ගියේය. එහිදී අපට ඇගේ සැමියා(එම්.එම්.මුනාෆ්) හමු වීමට අවස්ථාවක් හිමි වූ අතර 2019 මැයි 26 වනදා ‘විකල්ප’ වෙබ් අඩවිය ‘අපි වගේ අසරණ අයට මේ වගේ අසාධාරණකම් කරන්න එපා’ [‘ධර්මචක්‍රය’ නොහඳුනන පොලීසිය නිසා වේදනා විඳින ගැහැණියක්” වීඩියෝවක් ද සමගින් සටහනක් තැබුවේ මෙසේය. (https://www.vikalpa.org/article/34966)

‘ඇත්තටම කියනවා නම් මට ලොකු දුකක්, කළ කිරීමක් ඇති උනා’, අපි වගේ අසරණ අයට මේ වගේ අසරණකම් කරන්න එපා’ අගේ සැමියා අපත් සමග කීවේය.

//හසලක, කොලොන්නාගොඩ පදිංචි, 47 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා පසුගිය දා මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, බුදු දහමට අපහාසවන පරිදි ධර්මචක්‍රයක රුවකට සමාන සංකේතයක් ඇය ඇද සිටි ගවුමේ චිත්‍රණය කොට භාවිතා කිරීම හේතුවෙන් බව පොලීසිය පවසා සිටියේය. නමුත් මේ සිදුවීමෙන් පසු දේශීය සහ ජාත්‍යන්තර වශයෙනුත් පෙන්වා දෙනු ලැබූවේ මෙය ධර්මචක්‍රයක රුවක් නොව, නැවක සුක්කානමක රුවක් බවයි. තත්ත්වය මෙසේ තිබිය දී වුවද මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා අත්අඩංගුවට ගෙන මේ වන විට බදුල්ල බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. දැන් ඇය සිටින්නේ බදුල්ල බන්ධනාගාරයේය.

කෙසේ නමුත්, ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසියට විවේචන එල්ලවන අතර, හෙට දීනයේදී බදුල්ල අධිකරණයේදී මේ පිළිබද වීමසීමට නියමිත අතර ඇයගේ ගවුමේ ඇති රූපය ධර්මචක්‍රයක් නොව නැවක සුක්කානමක් බවට දැන් සකසුදක් සේ පැහැදිලි වී ඇති අතර පොලීසිය හෙට දිනයේදී අධිකරණයට කුමක් වාර්තා කරන්නේ දැයි අප විමසිල්ලෙන් සිටිමු.

පහත පළවන්නේ එම සිදුවීම පිළිබද ඇගේ සැමියා වන එම්.එම්.මුනාෆ් ‘විකල්ප’ වෙත දැක්වූ අදහස්ය.

‘ඇත්තටම කියනවා නම් මට ලොකු දුකක්, කළ කිරීමක් ඇති උනා’

මේ මිනිසාට සවන්දෙන්න.//

https://www.vikalpa.org/article/34966

[සුළුතර ප්‍රජාවන්ට එරෙහි ආයතනික බෙදුම්වාදය: මෙම සිදුවීම, ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවට, රාජ්‍ය ආයතන මඟින් එල්ල වන ආයතනික බෙදුම්වාදය හා අසාධාරණය පිළිබඳ සංවේදී මාතෘකාවකි. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ඉහළ ගිය සැකය හා බෙදුම්වාදී ආකල්ප, මෙවැනි අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට තුඩු දී ඇති බව පෙනේ. මෙය, රාජ්‍ය ආයතනවල පක්ෂග්‍රාහීත්වය පිළිබඳ වන බරපතල ගැටලුව තව තවත් ඉස්මතු කරයි. ක්ලීන් ශ්‍රී ලංකා යනු මේවාට ද ආමන්ත්‍රණය කිරීමක් වන්නේද?] – Sampath Samarakoon]

සම්පත් සමරකෝන් | Sampath Samarakoon