iMage: Vikalpa/ 15 September, Batticaloa

“නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ මාදවනෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තණබිම් යායක් තිබුණා. මේ තණබිම්, පරම්පරා ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ අවුරුදු සිය ගණනක් පුරා, ගවයින් ලක්ෂ හතරක් පහක් විතර කුස පුරවා ගන්නෙ මේ ප්‍රදේශයෙන්. ඒත්, මේ ඉඩම් කවදාවත් රජයේ ගැසට් පත්‍රයකින් “තණබිමක්” කියලා නිල වශයෙන් නම් කරලා තිබුණේ නැහැ. මේක තමයි මේ කතාවේ හැම ගැටලුවකම ආරම්භය වුණේ.

යුද්ධය අවසන් වුණාට පස්සේ, පසුගිය දශක එකහමාරක විතර කාලයක ඉඳන්, මේ තණබිම්වලට පිටස්තර මිනිස්සු එන්න පටන් ගත්තා. ඔවුන් මේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන, තමන්ගේ වගා කටයුතු කරන්න පටන් ගත්තා. මේ නිසා, තමන්ගේ ගවයින්ට තණකොළ හොයාගන්න බැරිවුණ නැගෙණහිර පලාතේ ගව පට්ටි හිමියන් සහ මේ නීති විරෝධී පදිංචිකරුවන් අතර නිතරම ගැටුම් ඇතිවුණා.

ගව පට්ටි හිමියන්, තමන්ගේ පාරම්පරික අයිතිය ඉල්ලලා, අඛණ්ඩ විරෝධතාවක් පටන් ගත්තා. එක දවසක්, දෙකක් නෙවෙයි. අවුරුදු දෙකක්! ඒ කියන්නේ දවස් 730ක් පුරා, ඔවුන් තමන් හදාගත්තු තාවකාලික කූඩාරමක ඉඳගෙන, මේ අසාධාරණයට විරුද්ධව හඬ නැගුවා. ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ, මේ තණබිම, ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරලා, තමන්ගේ ගවයින්ට නිදහසේ තණ කන්න ඉඩ ලබා දෙන්න කියන එකයි.

හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසය එළඹෙනකොට, ඊසාන දිග මෝසම් වර්ෂාවත් එක්ක “මහ කන්නය” පටන් ගන්නවා. මේ කාලෙට, රජය, ගොවීන්ට කුඹුරු වැඩ පටන් ගන්න අවසර දෙන නිසා, ගව පට්ටි හිමියන් තමන්ගේ ගවයින්ව මේ මාදවනෙයි තණබිම්වලට ගෙනියනවා. ඒත්, වර්ෂාවත් එක්කම, අර නීති විරෝධී පදිංචිකරුවනුත් තමන්ගේ වගා කටයුතු පටන් ගන්න තණබිම්වලට එනවා. මේ නිසා, හැම මහ කන්නයකම මේ ගැටුම අලුත් වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ රජය කාලේ හිටපු ආණ්ඩුකාරවරියක්, මේ ඉඩම් නීති විරෝධී පදිංචිකරුවන්ටම ලබා දෙනවා කියලා ප්‍රසිද්ධියේම කිව්වා. ඒ වගේම, මේ ප්‍රශ්නය ටිකෙන් ටික ජාතීන් අතර ප්‍රශ්නයක් වෙන්නත් පටන් ගත්තා. එක අවස්ථාවකදී, භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ තණබිම්වලට ඇවිත්, බුද්ධ ප්‍රතිමා තැන්පත් කරලා පන්සල් හදන්න උත්සාහ කළා. ඒකෙන් ප්‍රශ්නය තවත් දරුණු වුණා.

වසර දෙකක් පුරා විරෝධතාවයේ යෙදුනත්, ගව පට්ටි හිමියන්ගේ දුකට ඇහුම්කන් දෙන්න කිසිම බලධාරියෙක් ආවේ නැහැ. අදත් එහෙමයි. දිස්ත්‍රික් ලේකම්වරයා එන්න බැහැ කිව්වා. ප්‍රාදේශීය ලේකම්වරයාත් ආවේ නැහැ. සංවර්ධන කමිටු සභාපතිවරයා ප්‍රශ්නය විසඳනවා කිව්වත්, ඒක වචනවලට විතරක් සීමා වුණා. දැන්, තවත් මහ කන්නයක් ළඟ එනවා. නීති විරෝධී පදිංචිකරුවන් ටිකෙන් ටික ආයෙමත් තණබිම්වලට එන්න පටන් අරන් කියලා ආරංචියි. ගව පට්ටි හිමියන් තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා, තවත් ජාතීන් අතර ගැටුමක් ඇතිවෙන්න කලින්, රජය මේ ගැන අවධානය යොමු කරලා, තමන්ගේ අහිංසක සතුන්ට නිදහසේ තණ කන්න ලැබෙන විසඳුමක් ලබා දේවි කියලා.”

මේ බව ප්‍රකාශ කළේ පසුගිය 15 වෙනිදා, මඩකලපුව, සිද්ධාණ්ඩි විරෝධතා මඩුව ඉදිරිපට පැවති සාමකාමී විරෝධතාවයට පැමිණි පාර්ලිමේන්තු මංත්‍රී ශානක්‍යන් රාසමානික්කම් විසිනි.

ජාතික ආර්තිකයට විශාල දායකත්වයක් සපයනමඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් පසුගිව වසර ගණනාවක සිටම විවිධ දුෂ්කරතාවන්ට සහ අසාධාරණයන්ට මුහුණ දෙමින් සිටිති. විශේෂයෙන්, මයිලත්තමඩු, මාදවනෙහි කිරි ගොවීන් තම සාම්ප්‍රදායික තෘණ ඉඩම් අහිමි වීමෙන් පසු දිගු කලක් තිස්සේ අරගල කරමින් සිටිති.

වසර දෙකකට අධික කාලයක් තිස්සේ පවතින මෙම අයිතිවාසිකම් සඳහා වූ අරගලයේ 700+ වන දිනය සනිටුවහන් කිරීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 15 වන දින මඩකලපුව, සිද්ධාණ්ඩි විරෝධතා මඩුව ඉදිරිපට සාමකාමී විරෝධකාවයක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ, මයිලත්තමඩු මාදවනෙයි ගොවිජනසේවා කිරි ගොවි සංගමයේ සභාපති, සී. නිමලන් පැවසුවේ, “මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා ඒවා ගිනි තියලා විනාශ කරලා, ගොවිතැන් කරන්න පටන් අරන් තියෙනවා. මේ වැඩ නිසාම අපේ ගවයින් මේ වෙද්දී විනාශ වෙලා ගිහින්. අපේ කිරි ගවයින් තණකොළ කන බිම් තමා මෙයාලා මේ විදිහට බලහත්කාරයෙන් ගොවිතැන් කරන්නේ. මෙයාලාව මෙතැනින් අයින් කරලා දුන්නොත් අපිට අපේ ජීවිතය ගැටගහගෙන යන්න පුළුවන්.”

කිසිදු පියවරක් ගෙන නෑ

මේ සියලු තත්ත්වයන් පොලීසිය, අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, වන සංරක්ෂණ නිළධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් හමුවේ සාක්ෂි සහිතව පැමිණිලි කළ ද ඒ පිළිබද කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එම නිසා අනවසර සිංහල ජනයා විසින් සිය ජීවනෝපාය වන පශු සම්පත් නිශ්පාදන කටයුතුවලට දිගින් දිගටම බාධා එල්ල කරමින් බවත් ඔවුන් පවසයි.

දැන් අලුත් ආණ්ඩුවක්!

මේවන විට ලංකාව තුළ පවතින්නේ අලුත් ආණ්ඩුවකි. ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් පසුගිය මැතිවරණ දෙකෙහිදීම බහුතර බලයක් ලබා ගනිමින්ය. එම ජතික ජන බලවේගයේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා පත් වී එළඹෙන සතියට වසරක් ගතවෙයි.

එහෙත් කිසිවෙක්ට අතනොපා සිය ජීවිකාව කරගෙන යමින් සිටි මයිලත්තමඩු කිරී ගොවීන්ගේ ජීවිකාව සම්පූර්ණයෙන්ම ආගාධයට ඇදදමින් සිදුකරන ලද අසාධාරණයට විරුද්ධම එම ගොවීන් අවුරුදු 2කකට වඩා සිය ඉල්ලීම් ඉටු කර දෙන මෙන් ඉල්ලා සාමකාමී අරගලයක නිරත වෙමින් සිටී. නමුත් බළාධාරීන් තවමත් නිහඩය.

මාළිමා ආණ්ඩුවත් තවමත් නිහඩය.

කෙසේ නමුත්,ජීවිතය, සාධාරණත්වය, යුක්තිය පිළිබද ගැටලුවකදී ‘ආණ්ඩුවේ නිහඩ බව’ යනු මානව අයිතිවාසිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට එල්ලවන දැඩි තර්ජනයක් බව ලියා තැබිය යුතුමය.

පහත පළවන්නේ පසුගිය 15 වනදා පැවති සාමකාමී විරෝධතාවයේ ඡායාරූප පෙළකි.